විපක්ෂයක් ලෙස ශක්තිමත්ව මැතිවරණවලට මුහුණදීමට එජනිසයේ තීරණයක්


(අජන්ත කුමාර අගලකඩ)     

                            
විපක්ෂයක් ලෙස ශක්තිමත්ව කටයුතු කරමින් ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා පුළුල් පෙරමුණක් ගොඩනැගීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව අද (24) තීරණය කර ඇත. 

                           
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද උදෑසන පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. 

එම පුළුල් පෙරමුණ ගොඩනැගීමට අදාළ කටයුතු සැලසුම් කිරීම සඳහා වෙනම කමිටුවක් ද එහිදී පත්කර ඇත.

නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මෙම කමිටුව සඳහා පත් කර ඇත.

සන්ධානය නියෝජනය කරන පක්ෂවල නායකයින් ද නව කමිටුව නියෝජනය කරන අතර එහි කැඳවුම්කරු ලෙස මහින්ද අමරවීර මහතා කටයුතු කරන බව සන්ධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 

මෙම කමිටුව දෙසැම්බර් (27) රැස්වීමට නියමිත බවද ඔහු පැවසීය.     

රට සුරකින පුළුල් ජාතික පෙරමුණක් ලෙස මෙම නව පෙරමුණ ගොඩ නගන බවද හෙතෙම කියා සිටියේය.