විශ්වාස භංගයට විරුද්ධ වෙන්න අමාරුයි - ඇමැති එස්.බී


ඩයනා උදයංගනී
 
අගමැතිවරයාට එරෙහි විශ්වාස යෝජනාවට පක්ෂයක් ලෙස විරුද්ධ වීමට අපහසුයැයි ඇමැති එස් බී දිසානායක මහතා පැවසීය.
 
විශ්වාස භංගයේදී ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

 ‘‘අගමැතිවරයාට විරුද්ධ විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. මේ විශ්වාසභංග යෝජනාව කියවන විට පසුගිය කාලය පුරා අපේ පක්‍ෂයේ මන්ත‍්‍රීවරු , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරු කතා කළ කරුණු එයට ගොණු කර ඇති බව පෙනෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර මංකොල්ලය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් පළමු පැමිණිල්ල කළේ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් විසිනුයි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටට ගොස් විරෝධතාවක් පවත්වා මහ බැංකු අධිපතිවරයා අතට විරෝධතා ලියවිල්ලක් ද ලබාදුන්නා.

ඉන්පසු අපේ මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ දී මෙහි සැබෑ තත්ත්වය සාකච්ඡා කළා. වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට හා සත්‍යය හෙළිදරව් කරන්නත් ඔවුන් ඉතා කැපවීමෙන් කටයුතු කළා. ඉන්පසු අපේ පක්‍ෂය මධ්‍යම කාරක සභාවක් කැඳවා මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ අනුව පක්‍ෂය මේ පිළිබඳ සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන ලෙස ජනාධිපතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කළා.

ඒ වගේම ලංකාවේ ආර්ථිකය සංවර්ධනාත්මක ගමනකට හරවා ගැනීමට පසුගිය කාලයේ අපට බැරි වුණා. අපේ ආර්ථිකය අර්බුදයකට පත්වුණා. අපේ ආණ්ඩුව ඇතුළෙත් අපි ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පක්‍ෂ නායකයින් සමඟ මේ ගැන කතා කළා. මොන ගැටලූ, මොන අඩුපාඩු තිබුණත් 2015 ට පෙර රටේ ආර්ථිකයේ ක‍්‍රමානුකූල නැගිටීමක් තිබුණා. එය 2015න් පසු ආරක්‍ෂා කරගැනීමට අපි අපොහොසත් වුණා. ඒ කාරණයත් මේ විශ්වාසභංගයේ ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස අපට මේ පිළිබඳ තීරණයක් ගන්න වෙනවා.

ඒ කරුණු අනුව අපට මෙයට විරුද්ධවීමට අපහසුයි. පක්‍ෂයක් හා සන්ධානයක් ලෙස විරුද්ධ වෙන්න හුඟක් අමාරුයි. අපිට මේ රජය පෙරළන්න උවමනාවක් නැහැ. අපිට අවශ්‍ය වී තිබෙන්නේ මේ රටේ ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු කරන සියලූ දෙනාට නැවත නැවත සිහිකරදුන්, අවශ්‍ය වෙනස්වීම් කරගන්නයි.

ජනාධිපතිතුමා මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් ආණ්ඩුව තුළ යම් යම් වෙනස්කම් කරගන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට විශාල උත්සාහයක් දැරුවා. ආණ්ඩු අභ්‍යන්තරයේ සාකච්ඡා  කළා. ඒවා පළදැරුවේ නැහැ. ඒ අතරේ මේ විශ්වාසභංග යෝජනාව ආවා. එයට දැනටමත් අපේ මැති ඇමතිවරු කිහිපදෙනෙක් අත්සන් කර තිබෙනවා. මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය වෙනස්කම් කර නව පුළුල් ජාතික රජයක් හදාගත යුතුයි. මේ ජාතික රජය, යහපාලන රජය පෙරළා දමන්න අපට උවමනාවක් නැහැ. ඒ නිසා මෙය වෙනස් කරන ලෙස ආණ්ඩුව හදපු අයටම ආරාධනා කරන්න අපි කැමතියි.

රටේ මතු වී ඇති ගොවි ජනතාවගේ, වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්න ඇතුළු කැකෑරෙමින් තිබෙන ප‍්‍රශ්න, ජීවන වියදම් ප‍්‍රශ්න, උතුරේ ජනතාවගේ වේදනාවන් හා ප‍්‍රශ්න, ආරක්‍ෂා කරගත යුතු ජාතික සංහිඳියාව රැකගැනීමට පැහැදිලි දැක්මක් ඇති පුළුල් රජයක් පිහිටුවා ගැනීමට ඉඩ ප‍්‍රස්තා සලසාදෙමින් ජනතාව බලාපොරොත්තු වෙන වෙනසකින් යුත් නව රජයක් බිහිකරගැනීමට ඉඩ ප‍්‍රස්තාවක් සළසා දීම මෙයින් බලාපොරොත්තු වෙනවා.

 නිසා අපි මේ විශ්වාසභංගය දෙස බලන්නේ ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට විරුද්ව ගෙන ආ එක්ක ලෙස නෙවෙයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඇමතිවරයෙකුට, ආණ්ඩුවකට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි වුවත් අගමැතිවරයෙකුට විශ්වාසභංගයක් ගෙන්න බැහැ. ඒ තාක්‍ෂණික කාරණා දෙස බලා විශ්වාසභංගය හදා තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකු වංචාවට වඩාත් වගකිවයුත්තා කවුද කියන කාරණය අනුවයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළි වූ කරුණු, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කරලා අරගෙන වෙනත් අමාත්‍යාංශයකට ගැනීමේ හේතු, විදේශිකයෙක් මහ බැංකු අධිපති කිරීම සහ ඔහු බේරාගැනීම සඳහා නිරන්තර අරගලයක් කරගෙන යාම සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපති කොමිෂන් සභාවට පැමිණ කර සමහර ප‍්‍රකාශ දෙස බලා අපි විශ්වාසභංග යෝජනාව හරියටම එයට වගකිව යුතු ප‍්‍රධාන අය බලා එල්ල කර ඇති බව පේනවා.

ඒ නිසා මේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධවීමට අපට අමාරුයි. ඒ නිසා අපි පක්‍ෂය, සන්ධානය ලෙස එක්වී තීරණයක් ගන්නවා. ඒ අරගෙන අපි ඒ සඳහා 4 වැනිදාට සූදානම් වෙනවා. අපි විශ්වාස කරන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනසක් සඳහා සහ ප‍්‍රධාන පක්‍ෂ බලාපොරොත්තු වන වෙනස සඳහා දොරටුව මේ විශ්වාසභංග යෝජනාව හරහා විවෘත කරදීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමම්බන්ධයෙන් අපේ පක්‍ෂය ගැඹුරින් සාකච්ඡා කරමින් සිටිනවා. ජනාධිපතිතුමා හා පාක්‍ෂිකයින් සමඟ මෙන්ම සෙසු පක්‍ෂ සමගත් සාකච්ඡා කර බලාපොරොත්තු සහගතම මේ සඳහා මුහුණ දෙනවා.’’ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ අමාත්‍යවරයා ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය -   සහය දෙනවාද නැද්ද යන්න ගැන තවම හරි තීන්දුවක් නැද්ද?

එස්.බී දිසානායක මහතා -        පක්‍ෂයක් හා සන්ධානයක් ලෙස අප තීන්දුවක් ගත යුතුයි. අපි කී අපි අනුමත කළ දේ මෙහි තිබෙනවා. අපේ කිහිපදෙනෙකුත් අත්සන් කර ඇති නිසා අපට විරුද්ධ වෙන්න අමාරුයි.

ප‍්‍රශ්නය -   විශ්වාසභංගයට සහය දෙන බව ප‍්‍රකාශ කරන්න බැරි ඇයි?

එස්.බී දිසානායක මහතා -        එසේ ප‍්‍රකාශ කිරීම ව්‍යවස්ථානුකූල නැහැ. අපි ඒ ගැන තීන්දුවක් ගත යුතුයි.

ප‍්‍රශ්නය -   මේ ගැන ජනාධිපතිතුමාගේ මතයත් එයමද?

එස්.බී දිසානායක මහතා -        මෙය ජනාධිපතිතුමාගේ මතය හෝ ශ්‍රී.ල.නි.පයේ නිල මතයත් නෙවෙයි. අපි සාකච්ඡා කර තීන්දුවක් ගන්නවා.

ප‍්‍රශ්නය -   මෙයට පක්‍ෂව ඡන්දය දෙනවා නම් අගමැතිවරයා සිටින ආණ්ඩුවක සිටීම සාධාරණද?

එස්.බී දිසානායක මහතා -        මෙය ආණ්ඩුවට විරුද්ධව ගෙන ආ එකක් නිසා එවැනි ගැටලූවක් මතුවන්නේ නැහැ. මෙය එක්තරා පුද්ගලයෙක් එල්ල කරගත් දෙයක්. මෙය පක්‍ෂ ගණනාවක් එක්වූ ජාතික රජයක්. අපේ ඇමතිවරුන්ට මේ විශ්වාසභංග යෝජනාවේදී පක්‍ෂ තීන්දුව සමග සිටීමට ගැටලූවක් ඇතැයි මට පේන්නේ නැහැ. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ජයගැනීමට නම් ආණ්ඩුවේ පිරිසක් එයට පක්‍ෂව ඡන්දය දිය යුතුයි.

ප‍්‍රශ්නය -   මහ බැංකුවේ පළමු වංචාව සිදුවුනේ දින 100 රජය තුළයි. දෙවැන්න සිදුවුණේ මැතිවරණයෙන් පසුයි. පළමුවැන්නට අගමැතිවරයා වග කිව යුතු බව කියනවා. නමුත් දෙවැනි වරටත් එම මුදල් ඇමතිතුමා පත්කළා. මෙයට රජයේ සිටි ජනාධිපතිවරයාට හෝ ශ්‍රී.ල.නි.පයට වගකීමක් නැද්ද?

එස්.බී දිසානායක මහතා -        මෙය ජාතික රජයක් නිසා අපට අනෙක් පක්‍ෂයේ කටයුතුවලට ඇගිලි ගහන්න බැහැ. කැබිනට් මණ්ඩලය තුළදී ජනාධිපතිවරයා හා අප සියලූ දෙනා කැබිනට් සාමූහිකත්වය රැක ගනිමින් මේවා වළක්වන්න උත්සාහ කළා. අපේ පක්‍ෂය මේ කාරණය දැක්කා. අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මෙන්ම ආණ්ඩුවටත් මුදල් අමාත්‍යාංශය වෙනස් විය යුතු බව කීවා. නමුත් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂය ලෙස එ.ජා.පයට අධිකාරී බලයක් තිබුණා. මේ ගැන තවමත් පරීක්‍ෂණ සිදුවෙනවා.

ප‍්‍රශ්නය -   ආරාධනා කරන්නේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවීමටද?

එස්.බී දිසානායක මහතා -        ඔව්. නව අගමැතිවරයෙක් සමඟ ආණ්ඩුවක් හදන්නයි. එතුමා අමාත්‍ය තනතුරක හෝ වෙනත් තනතුරක ඉන්නවාද යන්න පක්‍ෂයට තීන්දුවක් ගත හැකියි. ඒක ඒ ආණ්ඩුවේ අය තීන්දු කරයි.

ප‍්‍රශ්නය -   ක්‍රිකට් තරගයකදී නායකයා වගකිව යුතු නම් මෙතනදී උපනායකයා වගකිව යුතු ඇයි?

එස්.බී දිසානායක මහතා -        මේ කටයුතු ගැන ජනාධිපතිතුමාට වගකීමක් නැහැ. එතුමා ඉතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ආණ්ඩුවේ පක්‍ෂ සතු ශක්තිය අනුව කටයුතු කරගෙනයාමේ නිදහස දුන්නා. එතුමා අනිත් ඇමතිවරු හෝ අගමැතිවරයා පාලනය කරන ආඥාදායක පාලනයක් ගෙනගියේ නැහැ. නමුත් එතුමාට මුදල් අමාත්‍යාංශය වෙනස් කරන්න විශාල අවශ්‍යතාවක් තිබුණා. මේ සැරේත් එතුමාට අවශ්‍ය ලෙස කැබිනට් මණ්ඩලය වෙනස් කරන්න බැරිවූ බවයි මම හිතන්නේ.

ප‍්‍රශ්නය -   මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට ලබාදීමට ජනාධිපතිතුමා උත්සාහ කරනවාද?

එස්.බී දිසානායක මහතා -        ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලාවට විෂයයන් වෙනස් කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය -   තීරණයක් ගන්නා විට පිරිසක් අගමැතිතුමා රැකගත යුතු බව කීවොත්?

එස්.බී දිසානායක මහතා -        ඒ ගැන පක්‍ෂය තීන්දුවක් ගන්නවා. අපි ළග විකල්ප තිබෙනවා. ඒ කුමක්දැයි 5 වැනිදාට දැක ගත හැකිවේවි.

ප‍්‍රශ්නය     -        අගමැතිධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැනි එ.ජා.පයේ අයගේ නම් යෝජනා වෙනවා නේද?

එස්.බී දිසානායක මහතා -        ඒක එ.ජා.පය යෝජනා කරනවා නම් ජනාධිපතිතුමා පිළිගනීවි.

ප‍්‍රශ්නය     -        ශ්‍රී.ල.නි.පයෙනුත් එවැනි යෝජනාවක් තිබෙනවාද?

එස්.බී දිසානායක මහතා -        නැහැ.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)