විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු  මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා   පැවසීය

ඉන් පුරප්පාඩු වන විදුලිබල මණ්ඩලයේ  සභාපති ධූරයට එහි උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා  පත් කිරීමට නියමිතය.

විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන්  ආන්දෝලනාත්මක තත්ත්වයක්  පසුගිය දිනවල ඇතිවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ඒ ප්‍රකාශය පසුව ප්‍රතික්ෂේප කළේ‍ය.

ඉන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවේ  සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් පැවසුවේ එම ප්‍රකාශය තමා ඉල්ලා අස්කර ගන්නා බවයි.

කෝප්  කමිටුවේ දී තමා කළ පැහැදිලි කිරීමේ දී පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඉන්දීය අගමැති යන වචනය ප්‍රකාශ කිරීමට සිදු වූ බව ද ඒ සම්බන්ධයෙන්  කොන්දේසි විරහිතව සමාව ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.