විපක්ෂයෙන් දිගටම විරොධථා


 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් බදාදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබුවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් සෙවීමටය. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් වර්ජනය කළ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ ගණනාවක් ඊට සම්බන්ධ විය. සමුළුවට පදනම වැටුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාවකි. ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, ආණ්ඩුවේ මැති ඇමැතිවරු ද ඊට සහභාගි වූහ.


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු නායකයෝ ද ඊට සහභාගි වූහ. ජනාධිපතිවරයා සමුළුව ආරම්භ කරමින් කීවේ, එය දේශපාලනයෙන් එහා ගිය පුළුල් සාකච්ඡාවක් බවය. එදින සමුළුවට සහභාගී නොවූ අනෙකුත් පක්ෂ වලට ද සර්වපාක්ෂික සමුළුවට ආරාධනා කරන බව ජනාධිපතිවරයා කීවේ රට ගොඩගැනීම සඳහා සියලු‍ දෙනාගේ අදහස් හා යෝජනා අවශ්‍ය බව කියමිනි. රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ආරාධනා කළේ සාකච්ඡාව සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණෙනි. එහෙත් කබ්රාල්ගේ කතාව දේශපාලන මුහුණුවරක් ගෙන තිබිණි. පවතින තත්ත්වය පැහැදිලි කිරීමට වඩා දේශපාලන මුහුණුවරකින් අර්බුදය දෙස බැලීමට ඔහු ගත් උත්සාහය හේතුවෙන් ඔහුගේ කතාවට මුලින්ම විරෝධය එල්ල වූයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙනි. මෙම අර්බුදයට කලින් තිබූ ආණ්ඩුවට චෝදනා කරන්නේ නම් තමාට ද ඊට පිළිතුරු දිය හැකි බවත්, එය එතැනින් කෙළවර නොවන බවත්, රනිල් කීවේය. රනිල්ගේ අදහස ජනාධිපතිවරයා පිළිගත්තේ ය. කබ්රාල්ගේ කතාවෙන් හිටපු අගමැතිවරයාට සිත් රිදීමක් ඇති වූයේ නම්, සමාවන්නයැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ එම හැසිරීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක් විය. ජනාධිපතිවරයකු සාමාන්‍යයෙන් සමාව ගැනීමක් ගැන කතා වෙන්නේ බොහෝ කලාතුරකිනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එම හැසිරීම බොහෝ දෙනාගේ ප්‍රසංශාවට හේතු විය.


සාකච්ඡාව යන අතරේ රනිල් හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අතර ද වාග් සටනක් ඇතිවිය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවක් සම්බන්ධයෙනි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුද​ෙල් වාර්තාව ඉදිරිපත් කරන්නැයි රනිල් දිගටම කීවේය. එහෙත් බැසිල් කීවේ එවැනි වාර්තාවක් ලැබී නැති බව ය. සංවාදයේ දිගින් දිගටම යද්දී බැසිල් කිව්වේ කෙටුම්පතක් පමණක් ලැබී ඇති බව ය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ඔහු කීවේ මෙවර අයවැය වෙනුවට කාලීන අවශ්‍යතාව සලකා අලු‍ත් අය වැයක් ඉදිරිපත් කරන ලෙසය. යෝජනාව පිළිගත් බැසිල් කීවේ කැබිනට් මණ්ඩලය සමගද සාකච්ඡා කර ඒ සඳහා පියවරක් ගත හැකි බවය. අතුරලියේ රතන හිමියන්ගේ අදහස් දැක්වීම තරමක් උණුසුම්කාරී විය. වත්මන් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය පත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කිසිදු පැහැදීමක් නැතැයි උන්වහන්සේ කියා සිටියහ. ප්‍රසිද්ධියේ නොකීවද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ද සිටින්නේ එම අදහසේය.


ඇමති මණ්ඩලය පත් කළ ආකාරය වැරදි බව රතන හිමියන් ජනාධිපතිවරයා ඉදිරියේම කියා සිටීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. උන්වහන්සේ කීවේ මේ කැබිනට් මණ්ඩලය තියාගෙන ඉදිරියට යා නොහැකි බව ය. ඒ නිසා කැබිනට් මණ්ඩලය විද්‍යානුකූලව පත්කර සිස්ටම් එකක් හදා ගත යුතු බව රතන හිමියෝ කීහ. එසේ නොමැති වුවහොත් ඉදිරි ගමනක් නොමැති බව උන්වහන්සේ දිගින් දිගටම කියා සිටියහ.
විපක්ෂය සමුළුව වර්ජනය කළ ද සමුළුවේ අදහස් දැක්වීම සාධනීය සාකච්ඡාවකට මුල පිරීමක් බව බොහෝ දෙනාගේ අදහස විය.


මේ අතර ගිය සතියේ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් දෙකක් පැවැත්විණි. එකක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂ රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේදී ඉකුත් අඟහරුවාදා පෙරවරුවේය. එම රැස්වීමට සහභාගි වූ මැති ඇමැතිවරුන් ගණන සීමිත විය. උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස සහභාගි නොවූහ. එම රැස්වීම සීමාවූයේ ඒ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පමණි. න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීමෙන් අනතුරුව අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේ තවත් මොනවා හරි තිබේද කියාය. එහෙත් බොහෝ දෙනා ඊට උත්තරයක් නොදුන්නේ එදින සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කතා කළ යුතු කරුණු සාකච්ඡා කරන බැවිනි.


පසුපෙළ නිසා කැඳවූ හදිසි රැස්වීම


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීම අගහරුවාදා රාත්‍රී හතට පමණ අරලියගහ මන්දිරයේ දී ආරම්භ වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

 


අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ආණ්ඩුවේ මැති ඇමැතිවරු ද ඊට සහභාගි වූහ. අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබූ උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන දෙදෙනා මෙන්ම, ඇමති වාසුදේව නානායක්කාර මහතාද ඊට පැමිණ සිටියේ නැත. එසේ වුවද ආණ්ඩු පක්ෂ රැස්වීමට වෙනදා තරම් මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ සිටියේ නැත. ජනාධිපතිවරයා රැස්වීම් ආරම්භයේදීම පිරිස කැඳවීමට හේතු වූ කරුණු ගැන පැහැදිලි කළේය. රටේ තත්ත්වය ගැන පැහැදිලි කරන්නයි මම තමුන්නාන්සේලා හමුවෙන්න හිටියේ. රටේ තියෙන තත්ත්වය ගැන මම හොඳට දන්නවා. එය පාලනය කරන්න මං විශාල උත්සාහයක් දරනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තියෙන බවත් මං දන්නවා. ඒවා මගහරවන්න අපි යම් යම් පියවර අරන් තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න මම සර්ව පාක්ෂික සමුළුවකුත් කැඳවල තියෙනවා. ඔබතුමාලත් නියම තත්තවය ගැන අවබෝධයෙන් වැඩ කරන්න ඕනැ යැයි ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.


අනතුරුව ජනාධිපතිවරයා කීවේ ඔබතුමාලටත් මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න කියාය. ඒ අනුව උදේනි කිරිඳිගොඩ මන්ත්‍රීවරයා නැගී සිටියේය. පෙට්රල්වලටත් වැඩිය ගෑස් පෝලිම සාමාන්‍ය ජනතාවට බලපානවා. මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලබාදීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා යැයි කිරිඳිගොඩ මන්ත්‍රීවරයා කීවේ දීර්ඝ විස්තරයක් කරමිනි. අනතුරුව කතා කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. ජනාධිපති තුමනි මම මේ කතා කරන්නේ ඔබතුමාට විරුද්ධවවත්, ආණ්ඩුවට විරුද්ධවවත් නෙමෙයි. මම රාජපක්ෂ පවුලට හැමදාමත් ආදරෙයි. ඒ ආදරේ නිසයි මේ කාරණා ගැන කතා කරන්නේ. විදුලිය කපනවා. තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් තියෙනවා. මේ තත්ත්වයත් එක්ක මිනිස්සුන්ගෙ තරහ දෝරේගලනවා. සමහරවිට මන්ත්‍රිවරයෙක් හම්බුණොත් මේ මිනිස්සු අර පාකිස්තානයේ දී එක්කෙනෙකුට ගහල මැරුවා වගේ මරයි ද දන්නෑ යැයි ජගත් කුමාර කීවේය. සාකච්ඡා කරන්න අවස්ථාවක් නොලැබුණාම තමයි අපේ අය එළියට ගිහින් කතා කරන්නේ. සමහර තීන්දු ගත්තේ අවශ්‍ය වෙලාවට නෙමෙයි. ජගත් කුමාර කීවේය.


ජනාධිපතිවරයා නැවත කතා කළේය. ඔබතුමාල හිතන් ඉන්නවද මම මොකුත් දන්නේ නෑ කියලා. මටත් බුද්ධි අංශවලින් තොරතුරු එනවා. ඩොලර් නැති කමයි මෙතන තියෙන ප්‍රශ්නය. කොවිඩ් ප්‍රශ්නයත් පහුගිය ආණ්ඩුවේ වැරදිත් නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. මේ සියල්ල ගැන අවධානය යොමු කරල තියෙන්නේ. උදේට මම කී දෙනෙකුට කතා කරල ඩොලර් ඉල්ලනවද. උදේ මෙහෙ අයට කතා කරල ඩොලර් ඉල්ලන්වා. හවසට ජාත්‍යන්තරයෙන් ඩොලර් ඉල්ලනවා. දැන් මම ජාත්‍යන්තර හිඟන්නෙක් වෙලා ඉන්නෙ යැයි ජනාධිපතිවරයා රටේ තත්ත්වය කීවේ දීර්ඝ විග්‍රහයක් කරමිනි.


‘‘මට ඇමතිවරු ගොඩක් පත් කරන්න බෑ. සමහර වෙලාවට ඇමතිකම් නැති වුණාම සමහර අය අපට චෝදනා කරනවා. නමුත් මේ ඇමැතිවරුන් මේ පසුපෙළ ගැනත් අවධානය යොමු කරල වැඩ කරන්න වෙනවා යැයි ජනාධිපතිවරයා කීවේය. අනතුරුව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කතා කළේය.


‘‘මම වෙන පක්ෂයක වුණත් මම දරන්නේ වෙනස් මතයක්. ඔබතුමා මේ වෙලාවේ යන්න ඕන නෑ. ඔබතුමාට කාලේ තියෙනවා. ඉස්සර හිටපු අයත් එහෙම ගියේ නෑ. මේ වෙලාවේ ඩොලර් ටිකක් ගෙන්න ගන්න එකයි කරන්න ඕන චාමර සම්පත් කීවේය.


එස්.බී. දිසානායක ඇමතිවරයා කීවේ පහුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මේ තත්ත්වය උදා වී ඇති බවය. තව ටික දවසකින් මේ ප්‍රශ්න මගහැරී යන බව ඔහු කීවේය.


අවසානයේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කතා කළේය. ඔහු රටේ ආර්ථික තත්ත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ඉන්දියවට ගොස් ලබාගත් ආධාර සම්බන්ධයෙන් ද ඔහු පැහැදිලි කළේය. ඉන්දියාවෙන් අපිට ඩොලර් මිලියන 500 ඉන්ධන ගන්න දෙනවා කිව්වා. හැබැයි ඒක 750 කරගන්න පුළුවන් වුණා. තෙල් නැව් එන්න පටන් අරන් තියෙනවා. ඒ අනුව ලබන මාසේ මුල වෙනකොට ප්‍රශ්න ටික විසඳෙයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තීරණය කරලා තියෙන්නේ යැයි බැසිල් කීවේය.


ළඟදී රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ නිමල් ලන්සා ද එතැනට පැමිණ සිටියේය. ඒත් ඔහු ඒ සාකච්ඡාවේදී අදහසක් දක්වන්නට ගියේ නැත. රැස්වීම අවසානයේ ඔහු බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාත් ජනාධිපතිවරයාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කළේය.


සජබයේ ඊළඟ මෙහෙයුම


දිනෙන් දින ම ආණ්ඩුව විසින් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව පුළුල් ජනතා වේදිකාවක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් විපක්ෂනායක සජිත් ඇතුළු සමගි ජන බලවේගය තීරණාත්මක තීන්දු කිහිපයක් ගනු ලැබීය.


විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ දැවැන්ත විරෝධතාවෙන් පසු සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ඉදිරි කටයුතු සහ උපාය උපක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.


‘‘ඇත්තටම අපි ආණ්ඩුවට පුංචි අනතුරු ඇඟවීමක් කළා විතරයි. ඉස්සරහට ආණ්ඩුවට මේ වගේ ඒවා සෑහෙන ප්‍රමාණයකට මුහුණ දෙන්න වෙනවා.”‍ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘තෙල් නැතුව, හරි හමන් ප්‍රවාහන පහසුකමක් නැති ව ලක්ෂ ගාණක් ආණ්ඩුවට විරුද්ධව කොළඹට ආවම ආණ්ඩුවට තරු විසිවෙන එක පුදුමයක් නෙවේ. දැන් කරන්නෙ එයාලගේ කුලී හේවායෝ දාලා මඩගහන එක. ඒවට අපි සැලෙන්න හොඳ නෑ. මේ ගත්ත ගැම්ම එක දිගට ආණ්ඩුව ගෙදර යවනකම් කරන්න ඕනෑ”‍ කවදත් එවැනි සටන්කාමී වැඩවලට මුල් වන රාජිත කීවේය.


‘‘සමගි ජන බලවේගය නායකත්වයෙන් අපි පොදු වේදිකාවක් නිර්මාණය කරමු. විපක්ෂයේ පක්ෂ එකතු කරලා අපේ ප්‍රතිපත්තිත් එක්ක එකඟ වෙන වැඩපිළිවෙළකට යමු. මේ ආණ්ඩුව එක දවසක් තියෙනවා කියලා කියන්නේ ඒකත් මහා විනාසයක්”‍ හරීන් කීවේය.


ඒ සමඟම විපක්ෂනායක සජිත් තීරණාත්මක තීන්දුවක් ගත්තේය.


‘‘හරින් කියපු අදහස වටිනවා. පොදු වේදිකාවක් නිර්මාණය කරන වැඩේට මම කැමතියි කමිටුවක් පත් කරන්න. මහ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් ඒ කමිටුව හදමු. ඊට පස්සේ ඒක වර්කිං කමිටුවට දාලා අනුමත කරගමු”‍.
සජිත් හරින්ගේ ප්‍රකාශයට අනුමැතිය දුන්නේ එහෙමය.
පුළුල් පොදු සංධානගත වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා විපක්ෂනායකවරයාගේ විශේෂ කමිටුවක් ලෙස එය යෝජනා ස්ථිර විය. රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, තලතා අතුකෝරාල, ඉරාන් වික්‍රමරත්න එම කමිටුවට අයත් වෙති.


ඒ එක්කම සජිත් තවත් විශේෂ කමිටුවක් පත් කළේය. ඒ මේ රටේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක බලවේගයක් යටතට ගොනු කිරීමේ කටයුත්තය.
එහි වගකීම සජිත් භාරදුන්නේ රාජිත සේනාරත්නට ය.


‘‘දැන් මේ සටන අපි අතට ගන්න ඕනෑ. හැම බල මණ්ඩලයකම ශක්තිමත් කරන්න ඕන. ලබන හත්වෙනිදා ලංකාවේ හැම ආසනයකම මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යවන්න විරෝධතාවයක් සංවිධානය කරමු.”‍ සජිත් කෘත්‍යාධිකාරිය හමුවේ කීවේය.
මේ අතර තරුණ බලවේගය ශක්තිමත් කිරීම පිළිබඳව ද සජිත් මයන්ත ට උපදෙස් දුන් අතර හිරුණිකාගේ සටන්කාමිත්වය පිළිබඳව ස්තුතිය පුද කිරීමට ද අමතක නොකළේය.
සමගි ජන බලවේගය මෙවර මැයි දිනය සැමරීමට කටයුතු යොදා ඇත්තේ අග නගරයෙන් පිට ය.
‘‘අපි මැයි රැලිය තියන්නේ මහනුවර”‍ මහ ලේකම් රංජිත් කියන විට බොහෝ දෙනෙකුට එය අලු‍ත් පණිවිඩයක් විය.


‘‘මොකෝ මේ වතාවේ අපි මහනුවරට ගත්තේ?”‍ ගයන්ත ඇසුවේය.
‘‘මහනුවර ජය බිමක්. ඒ නිසා තමයි අපි එහෙට ගත්තේ”‍ එහෙම කිව්වේ කිරිඇල්ල ය.
‘‘ඕන්නං අපි ඊළඟ වතාවෙ ගාල්ලට දෙන්නම්”‍
මහලේකම් රංජිත් කීවේය.


‘‘කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේදා අපි ගාල්ල දිනන්නේ උඩින්”‍ ගයන්ත උත්තර දුන්නේය.
ආණ්ඩුව විසින් ගෙන එනු ලැබ තිබූ ඉතාම භයානක කැබිනට් පත්‍රිකා කිහිපයක් පිළිබඳව හරින් ප්‍රනාන්දු අනාවරණය කිරීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ බලවත් කැළඹීමකට ලක් විය. එය තවත් තීව්‍ර වූයේ විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමගය.
‘‘ආණ්ඩුව අහසත් විකුණන්න යනවා. මේක වෙන්දේසිලන්තයක් වෙලා ඉවරයි. මෙහෙම විකුණගෙන විකුණගෙන ගියාම මොනවද ඉතුරු වෙන්නේ?”‍ සජිත් ප්‍රශ්න කළේය.
මේ අතර සජිත්, මුදල් ඇමතිවරයා කරන්නට යන තවත් වැඩක් පිළිබඳව හෙළිදරව් කළේය.
ඉන්දියාවෙන් ණය අරන් ගම් දාහතරදාහක ‘‘පොහොට්ටු කඩ”‍ දාලා පොහොට්ටු සාමාජිකයන්ට කූපන් දීලා ආණ්ඩුව කරන්න යන වැඩේ මොකක්ද? යනුවෙන් සජිත් ප්‍රශ්න කළේය.
ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙ​ෙළඳසල් ආරම්භකොට පොහොට්ටු සාමාජිකයන්ට කූපන් ලබා දී ඒ වෙ​ෙළඳසල්වලින් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බව සජිත් පැවසීය.
මේ මොහොතේ රටේ සියලු‍ම දෙනා බරපතළ ව්‍යසනයකට මැදිව සිටින බව පැවසූ සජිත එවන් තත්ත්වයක් තුළ පෝලිම්වල දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසා සිටි අතර, ඒවාට විසඳුම් ලබා දෙනවා වෙනුවට පටු බල දේශපාලන උපායමාර්ග වෙනුවෙන් රට බිල්ලට දෙමින් සිටින බවද පැවසීය.


කෙසේ වෙතත් ආණ්ඩුවට හරි හමන් උත්තරයක් තිබුණේ නැත.
නුගේගොඩ ජවිපෙ රැලියත් කඩාකප්පල් කරන්න ඉඳලා
ජාතික ජන බලවේගයේ මෙහෙයවීමෙන් නුගේගොඩ පැවැති රැලිය කඩාකප්පල් කිරීමට යම් පිරිසක් සූදානමින් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර රැලියට අතිවිශාල පිරිසක් සහභාගි වීම නිසා එම පිරිස කිසිවක් කර ගත නොහැකි තත්ත්වයට පත් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ සාකච්ඡාවකදී අනාවරණය විය.


රැස්වීම කඩාකප්පල් කිරීමට සූදානමක් ඇති බවට කල් ඇතිව තොරතුරු ලැබී තිබූ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කල් ඇතිවම ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා පත් කර සිටියේය.
නුගේගොඩ රැලියට පෙර ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභාව පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී ආරක්ෂාවට සම්බන්ධව, එහෙත් රාජ්‍ය නොවන රජයට ලැදි ආයතනයක පිරිසක් රැලිය කඩාකප්පල් කිරීමේ සූදානමක සිටින බවට අනාවරණය විය. මෙහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ රටේ ජනතාව විඳින පීඩාව මූලික කර ගනිමින් පවත්වන මේ රැලිය කඩාකප්පල් කිරීමට කවුරු සූදානමින් සිටියත් අනිවාර්යෙන්ම සාර්ථක කරගත යුතු බවයි.
කඩාකප්පල්කාරීන් පිළිබඳව තොරතුරු සොයා බැලීමේ හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මෙහිදී ලාල් කාන්ත මහතාට පවරනු ලැබීය. එම අනතුර සම්බන්ධයෙන් සංවිධානාත්මකව තොරතුරු දැන ගැනීමට ද වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙස මෙහිදී ලාල් කාන්ත මහතාට උපදෙස් දුන්නේය.
සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන ලෙසට සඳහන් ලිපියක් තම පක්ෂයටද ලැබී ඇති බව නායක අනුර කුමාර දිසානායක මහතා මධ්‍යම කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය. එම ලිපිය ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මේ රටේ ආර්ථිකය විනාශ කළ අය සමග අපට සාකච්ඡාවක් තියෙනවද? යන්නයි. මෙම සමුළුවට සහභාගි වීම අර්ථවත් නොවන බවට අනුර කුමාර දිසානායක මහතා කළ යෝජනාව මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව ස්ථිර කරනු ලැබුවේය.


මෙයට පෙර සමගි ජන බලවේගය පැවැත් වූ ජනරැලියට සහභාගි වූ අයගේ හැසිරීම සමාජ විවේචනයට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙහිදී කියා සිටියේය. ර​ටේ අර්බුදකාරී අවස්ථාවක උද්ඝෝෂණයක් වි​රෝධතාවක් පවත්වන්නේ නම් එය විනෝදජනක එකක් නොවිය යුතු බවද විජිත හේරත් මහතා කියා සිටියේය.


නාමල් කරුණාරත්න මහතා කරුණු දක්වමින් යල කන්නයට ​පො​හොර ලබා නොදෙන තත්ත්වයක් පවතින බව කීවේය. පොහොර මෙට්‍රික් ​ටොන් 88000 ක අවශ්‍යතාව ඇතත් එයින් සියයට 1ක ප්‍රමාණයක්වත් නොවීම නිසා යල කන්නයේ වගාවන් ගැටලුකාරී වී ඇති බව ඔහු පැහැදිලි කර දුන්නේය.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ රංගන දේවප්‍රිය මහතා විසින් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර නොදීමේ ගැටලුව ඉදිරිපත් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැති උද්ඝෝෂණයේදී තරුණ පිරිස් විනය ගරුකව හැසිරීම පිළිබඳව ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය. තරුණ පිරිස කලහකාරී වී හැසිරුණා නම් තත්ත්වය බරපතළ වන බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉකුත් බදාදා නුගේගොඩ පැවැති රැස්වීමෙන් පසු නායක අනුර කුමාර දිසානායක මහතා අම්පාර ප්‍රදේශයේ සංචාරයක යෙදුණේය.


නුගේගොඩ රැලියට මනෝ ගනේෂන් මහතාද සහභාගි වී සිටියේය. මීට අමතරව හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත ප්‍රින්ස් ගුණසේකර මහතාගේ දියණියද මෙම රැලියට සවන් දීමට පැමිණ සිටියාය. ඇමෙරිකාවේ බැරිස්ටර්වරියක් වූ ඇය මෙරටට පැමිණි වහාම මෙම රැලියට පැමිණ සිටියාය.
මෙම රැලිය නිසා තදබල මාර්ග අවහිරයක් ඇති වූ අතර දෙල්කඳත්, ජම්බුගස්මුල්ල හන්දියත් අතර ප්‍රදේශයකදී සංවිධානාත්මක පිරිසක් රැලියට බැණ වදිමින් මාර්ග තදබදය නිසා ජනතාව අසීරුතාවට පත්වන බව ප්‍රකාශ කර ඇත. එහිදී රැලිය නැරඹීමට පැමිණ ඇති පිරිසක් ගෑස් පෙට්‍රල් ගන්න මීට වඩා වෙලාවක් රස්තියාදු වෙන්නේ. මේක මේ රට වෙනුවෙන් කරන දෙයක් යනුවෙන් ප්‍රකාශ කිරීම නිසා විරෝධතාවය දැක්වූ පිරිස නිහඬ වී විසිර ගිය බවද සඳහන් විය.


ජනපති එජාප නායකයාගෙන් සමාව ඉල්ලයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතිය කාර්ය බහුල එකක් විය. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය හමුවීම, සර්වපාක්ෂික සමුළුවට සහභාගි වීම, සමාජ මාධ්‍ය සමග සාකච්ඡා පැවැත්වීම හා හයිඩ් පිටියේ පැවැති සත්‍යග්‍රහ ව්‍යාපාරය හා උපන් දිනය නිසා රනිල් වික්‍රමසිංහ මහතා කාර්ය බහුල වී සිටියේය.


ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සමග කොළඹ පස්වැනි පටුමගේ පිහිටි සිය නිවසේදී පැවැති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමට එක්ව ක්‍රියාකළ යුතු බව ඉල්ලා සිටියේය. රටක ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ශක්තිමත් විපක්ෂයක ඇති අවශ්‍යතාව මෙහිදී ඇමරිකානු තානාපතිනිය පෙන්වා දුන්නාය.


ඉකුත් සතියේදී සමාජ මාධ්‍ය සමග පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් දිගු කාලීනව සිතා කටයුතු කළ යුතු අතර වසරකින් රටක් හදන්න බැරි බවත්ය.


සර්ව පාක්ෂික සමුළුවට එක්සත් ජාතික පක්ෂ නායකයා ද සහභාගි වූයේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටුණේ 2015 සිට 2019 දක්වා කාලයේ සිට බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පටු දේශපාලනයට තමන් මෙම සමුළුවට සහභාගි නොවූ අතර රටේ පවතින උග්‍ර ප්‍රශ්න නිසා සහභාගි වූ බවත්ය. එහිදී ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ හිත රිදුනා නම් එයට සමාව ඉල්ලා සිටියේය.


කොළඹ හයිඩ් පිටියේ සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යග්‍රහ ව්‍යාපාරය සංවිධානය කිරීමේ කටයුතු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙත පවරා තිබුණි. ඒ අනුව ගිය සතියේත් සංවිධායකවරුන් හමුවී අවශ්‍ය කටයුතු කිරීමට රුවන් විජයවර්ධන මහතා මූලික වී ක්‍රියා කළේය. කැලණිය ප්‍රාදේශීය සභාවේ සභික බුද්ධික මිහිපති මහතා යළි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන මහතා සමග සාකච්ඡා කළේය.


පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය බ්‍රහස්පතින්දාට යෙදී තිබුණ බැවින් රුවන් එදින උදෑසනම ඔහුට සුබ පැතුම් එක්කළේය. ජනාධිපති අගමැති ඇතුළු විශාල පිරිසක්ද රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් සුබ පැතූහ. උපන් දිනයදා ගුවන් විදුලියේ සජීවී වැඩසටහනකට සහභාගි වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මට දෙන හොඳම උපන්දින තෑග්ග ජනතාවට බඩු මිල අඩු කරල දෙන එක යනුවෙනි.


මේ අතර සිකුරාදා පැවැති සත්‍යග්‍රහ ව්‍යාපාරය ඩාර්ලි පාර, විහාර මහා දේවි උද්‍යානය යුනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස සිට සුදුවතින් සැරසුණ ජනතාව නිහඬව හයිඩ්පාක් පිටියට පැමිණියහ.


රටට අවශ්‍ය ඩී. එස්. වැනි නායකයෙක් කරු කියයි


ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 70 වැනි ගුණානුස්මරණය පසුගිය 22 වැනි දිනට යෙදී තිබිණි. මෙවරද ඩී.එස්. ගුණසමරුව පවත්වනු ලැබුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඇතුළු දේශපාලනඥයෝ රැසක් ද රුක්මන් හා වසන්ත ඇතුළු සේනානායක පවුලේ සාමාජිකයෝද තවත් බොහෝ පිරිසක් ද එයට සහභාගී වී සිටියහ. ඩී.එස්. ගුණසමරු කමිටුවේ සභාපති ලෙස කරු ජයසූරිය මහතාට එහිදී විශේෂ භූමිකාවක් පැවරී තිබිණ.
ඩී.එස්. උපන් මීරිගම ගමෙන් බිහි වූ ප්‍රමුඛ චරිතයක් ලෙසටද ඔහු විසින් ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස කලක් කටයුතු කළ අයෙක් ලෙසට ද කරු හැමවිටම ඩී.එස්. කෙරෙහි දක්වන්නේ ඉමහත් ගෞරවයකි. කරු එහිදී අවධාරණය කළ ආකාරයට අනාගතයේ මේ රටේ එක්සත් බව සුරැකෙනු ඇත්තේ ඩී.එස්. ගත්මග අනුගමනය කළහොත් පමණකි. උත්සවය අවසන් වී ඊට සහභාගි වූවන් අතර වූ සුහද කතාබහහේදී කී දෙයක් වූයේ මේ රටට අද අවශ්‍ය හිට්ලර් වැනි විනාශකාරිකයෙකු නොව ඩී.එස්. වැනි නිර්භීත හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන නායකයෙකු වන බවය.

 

 

-ගජබා-