අයිතිකරුවන් බාර නොගත් ඇපල් තොගයක් සතුන් වත්තට


(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරායෙන් ඉවත් කර නොගැනුණු ඇපල් කිලෝ 24,000ක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දෙහිවල සත්වෝද්‍යානයට  අද බාර  දෙනු ලැබීය.

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙම ඇපල් තොගයට ඇපල් ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්   ඇතුළත් වේ.

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ කාලයක් තිස්සේ  රඳවනු ලැබ තිබූ  මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේදී  චීනයෙන් මෙරටට ආනයනය කරනු ලැබූවකි.

ඇපල්  කන්ටේනරය ආනයනකරුවන්  බාර  නොගැනීම නිසා  ඒ පිළිබඳ සොයා බලා, වරාය,රේගුව හා සී.අයි.සී.ටී පර්යන්තයේ නිලධාරීන්  සමඟ සාකච්ඡා කර  සත්වෝද්‍යානයට බාරදීමට පියවර ගත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

වරායේ මෙලෙස රඳවාගෙන ඇති ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය විනාශ වීමට ඉඩ නොතබා කිසියම් ඵලදායි කාර්යයකට යොදා ගැනීමට පියවර ගත යුතු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ඇපල් තොගය දෙහිවල සත්වෝද්‍යානයට ප්‍රවාහනය කරදීමටද සීඅයිසීටී   සමාගම සහ වරාය අධිකාරිය එකඟවී ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න උප සභාපති ගයාන් අලගියවත්තගේ   සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ  යන මහත්වරු  සහ රේගු නිලධාරීහුද සහභාගිවූහ.