(අජන්ත කුමාර අගලකඩ)
විපක්ෂ නායක ලේකම් ලෙස හර්ෂ විජේවර්ධන මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩලය අද(22) තීරණය කර ඇත.
හර්ෂ විජේවර්ධන මහතා විපක්ෂ නායක ලේකම් ධුරයට පත්කිරීමේ අමාත්‍ය මණ්ඩල සන්දේශය කැබිනට් මණ්ඩලයට අද(22) ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන විජේවර්ධන මහතා 2009 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් ලෙස කටයුතු කළේය.
මීට පෙර 2005 වසරේ සිට 2009 වසර දක්වා ජනාධිපති කාර්යාලයේ සහකාර ලේකම්වරයකු ලෙසද 2001 සිට 2005 කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇති ඔහු 1998 සිට 2001 දක්වා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත.
මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ සහකාර ලේකම්වරයා ලෙස නීතිඥ චමින්ද කුලරත්න මහතා පත්කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.