උ‘මැද අනියම් සේවකයෝ පාරට බසිති


(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ පළාත් පාලන ආයතන 28 ක අනියම් සේවකයන් 846 දෙනෙකු තමන්ගේ රැකියා ස්ථිර කර දෙන ලෙසටත්, රජයේ රැකියා දස ලක්ෂයේ වැඩ සටහන යටතේ සේවකයන් පළාත් පාලන ආයතන සදහා බඳවා ගැනිම අත්හිටුවන ලෙස ඉල්ලා අද (31) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරතවුහ.

මෙම අනියම් සේවකයන් පසුගිය 38 වැනි දින සිට සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා සේවයෙන් ඉවත්ව අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටිති.

මෙම හේතුවෙන් උතුරු මැද නගර හා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ රැසක කැලි කසල ඉවත් නොකිරිමේ හේතුවෙන් ගැටළු රැසක් උද්ගතව තිබේ.

අනුරාධපුර අටමස්ථානයේ හා රජයේ ආයතනවල කැළි කසල ඉවත් කිරිමෙන් ඔවුහු බැහැරව සිටිති.

මෙම අනියම් සේවකයන් විසින් අද (31) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිට පිහිටි මෛත්‍රිපාල සේනානායක මාවත අවහිර කරමින් මාර්ගයේ බිම වාඩිවි සිදුකරන ලද උද්ඝෝෂණය හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා එල්ලවුණි.

පොලිසිය මැදිහත්වි වාහන අතුරු මාර්ග ඔස්සේ ධාවනය කිරිමට මෙහිදි පියවර ගැණුනි.

අනතුරුව මෙම අනියම් සේවකයන් පිරිස අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටින් ඩී.එස්.සේනානායක වට රවුම දක්වා  විවිධ පොස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කරමින් ඩී.එස්.සේනානායක වටරවුම දක්වා පා ගමනින් ගොස් නැවත අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටට පැමිණ යළිත් සත්‍යග්‍රහයට එක් වූහ.