අස්ගිරි මහනායක හිමියන්ගෙන් එජාප මන්ත්‍රීන්ට අනුශාසනාවක්


(චමිල් රූපසිංහ) 

මේ වන විට රටේ පවතින අර්බුදය සාමකාමී ලෙස සාකච්ඡා මගින් විසඳා ගනු ඇතැයි මහ සංඝරත්නය අපේක්ෂා කරන බවද ලේ වැගිරීම් වැනි සිදුවීම් ඇතිවුවහොත් විදේශ රටවල් අනවශ්‍යය බලපෑම් සිදු කරන්නට ඉඩ තිබෙන බවද අස්ගිරි පාර්ශවයේ මහනායක  වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පැවැසුහ.


එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ලපාඨලී චම්පික රණවකරවී කරුණානායකජේ.සී අලවතුවල යන මහත්වරුන් අද (04) පෙරවරුවේ අස්ගිරි මහ විහාරයට ගොස් මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව කීහ.


මේ මොහොතේ විදේශ රටවලින් මෙරටට විවිධ තහංචි දැමීමට උත්සහ කරන්නේ නම් ඊට එරෙහිව පක්ෂ භේදයෙන් තොරව එ.ජා.ප.ය ඇතුළු සෑම පක්ෂයක්ම  සියලු දෙනා එක්ව මුහුණ දිය යුතු බවත් එවැනි අවස්ථාවක මෙම තහංචි දැමීමට එරෙහිව කටයුතු කිරීම වැදගත් බවත් මහනාහිමියෝ පැවසූහ.


ජාත්‍යන්තර වශයෙන් යම් යම් බලපෑම් එල්ල වන්නේ නම් එම අවස්ථාවේ මෙම දෙපාර්ශවය එකතු වෙලා ඊට මුහුණ දීම වැදගත් යැයි මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී  මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසුහ.


පවතින තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම පිණිස පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවීම කාලෝචිත බවද උන්වහන්සේ මන්ත්‍රිවරුන් හමුවේ පැවැසුහ.


රනිල් වික්‍රසිංහ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම ඉතා වැදගත් බවත් ජනපති හා අගමැති මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ලේඛකාධිකාරී හිමියෝ  පැවැසුහ.


මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ සහන් කළේය.


"ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවීම තුළින් සියලු ප්‍රශ්න නිරාකරණය වී රටේ අගමැති කවුද යන්න තීරණය කිරීම පාර්ලිමේන්තුවට බාරදිය යුතුයි. අද වනවිට ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව දෙස බලා සිටිනවා. කවුද නියම අගමැතිකවුද නියම ඇමැති මණ්ඩලය කියන ප්‍රශ්නය ඔවුන්ට තිබෙනවා" යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.


මෙම පිරිස මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගත් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයා ගමගේගාමීණී ජයවික්‍රම පෙරේරාරංජිත් මද්දුම බණ්ඩාරලකී ජයවර්ධනරංජිත් අලුවිහාරේ යන මහත්වරුද සහභාගි වූහ.