(තිළිණි ද සිල්වා)
ඇමරිකානු ‘වීසා රහිත වැඩසටහන’ට (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිරයමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි.
වීසා රහිතව නිශ්චිත කාල සීමාවක් එක්සත් ජනපදයේ රැඳී සිටිය හැකි පුද්ගලයන් අයත් රටවල් 39 ක් ඇතුළත්ව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නාම ලේඛනයක් ද ඉදිරිපත් කරමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය නිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටී.
ඒ අනුව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරන වීසා රහිත ඇමෙරිකානු වැඩසටහනට අයත් රටවල් 39 අතුරින් ජපානය, බෲනායි, සිංගප්පූරුව, තායිවානය සහ දකුණු කොරියාව යන රටවල් මෙම වරප‍්‍රසාදය ඇති මෙම ආසියානු රාජ්‍යයන්ය.
පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ලෝක ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කරන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ඇතුළුවීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකාවට ලොතරැයි දිනුමක් ලබා දී තිබෙන බවට උපුටා දක්වමින් ඇතැම් ප‍්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර තිබිණි.
ඇමරිකාවේ වීසා රහිත වැඩසටහන යනු එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දින 90ක් ඇමරිකාවේ ගත කිරීමට අවස්ථාවකි.
මෙකී වැඩසටහනට ඇතුළු වන රටවල වැසියන්ට ඇමරිකාවේ සංචාරය කිරීමට පැය 72 කට පෙර, අන්තර් ජාලයට ගොස් ඒ සඳහා පිරවිය යුතු පෝරමය පිරැවීමෙන් පසු ඩොලර් 14 ක් වැනි සුළු මුදලක් ගෙවා ඇමරිකාවට ඇතුළුවීමේ අවසර පත‍්‍රයක් ලබා ගත හැකි වේ.
ඉන්පසු ගුවන් ටිකට් පතක් රැගෙන ඇමරිකාවට ඇතුළු වෙද්දී පෙර කී අවසර පත‍්‍රය ආගමන විගමන නිලධාරීන්ට පෙන්වූ විට, ඇමරිකාව තුළ දින 90 ක් ගත කිරීමට අවශ්‍ය අවසරය ලබා දී රටට ඇතුළු කරනු ඇත.
මෙම අවසරය ලැබෙන්නේ සංචාරක සහ ව්‍යාපාරික කටයුතු සඳහා ඇමරිකාවට එන්නන්ට පමණකි. දින 90 ට වැඩි කාලයක් ඇමරිකාවේ ගත කරන්නේ නම් වීසා අයැදුම් කළ යුතුය.
https://travel.state.gov/content/travel/en/us-visas/tourism-visit/visa-waiver-program.html

