(හර්ෂණ තුෂාර සිල්වා)
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම ප්‍රතික්ෂේප කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) මහතා අද (5) පැවැසීය.
දෙමළ ජාතික සන්ධානය සමඟ තවමත් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් කරමින් මුරලිදරන් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
ඩයස්පෝරාවේ සහාය ඇතිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමඟ දැනටත් සාකච්ඡා පැවැත්වෙන බව විනයාගමූර්ති මුරලිදරන් මහතා නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබිණි. ඔහු එහි ‘සුබ පැතුම් සුමන්තිරන්’ යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාට සුබ පැතුම් ද එක් කර තිබිණි.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙසේ ද කීය.
“ඔව්, අපි සාකච්ඡා පැවැත්වූවා. අමාත්‍ය ධූරයක් ගෙන දෙමළ ජනතාවට සේවය කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. එහෙත් තවමත් සාකච්ඡා අවසන් නැහැ. තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනවා”
විනයාගමූර්ති මුරලිදරන් මහතා සමඟ කිසිදු දේශපාලනයක් නැතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛ සේනාධිරාජා මහතා පැවැසීය.
“ඔහුත් සමඟ අපට කිසිදු දේශපාලනයක් නැහැ. එවැනි සාකච්ඡාවක් තිබුණේ නැහැ” යැයි ඔහු කීවේය.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට සහාය දෙන බවත් දෙමළ ජාතික සන්ධානය නොවැම්බර් 3 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.