(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත්කරමින් නව රජයක් පිහිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ඉතා නිවැදි කාලෝචිත තීරණයක් බව ආණ්ඩුකාරවරු පවසති.
ජනාධිපතිවරයාට, නව අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට පූර්ණ සහයෝගය ලබාදෙමින් ඉදිරියේදී කටයුතු කිරීමට සියලූ ආණ්ඩුකාරවරුන් ඒකමතිකව තීරණය කළ බව ආණ්ඩුකාරවරුන්ගේ සංසදයේ සභාපති, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.
ආර්ථිකයේ ව්‍යාකූලත්වය, රුපියල දිනෙන් දින බාල්දුවීම, රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයන්හි අවපාතය, විදේශ ආයෝජන අඩුවීම ආදිය හේතුවෙන් රට අස්ථාවර තත්ත්වයකට පත්ව තිබූ බව කී නානායක්කාර මහතා ඒ අතරතුර රටේ නායකයා සහ හිටපු නායකයාගේ පවුලේ අය ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ද ක‍්‍රියාත්මකවීම බරපතල තත්ත්වයක් බව කීවේය.
එවන් තත්ත්වයක් යටතේ සියලූ කරුණු සලකා බලා ව්‍යවස්ථානුකූලව නව රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා වැදගත් එකක් බව ද හේමකුමාර නානායක්කාර මහතා කියා සිටියේය.
ආණ්ඩුකාරවරුන් නව දෙනා අද (28) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර ඉන් අනතුරුව කොළඹ, සෙමා ගොඩනැගිල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හේමකුමාර නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.
අත්දැකීම් බහුල නායකයෙකු වන මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍යධූරය ලබාදීම නිවැරදි තීරණයක් බව කී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නව අග‍්‍රාමාත්‍යවරයාට තම කණ්ඩායමේ සුභ පැතුම් පළ කරන බව ද කීවේය.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ රටේ තිබූ ගැටලූ විසඳීම වෙනුවෙන් ඇති කළ ජාතික රජය රට තවදුරටත් අරාජික කිරීමත්, දුෂණයට විරුද්ධව බලයට ආ රජය පැවති රජයටත් වඩා වංචා දුෂණ කිරීමත් නිසා නව රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදුවූ බවයි.
ආණ්ඩුවට මූලිකම වගකීම වන නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට ද පැවති රජයට නොහැකි වූ බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
එම රජය තවදුරටත් පැවතියේ නම් රට තවත් ආගාධයට පත්වන බව ද ඔහු කීවේය.
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරයට පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදුනොවූ බවටත් තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය පවතින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාට බවටත් ඇතැමුන් පළ කරන අදහස් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් හේමකුමාර නානායක්කාර මහතා පැවසුවේ කවුරුන් කුමන මතයක් ඉදිරිපත් කළත් නව අග‍්‍රාමාත්‍යවරයා පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදුව ඇති බවයි.
මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇත්නම් පාර්ලිමේන්තු රැස්වීම කල්දැමුවේ ඇයිද යනුවෙන් මාධ්‍යවේදියෙකු ප‍්‍රශ්න කළ අවස්ථාවේ නානායක්කාර මහතා පිළිතුරු දෙමින් අමාත්‍යාංශ සංඛ්‍යාව 30ක් දක්වා අඩුකර බෙදීම, නව ලේකම්වරුන් පත්කිරීම, අයවැය වෙනුවට ඇස්තමේන්තුගත අයවැයක් සකස් කිරීම ආදිය වෙනුවෙන් කාලයක් ගත්වන නිසා එසේ කාලය ගෙන ඇති බව ප‍්‍රකාශ කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක, ඌව පළාත් ආණ්ඩුකාර ආර්.ඒ.බී රැකව, දකුණු පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.