‘විනිසුරුවරුන්ට අභූත චෝදනා එපා‘


අධිකරණයේ විනිසුරුවරුන් ඉලක්ක කොට  විවිධ අභූත චෝදනා එල්ල කිරීමෙන් වළකින්නැයි , එම විනිසුරුවරුන්ට එරෙහිව ප්‍රචාරණ දියත් කරන වෙබ් අඩවි ඇතුළු ඇතැම් ජනමාධ්‍ය ආයතන වලින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටින්නේ යැයි එම සංගමයේ ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා පැවසීය.

විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් ගැන චෝදනා හෝ විවේචන ඇත්නම් ඒවා විධිමත් හා නීත්‍යනුකූල ලෙසින් අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු අදාළ පාර්ශව වෙතට පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගම් ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගම් ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා මේ බව කියා සිටියේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන වාර්තා පිළිබඳ සිය සංගම් ස්ථාවරය දැනුම්දීම සඳහා කොළඹ අලූත්කඩේ පිහිටි එම සංගම් මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ සංගම් ලේකම්වරයා කියා සිටියේ මෙවැනි දෑ මාධ්‍ය විසින් දිගින් දිගටම සිදුකළහොත් එය අධිකරණයේ ස්වාධීනත්වයට ,යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හා ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජන එල්ල කරන්නක් වන බවයි.

නීතීඥ අමල් රන්දෙණිය මහතා මෙසේද කීය.

“මෑතකදී සිට ඇතැම් මාධ්‍ය විසින්  විනිසුරුවරුන් ඉලක්ක කර ගනිමින් අනවශ්‍ය විවේචන , එම විනිසුරුවරුන් ලබා දුන් නඩු තීන්දු විවේචනය කරමින් ප්‍රචාරණයේ නිරත වනවා. එය රටට යහපත් ප්‍රවණතාවයක් නොවෙයි. විනිසුරුවරයින් සම්බන්ධයෙන් යම් කිසි අයෙකුට විවේචන තිබේ නම් ඊට අදාළව නීත්‍යානුකූල ලෙසින් පැමිණිලි කළ හැකි  ආයතන මේ රටේ තියෙනවා. විශේෂයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව ,අගවිනිසුරුතුමන්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ අතරින් විශේෂයි. ඒ නිසා අපි අදාළ මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා යම් කිසි චෝදනාත්මක විනිසුරුවරුන් සිටී නම් විනිසුරුවරයා සිදු කළ අකටයුත්ත ගැන විධිමත් හා නීත්‍යනුකූල ලෙසින් අදාළ ආයතන වලට පැමිණිලි කරන ලෙසට.ඉන්පසුව එම පැමිණිල්ල ක්‍රියාත්මක වීමට අදාළව තොරතුරු වාර්තාකරණය කරන්න කියා මේ මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා.

ඒ වගෙම විනිසුරුවරයෙකුගේ නඩු තීන්දුවකින් යම් කිසි පැමිණිලිකාර පාර්ශවයකට අසාධාරණයක් සිදු වූවා නම් ඔවුන්ට අභියාචනාධිකරණය ,ශ්‍රෙෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණවලට පවා ගොස් ලබාදුන් තීන්දු ප්‍රතිශෝධනය හෝ අභියාචනය කළ හැකියි.

වෙබ් අඩවි ඇතුළු ඇතැම් මාධ්‍ය වලින් මෙවැනි අභූත චෝදනා වලට ලක්ව ඇති මහේස්ත්‍රාත් ,මහාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් ගැන අපට තොරතුරු ලැබිලා තිඛෙනවා. නමුත් මේ විනිසුරුවරුන්ගේ රැකියා ස්වභාවය අනුව  සමාජය ඉදිරියට පැමිණ සිදුවන අසාධාරණය ගැන හඬ නගන්නට බැහැ. ඒ නිසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ රටේ අධිකරණය රැක ගැනීමේ අරමුණෙන් මෙලෙස ඉදිරියට පැමිණියේ. විනිසුරුවරුන් අතින් වැරදි සිදුවන්න පුළුවන්. එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාකළ පසුබිම මේ රටේ තිඛෙනවා. වෙබ් අඩවි තහනම් කරන්න අපට බැහැ.නමුත් ආචාර ධර්ම පද්ධතියකට යටත්ව සිය ක්‍රියාපටිපාටිය මෙහෙයවීම මාධ්‍යයේ වගකීමක්.“