(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනය සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල විනිශ්චකාර මණ්ඩලයක් පත්කරන්නැයි නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළහ.
එම මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කළේ අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාට ශෝකය පළකිරීමේ විවාදය අතරතුරදීය.
මේ අවස්ථාවේදී කතානායකවරයා මුලසුනේ නොසිටි අතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම කතානායකවරයාට දැනුම් දෙන බව මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසූවේය.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිශ්චකාර සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරුන් අතර ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම , රොෂාන් රණසිංහ ,ඉන්දික අනුරුද්ධ සහ කින්ස් නෙල්සන් යන අයද වූහ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර කතානායකවරයාට ලිපියක් බාරදීමටද නියමිතව ඇතැයි දැනගන්නට ඇත.