කල්පිටියේ ඩ්‍රෝන කැමරාවක් සැරිසරයි


(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය අහසේ අද(17) අලුයම 1.00ට පමණ ඩ්‍රෝන කැමරාවක් බදු සැකකටයුතු යානාවක් සැරිසැරූ බවත්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුවත් කළ බවත් පුත්තලම පොලිසිය පවසයි.

මෙය ඩ්‍රෝන කැමරාවක් හෝ කුඩා වර්ගයේ අහස් යානාවක් විය හැකි  බව පුත්තලම පොලිස් අධිකාරී ජේ. ඒ. චන්ද්‍රසේන මහතා පවසයි.

මීට පෙර ද වරින්වර මෙවැනි සැකකටයුතු යානාවක් කල්පිටිය අහසේ සැරිසැරූ බව ඒ මහතා පැවසුවේ ය.
 
රටේ වැදගත් ආර්ථික ස්ථානයක් වන ලක්විජය ගල් අඟුරු බලාගාරය කල්පිටිය අර්ධදීපයේ පිහිටා තිබෙන බව සිහිකළ ඒ මහතා කල්පිටි කලපුව ආශ්‍රිත යාත්‍රාවක සිට මෙම යන්ත්‍රය එවන බවට ද සැක කරන බව ද පැවසුවේ ය.