සෞදි අරාබියේ සුපිරි සාඩ් සමුහ ආයතනයේ සෞදි හා විදේශ සේවකයෝ සිව් මසක හිඟ වැටුප් ඉල්ලා දින හතරක් තිස්සේ වැඩ වර්ජනය කරති.ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් ගණනාවක සේවකයෝ 1200කට මෙලෙස වැටුප් ලැබී නැත.
සාඩ් සමුහ ව්‍යාපාරය කුවේට් සම්භවයක් ඇති ධන කුවේරයකු විසින් ආරම්භ කරන ලද්දේ කුවේට් ඉරාක යුද සමයෙන් අනතුරුවයි.90 දශකයේ ආරම්භ කරන ලද සාඩ් සමුහ ව්‍යාපාරය රෝහල්, පාසල්, පෙර පාසල්, ක්‍රීඩා, විවිධ ගොවිපල. ගොඩනැගිලි කර්මාන්ත, හෝටල්, නිවාස,ඇතුළු නානා විධි කර්මාන්ත ඇතුළු විශාල ප්‍රමාණයේ ආයෝජන ආයතනයක් විය.හදිසි අනතුරකින් මිය ගිය තම පිරිමි දරුවකු සිහිවීම පිණිස සාඩ් යන නාමයෙන් ආරම්භ කරන ලද මෙම දැවැන්ත ව්‍යාපාරය ලෝකයේ විවිධ රටවල පුරවැසියන් හට පසුගිය දශකවල ධන උල්පතක් විය.
සාඩ් සුපිරි රෝහල අති දැවැන්ත ගොඩනැගිලි සමුහයකින් යුක්ත වන අතර ලෝකයේ නවීන තාක්ෂණයෙන් යුක්ත වූ සියලුම අංගෝපාංග වලින් සමන්විත වන රෝහල තරු පහේ සුපිරි හෝටලයක දැක ගත නොහැකි ආකාරයේ විස්මිත හා දැකුම් කළු නිර්මාණයෙන් අලංකාර කොට ඇත. සෞදි රාජකීය පවුලට සම්බන්ධයක් ඇති මෙම ව්‍යාපාරය විටින් විට විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වුයේ මීට වසර ගණනාවකට පෙරය.
කෙසේ වුවද එහි සේවය කරන ලද ශ්‍රමිකයින් හට සෞදි අරාබියේ කිසිදු ආයතනයක නොවූ නිදහස සහ නියමිත වැටුප් නිසි කලට ලබාදුන් මෙම ව්‍යාපාරය විශාල මුල්‍ය අර්බුදයකට ලක්වෙමින් පවතින බව පසුගිය වසර කිහිපයක සිට දැක ගන්නට ලැබුනු අතර බොහෝ සේවකයෝ සේවය අවසන් කොට තම මව්බිම් වෙත යවනු ලැබූහ. ඊට ශ්‍රී ලාංකිකයෝද ඇතුළත් වූහ.සෞදි අරාබිය ද විශාල ආර්ථික අර්බුදයකට ලක්ව තිබේ.
පසුගියදා නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව වෙත පැමිණි විධායක ශ්‍රේණියේ ශ්‍රී ලාංකික පිරිසක් පැමිණිලි කර සිටියේ සාඩ් රෝහලෙහි මාස ගණනාවක වැටුප් ගෙවීම,අති කාල දීමනා මෙන්ම සේවය අවසන් කර මවු බිමට යාම සදහා කිසිදු දීමනාවක් ලබා දීම කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කරන බවයි.ඒ පිලිබදව තානාපති කාර්යාල කම්කරු බලධාරීන් ආයතනය වෙත ගොස් බලධාරීන් හමුවී සාකච්ඡා කළ නමුත් ප්‍රතිපලයක් අත් නොවූ බව ඔවුහූ පවසති.
සාඩ් රෝහලෙහි සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක පැවසුවේ මෙතෙක් කලක් තමන් ලැබූ වැටුප ඉදිරියේදී ලබා ගැනීම පිලිබදව සැක සහිත බවත් මවු බිමට යාම සදහා අවසර ඉල්ලුවද බලධාරීන් එයට අවසර නොදෙන බවත් සේවය අවසන් කිරීමේ ප්‍රතිලාභ ලබා දීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවත්ය.කෙසේ වුවද මේ වනවිට තත්වය දරුණු ලෙස උග්‍ර අතට හැරෙමින් පවතින මෙම ව්‍යාපාරයේ දහස් සංඛ්‍යාත සේවකයෝ වීදි බැස මාර්ග අවහිර කරමින් උද්ගෝශණය කරති.
සෞදි අරාබියේ සල්මන් රජු කියා ඇත්තේ මෙම ගැටලුවට ඉක්මන් විසදුමක් ලබාදිය යුතු බවයි.ඔහු සමාගමට විකල්ප තුනක් යෝජනා කළේය.මෙම ප්‍රශ්නය විසදීමට මාස තුනක් දී ඇත.ඊට අමතරව එම ව්‍යාපාරයට සෞදි අරාබියේ වෙනත් ව්‍යාපාරිකයෙකු සමග එක් වීම හා එසේ නොවේනම් සුපිරි රෝහල රජයට පවරා ගත යුතු බවට රජු යෝජනා කළ බව රෝහලේ සේවය කරන බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් කියයි.
බ්‍රිතාන්‍ය රෝහලේ සේවය කරන රිචඩ් පාසන්ස් නම් බ්‍රිතාන්‍ය ගණකාධිකාරීවරයා සේවයකයින් අමතමින් ඉල්ලා සිටියේ යළී වැඩට යන ලෙසයි.සාඩ් සමාගමේ හිමිකරු වර්ජනය කරන සේවකයින් හමු නොවන බවද කිවේය.රෝහල් සේවකයන් දැනට ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ප්‍රතිකාර කරන බවත් අලුතෙන් ඇතුළත් වීමට පැමිණෙන රෝගීන්ව අධෛර්යමත් කරන බවත් සේවකයෝ පවසති.
සෞදි අරාබියේ වැඩ වර්ජනයක් දැකගත හැක්කේ ඉතාමත් කලාතුරකිනි.නමුත් මෙම රෝහලේ විදේශ සහ සෞදි සේවකයින්ගේ වර්ජනය සදහා විශාල අවධානයක් ලැබී ඇත.