රැඳවියෙක්ට මත්පැන් බොතල් දුන් වෛද්‍යවරයාට බන්ධනාගාර රෝහල තහනම් කරයි


(නිමන්ති රණසිංහ / විනීතා එම්. ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට මත්පැන් බෝතල් දෙකක් ලබාදුන් බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට අද (24) සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට හෝ බන්ධනාගාර ආශි‍්‍රත කිසිදු වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළුවීම තහනම් කර ඇතැයි එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණීය මහතා අද (24) පැවසීය.
 
අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයෙන් පැවැත්වෙන විනය පරීක්ෂණය අවසානයේ ඔහු තම නිර්දෝෂීභාවය ඔප්පු කරන තෙක් එම තහනම කි‍්‍රයාත්මක කරනු ලැබූ බවත් ඔහුගේ මෙම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දෙනු ලැබූ බවත් උපුල්දෙණීය මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
 
එමෙන්ම, මෙම සිද්ධියට අදාළ මත්පැන් කාලේ බෝතල් දෙක තම භාරයට ගනු ලැබූ බවත්, අදාළ සිද්ධිය ඇසින් දුටු ඖෂධ සංයෝජකයකුගෙන් මෙන්ම, එම මත්පැන් බෝතල් සන්තකයේ තබාගෙන සිටි රැඳවියාගෙන්ද ප‍්‍රකාශ සටහන් කරගනු ලැබූ බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බොරැුල්ල පොලීසිය වෙත දැනුම් දී ඇති බවත් ඉදිරියේදී අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගනු ලබන නිතිමය පියවර පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් පසු කි‍්‍රයාත්මක කරනු ඇති බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
 
ඉකුත් 23 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ සිටි මෙම වෛද්‍යවරයා මත්පැන් කාලේ බෝතල් දෙක සිරකරුවකු (පාටිකරු) වෙත ලබා දී ඇත්තේ බන්ධනාගාරය තුළ දඩුවම් විදින වෙනත් සිරකරුවකු වෙත ලබාදීමට බවට ප‍්‍රකාශවලින් අනාවරණය වී ඇති බවද බන්ධනාගාරය පවසයි. මෙම වෛද්‍යවරයා බන්ධනාගාර රෝහලේ සේවය කරනු ලබන පැරණීම වෛද්‍යවරයකු බවත් මින් ඉහතදීද මෙවැනි ආකාරයෙන් රැඳවියන් වෙත මත්පැන් ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් බන්ධනාගාරය සදහන් කරයි.
 
වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන්ගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කර බැලීම සදහා (බෙහෙත් ලබා දෙන ස්ථාන) වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර, මෙම සිද්ධිය සිදුවී ඇත්තේ එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළදී බවද සදහන් වෙයි. එමෙන්ම, බන්ධනාගාර රෝහලට අමතරව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය, කාන්තා අංශය, කොළඹ මැගසින් බන්ධනාගාරය යන ස්ථානවලද එවැනි වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවද බන්ධනාගාරය සදහන් කරයි.
 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය කළ පැමිණීල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරනු ලැබූ බවත් අදාළ තහනම් ද්‍රව්‍ය (මත්පැන් බෝතල්) සන්තකයේ තබාගෙන සිටි රැඳවියාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත් බවත් බොරැල්ල පොලිසිය සදහන් කළේය. එමෙන්ම, එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි පියවර ගනු ලබන බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කරනු ලැබීය.