ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණකට සාකච්ඡා ජනවාරියේ සිට


(නිමල කොඩිතුවක්කු) 

                                   
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ආගමික බලවේග, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා ජනවාරි පළමු  සතියේ සිට ආරම්භ කරන බව මනෝ ගනේෂන් මහතා පැවැසීය. 

                              
එක්සත් ජාතික පෙරමුණේ  නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික  පක්ෂ කෘත්‍යාධිකාරි  මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුව  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ  පිහිටුවා ගැනීමේ මූලික කටයුතු සම්පූර්ණ කරනු ලැබීය.                                   
ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණේ ප්‍රධානතම දේශපාලන පක්ෂය  ලෙස එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම යටතේ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්  නව පෙරමුණට  මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු  බලවේග ඒකාරාශී කිරීමට  පියවර ගන්නා බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවැසීය. 

                                                 
ශ්‍රී ලංකාවේ  ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන  සිංහල, දෙමළ,  මුස්ලිම්, බර්ගර් ඇතුළු  සියලු ජාතීන් නියෝජනය කරන  ප්‍රබලම බලවේගය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බවද මනෝ  ගනේෂන් මහතා සඳහන් කළේය.     

                                     
උතුරේ පේදුරුතුඩුවේ සිට දකුණේ  දෙවුන්දරතුඩුව දක්වා  සිටින සියලු ජාතීන්ට අයත් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වටා  මාස හයක කාලයක් ඇතුළත පෙළගැස්වීමට ක්‍රියාකරන්නේ යැයිද ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය.