ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස  පත්කරනු ලැබ සිටින කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී ලබන 21 වැනිදා දිවුරුම් දෙනු  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට  තමාට අද හෙටම පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන්  දැනුම්දීමක් ලැබෙනු ඇති බවයි.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධූරයේද  ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම මන්ත්‍රී ධූරයෙන් පසුගිය 9  වැනිදා ඉල්ලා අස්විය. ඔහු  එලෙස  ඉවත්වීමෙන් පුරප්පාඩුවූ  එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ධම්මික පෙරේරා මහතා මෙසේ පත් කෙරිණ.

ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතන රැසක හිමිකාරීත්වය දැරූ  දිවයිනේ නමගිය කෝටිපති ව්‍යාපාරිකයෙකි.