අගමැතිවරුන් දෙදෙනා වෙනුවෙන් අපේ ඡන්දය නෑ - අනුර


 

(මුදිතා දයානන්ද)

අගමැතිවරුන් දෙදෙනා වෙනුවෙන් ඡන්දය නොදෙන අතර දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීම වෙනුවෙන් පාර්ලිමෙන්තුව කැඳවූ පසුව ලැබෙන  ඕනෑම අවස්ථාවකදී ඡන්දය භාවිතා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද  (05) පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

26 වැනි සිකුරාදා සිදුවූයේ දේශපාලන කුමන්ත‍්‍රණයක් වන අතර පාර්ලිමේන්තුව කල්දැමුවේ ඒ වෙනුවෙන් බවද එම කුමන්ත‍්‍රණය පරාජයට පත් කිරීමට පාර්ලිමේන්තුව කැඳවූ පසුව ලැබෙන ඕනෑම අවස්ථාවක් භාවිතා කරන බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයටත්, ව්‍යවස්ථාවට එරෙහිව පත්කරන ලද තනතුරු වලටත් එරෙහිව ඡන්දය දීමට ජවිපෙ සූදානම් බවද, නව ආණ්ඩුව විසින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කළහොත් එයට එරෙහිවත් ඡන්දය භාවිතා කරන්න ජවිපෙ සූදානම් බවත් දිසානායක මහතා පැවසීය.

මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට  එරෙහිව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.