(බිඟුන් මේනක ගමගේ)
කවර කණ්ඩායමක් ආණ්ඩු බලයට පැමිණියත් අපරාධ පරීක්ෂණවලට හා නඩුකරවලට මැදිහත් නොවන්නැයි ඉල්ලා සිටින බව නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය පැවසුවාය.
දේශපාලනය ජනතාවට තිත්ත වී තිබියදී තමන්ට සිදුවන අයුක්තිය අසාධාරණය හමුවේ යන්නට ඇති එකම තැන අධිකරණය බවත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සියල්ලන්ගේ යුතුකම බවත් සෙනෙවිරත්න මහත්මිය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවාය.
නාවික හමුදාවේ ඉහළ නිලයන් කීපයක් විසින් මෙහෙයවනු ලදුව තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ගෙන අනතුරුව අතුරුදන් කිරීමට අදාළ නඩුවේ වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සෙනෙවිරත්න මෙනෙවිය මෙම අදහස පළ කළේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
රටේ ආන්දෝලනයට තුඩු දුන් අපරාධ පරීක්ෂණ රැසක වින්ධිතයන් සිදු වූ දේශපාලන වෙනස සමග ඒවායේ ඉදිරිය ගැන යම් කුකුසකින් පසුවන බව කී ඇය නීතියේ පාලනය ස්ථාපිත කිරීම රාජ්‍ය නායකයන්ගේ වගකීම බව කීය.
අතුරුදහන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය එහිදී අදහස් දක්වමින් චෝදනා කළේ බල තණ්හාව නිසා ජනාධිපතිවරයා තමා බලයට පත්කිරීමට කැප වූ ජනතාවගේ අපේක්ෂාවලට ද්‍රෝහී වූ බවටයි.
2014 වසර අගදී මෛත්‍රීපාල සිරිසේන නමැති පොදු අපේක්ෂකයාගේ මුවග රැඳුණු එක්නැලිගොඩ , ලසන්ත, රතුපස්වල, කටුනායක ආදී වචන වෙනුවට අද වනවිට වෙනම වචන පෙළක් රැඳී ඇති නමුත් යුක්තිය වෙනුවෙන් තමා ආරම්භ කළ සටන අවසානය දක්වා අත්නොහරින බව ද එක්නැලිගොඩ මහත්මිය අවධාරණය කළාය.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේදී ඝාතනය වූ රොෂේන් චානකගේ මව අදහස් දක්වමින් පැවසුවේ යහපාලන ආණ්ඩුවෙන් තමාට ලැබුණු එකම දේ තම පුතුගේ ඝාතනය පිළිබඳ කොමිසම් වාර්තාව පමණක් බවයි.
තමා එය ද ලබාගත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ බවත් ඒ හැර යහපාලන ආණ්ඩුවේ නායකයන් ඒ ගැන කිසි සැලකිල්ලක් නොදැක් වූ බවත් ඇය කීවාය.
නව දේශපාලන වෙනස සමඟ මෙම අපරාධ පරීක්ෂණ නඩුකරවල වින්ධිතයන් මෙන්ම එම පරීක්ෂණ මෙහෙයවූ නිලධාරීන් ද අනතුරේ වැටී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා සඳහන් කළේය.