වෙඩි තැබීමකින් කාබුල් නුවර 28ක් මරුට


තුවක්කුකරුවන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගොඩනැගිල්ලකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු පවසති.

රජයට අයත් ගොඩනැගිල්ලකට තුවක්කුකරුවන් එලෙස කඩා වැදී තිබෙන අතර ඔවුන් එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය වැඩිදෙනා රජයේ නිලධාරීන් යැයි ද බලධාරිහු කියති. 

සඳුඳා රාත්‍රියේ තුවක්කුකරුවන් කඩා වැදුණු පොලිසිය සහ ආරක්ෂක අංශ එම ගොඩනැගිල්ල වට කළ අතර තුවක්කුකරුවන් සහ පොලිසිය අතර පැය හතකට ආසන්න කාලයක් වෙඩි හුවමාරු විය. 

ප්‍රහාරයෙන් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය පිරිස අතර පොලිස් නිලධාරියකු සහ ප්‍රහාරයට පැමිණි තුවක්කුකරුවන් තිදෙනකු සිටින බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නජීබ් ධනීශ් මහතා පැවැසීය. 

තුවක්කරුවන් වෙඩි තැබීම ආරම්භ කිරීමට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත. තුවක්කුකරුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ආබාධිත පුද්ගලයන්ගේ සහ දිවි පිදුවන්ගේ පවුල් සඳහා ජාතික අධිකාරිය පිහිටා තිබූ ගොඩනැගිල්ලටය. තුවක්කුකරුවන් එහි සිටි සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගනිමින් ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇත. 

(රොයිටර්ස් ඇසුරිනි)

(055)