ආණ්ඩුවේ මහා පුටු සෙලවෙයි


 

රට දිනෙන් දින අර්බුදයට ලක් වෙමින් තිබේ. පැන නැගී ඇති අර්බුද කවදා කෙසේ කෙළවර වේදැයි තවමත් කාටවත් කිව නොහැකි ය. ඉන්ධන, ගෑස්, විදුලිය අර්බුදය තවමත් එසේමය. මේ අතරේ ගිය සතියේ ද රට පුරා උද්ඝෝෂණ විරෝධතා පවත්වමින් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් එරෙහිව ජනතාව වීදි බසින්නට වූහ. ඒ හේතුවෙන් කැබිනට් මණ්ඩලයට පවා ඉල්ලා අස්වන්නට ගිය සතියේ සිදුවිය. ඒ තරමටම ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් විය.

පොහොර ප්‍රතිපත්තිය වැරදි බව ආණ්ඩුව පිළිගනී

ආණ්ඩුවට එරෙහිව විරෝධතා පටන් ගත්තේ ගොවීන් ගෙනි. ඊට හේතුව ආණ්ඩුව රසායනික පොහොර තහනම් කර ක්ෂණිකව කාබනික පොහොරවලට මාරු වීමය. ඊට එරෙහිව ගොවීහු දිගින් දිගටම වීදි බැස්සහ. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් පොහොර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැඩි තීරණයක සිටියේය. අවසානයේ එය ජනතා කැලඹිල්ලක් බවට පත් වූ බව පසුගිය කාලය පුරා කළ කී දෑ වලින් පැහැදිලිය.


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉකුත් සතියේ සිකුරාදා රැස්විය. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේය. එම රැස්වීමට අගමැතිවරයාද, බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු ද සහභාගි වූහ. විමල්, ගම්මන්පිල ඇතුළු පිරිස ඊට සහභාගී නොවූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත් ඇතුළු කිහිප දෙනෙක් සහභාගි වූහ.
මුලින්ම කතා කළේ උදේනි කිරිඳිගොඩ මන්ත්‍රීවරයාය. ඔහු කිව්වේ ගෑස් අර්බුදය බරපතළම වී ඇති බවය. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කීවේ මේ ප්‍රශ්නය පටන් ගත්තේ පොහොරවලින් බවය. මේ අතර එස්.බී. දිසානායක ඇමතිවරයා ද නැගී සිටියේය. ඔහු කතා කරන්නට සූදානම් වනවාත් සමඟම, ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකුගෙන් ඔහුට විරෝධය එල්ල වූයේ ප්‍රශස්ති ගැයීම දැන්වත් නවත්තන්න කියාය අවසානයේ එස්.බී. ඉඳගත්තේය. මේ අතර, එස්.ඩී. ජගත් කුමාර මන්ත්‍රීවරයා කතා කළේය. ඔහු කිව්වේ මන්ත්‍රීවරුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක් පවා උදාවී ඇති බවය. ඒ නිසා මේ ප්‍රශ්නවලට ආණ්ඩුව වහා විසඳුම් ලබාදිය යුතු බව ඔහු කීවේය. සී.බී. රත්නායක ඇමැතිවරයාද පොහොර අර්බුදය ගැන කතා කළේය. ඔහු කිව්වේ පොහොර ප්‍රශ්නය ආණ්ඩුවට බරපතළ ලෙස බලපා ඇති බව ය. වී වගාවට පමණක් නොව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගාකරුවන්ට ද එයින් බරපතළ බලපෑමක් එල්ල කළ බැවින්, රසායනික පොහොර සහනාධාරය නැවත ලබා දෙන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. ජනාධිපතිවරයා කීවේ රසායනික පොහොර නැවත ලබාදීමට පොරොන්දු වන බවය.


අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, බැසිල් රාජපක්ෂ මහතාත් ඊට සහභාගි වුවද, ඔවුහු මෙම ප්‍රශ්න ගැන කිසිදු වචනයක් කතා නොකළහ. රටේ තත්ත්වය ගැනත්, ආර්ථික තත්වය ගැනත් පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කීවේ මේ සම්බන්ධයෙන් තමාද අවබෝධයකින් සිටින බවය. මේ පෝලිම් ප්‍රශ්නය ආණ්ඩුව හිතාමතා කරන දේවල් නොවන බව ජනාධිපතිවරයා කීවේය. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ටද අවබෝධයෙන් කටයුතු කරන්නැයි ඔහු දැනුම් දුන්නේය.
මේ අතර, මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළේ රටේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා ප්‍රකාශයක් කළ යුතු බව ය. එහෙත් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කියන්නට ගියේ නැත. රැස්වීම අතරවාරයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන ඇමැතිවරුන් ඉන් පිටව ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එදින පස්වරුවේ රැස් වන බව කියමිනි. ඔවුන් ආණ්ඩුවෙන් යනවාද ඉන්නවාද යන්න සම්බන්ධයෙන් එහිදී තීරණය කරන බව ඔවුහු කියා සිටියහ.


ගිය සතිය වන විට තත්ත්වය තවත් දරුණු වෙමින් තිබිණි. මේ අතරවාරයේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස් යන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වෙන වෙනම හමුවූහ. ඔවුන් ඉල්ලා සිටියේ මුදල් ඇමැතිවරයා ඉවත් කරන ලෙසය. රට ඉතා බරපතළ තැනකට තල්ලු‍ වී ඇති බවත්, ඒ සඳහා වහා ආණ්ඩුව මැදිහත්විය යුතු බවත්, විමල්-උදය යන පිරිස කියා සිටියහ. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අැමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දැනගන්නට ඇති පරිදි, එම පණිවුඩය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් රැගෙන ගොස් ඇත්තේ පවුලේම දෙදෙනෙකි. එක්කෙනෙක් චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂය. අනෙක් කෙනා අගමැතිවරයාගේ සහෝදරියකගේ පුත්‍රයෙකි. එහෙත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා එම ඉල්ලීම එවෙලේ ප්‍රතික්ෂේප කර ඇති බව දැන ගන්නට ඇත.


බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවුණු නිසා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා තාවකාලිකව සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ආරංචි පැතිර ගියේය. ඊට හේතුව අගමැතිවරයා ඉවත් වූ පසුව කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරෙන නිසා ය. එම ආරංචිය දිගින් දිගටම පැතිර යද්දී අගමැති කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිව්වේ අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණයක් ගෙන නොමැති බවය. ඒත් පසුව දැනගන්නට ලැබුණේ අගමැතිවරයාට ඉවත් නොවන ලෙස ආණ්ඩුවේම කිහිපදෙනකු ඔහුගෙන් ඉල්ලා ඇති බව ය. ඒ වන විටත් රටේ තත්ත්වය ඉතා දරුණු විය.


අගමැතිවරයා ඉරිදා රාත්‍රියේ කැබිනට් මණ්ඩලය අරලියගහ මන්දිරයට කැඳවීය. ඊට ජනාධිපතිවරයා සහභාගී නොවීය. වෙනදා කැබිනට්ටුවට වඩා එදින කැබිනට් රැස්වීමේ කරුණු කාරණා පුළුල් ලෙස සාකච්ඡාවට ලක්විය. ඇමැතිවරුන් බොහෝ දෙනා කිව්වේ ආණ්ඩුව ගත් බොහෝ තීන්දු වැරදි බවය. මේ සාකච්ඡාවේදී ඇමතිවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ඇමැතිවරුන් සියලු‍ දෙනා ඉල්ලා අස්විය යුතු බවය. ඒ සඳහා පොදු ලිපියකට ද ඔවුහු අත්සන් තැබූහ. ඒ අනුව ඔවුන් අගමැතිවරයාට එම ලිපිය ද භාර දුන් අතර, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඊට අත්සන් නොතැබුවේ පසුදින ඔහු වෙනම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන බව සඳහන් කරමිනි.
මේ අතර, පාර්ලිමේන්තුව අඟහරුවාදා රැස්වන නිසා ඇමති මණ්ඩලයේ ප්‍රධාන තනතුරු කිහිපයක් පිර වීමට නියමිතව තිබිණි. ඊට හේතුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ සභානායකවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බැවින් සහ විදේශ කටයුතු පවත්වාගෙන යාම හා රජයේ කටයුතු ස්ථාවරව පවත්වාගෙන යා යුතු බැවින් විදේශ ඇමති සහ මුදල් ඇමැති පත් කිරීමට ද තීරණය විය. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන කලින් සිටි අමාත්‍යාංශවලම ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
අධිකරණ ඇමතිව සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මුදල් ඇමැතිවරයා ලෙස දිව්රුම් දුන්නත් ඔහු පැය විසිහතරක් යන්නට මත්තෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් එල්ල වූ විරෝධය නිසා බව දැනගන්නට ඇත.


ඒ අතර ජනාධිපතිවරයා පොදුවේ සියලු‍ පක්ෂවලින් ඉල්ලීමක් කළේය. ඒ ඇමැති ධුර බාර ගෙන, රටේ අර්බුදය විසඳීමට සම්බන්ධ වන ලෙස කියමිනි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට විපක්ෂයේ පක්ෂ වලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. ඔවුන් කිව්වේ ආණ්ඩුවට එක්වී තනතුරු දැරීමට ඔවුන් සූදානම් නැති බවය.
එදින පස්වරුවේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් ජනාධිපති මන්දිරයට කැඳවීය. මුලින්ම කැඳවූයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමය. ඊට පැයකට පමණ පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද එම ස්ථානයට කැඳවීය. වෙනදා ආණ්ඩු පක්ෂ රැස්වීමේ නොමැති පුළුල් සාකච්ඡාවක් මේ දිනවල ආණ්ඩු පක්ෂ රැස්වීම්වල සිදුකෙරේ. ඊට හේතුව රජයට තිබෙන විවේචන ගැන ද මන්ත්‍රීවරුන් කතා කිරීමය. මීට පෙර සිදු වූයේ ආණ්ඩුවේ නායකයින් කියන දේවල් එසේ යැයි කියා ඒවා අනුමත කරමින් කතා කිරීම මිස ඒවා සම්බන්ධයෙන් සිය අදහස් විවේචනාත්මකව ඉදිරිපත් නොවීය.
ඉහත සාකච්ඡාව ආරම්භ කරමින් මුලින්ම කතා කළේ උදේනි කිරිඳිගොඩ මන්ත්‍රීවරයාය. රටේ ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් ලබාදීම ප්‍රමාද වීම නිසා බරපතළ ගැටලු‍ මතුව තිබෙන බව ඔහු කීවේය. ඒ අතර අගමැතිවරයා උපදෙස් දුන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට පැහැදිලි කිරීමක් කරන ලෙසය.
මහින්දානන්ද ඇමැතිවරයා කීවේ පොහොර ප්‍රශ්නය බරපතළ ගැටලු‍වක් වී ඇති බවය. පොහොර නැවත ලබාදීමට අගමැතිවරයා පොරොන්දු වූ බව මහින්දානන්ද කීවේය. ගෑස් ටිකයි ලයිට් එකයි ඉන්ධන ටිකයි දෙන්න පුළුවන් නම් මේ අර්බුද රැසකට විසඳුම් ලැබෙන බව ඔහු කීවේය.
අනතුරුව ජගත් කුමාර මන්ත්‍රීවරයා කතා කළේය. ඔහු කීවේ තමා මේ ගැන පසුගිය රැස්වීම්වලදී ද ප්‍රකාශ කළ බවය. මිනිස්සුන්ගේ හුදෙකලා නැගිටීම් තිබෙන බවත්, ඒවා දිගටම ගියොත් බරපතළ ගැටලු‍වක් වන බවත් ඔහු කීවේය. ඒ සමඟම ඔහු කීවේ මන්ත්‍රීවරුන්ට ගෙවල්වල ඉන්න බැරි තත්ත්වයට මේ ප්‍රශ්නය දුරදිග ගොස් ඇති බවය. ඉන්ධන, කිරිපිටි, ගෑස් ආදී ප්‍රශ්න නිසා ජනතාව පීඩාවට පත්වී ඇති බවත්, ජනතාවට ඇඟට දැනෙන විසඳුමක් ලබා දිය යුතුව ඇති බවත් ඔහු කීවේය.
ජනාධිපතිවරයා කීවේ අපට කරන්න බැරි වූ දේවල් තිබෙන බවත්, අලු‍ත් අය එළියට බහින්නෙ ඇයි ද යන්න සෙවිය යුතු බවත් ය. ජගත් කුමාර මන්ත්‍රීවරයා කිව්වේ අලු‍ත් අය පාරට බහින එක ගැන අලු‍තින් සොයන්න දෙයක් නැති බවය. කිරි තේ එකක් රුපියල් සීයට ගියාම, පරිප්පු කිලෝ එකක් රුපියල් හාරසිය පනහට ගියාම, කිරි පැකට්ටුව රුපියල් 700ට ගියාම මිනිස්සු පාරට බහින එක ගැන අලු‍තින් සොයන්නට දෙයක් නැති බව ඔහු කීවේය


ජනතාවගේ පීඩනය දෝරේ ගලා යන බව ඔහු සඳහන් කළේය. ගෙදර ගෑස් ටික, විදුලිය දෙන්න පුළුවන් නම්, මේ ප්‍රශ්න අවම කරගත හැකි බව ඔහු කීවේය. ජනතාවට වහාම සහනයක් දිය යුතු බව ඔහු කීවේය.
අරුන්දික ප්‍රනාන්දු කීවේ මේ ප්‍රශ්න සියල්ලටම මුල පොහොර සහනාධාරය කප්පාදු කිරීම බව ය. ඒ හේතුවෙන් අර්බුදය උග්‍ර වූ බව ඔහු කීවේය.
අනෙක ආණ්ඩුව පක්ෂ නායකයින් සමග සාකච්ඡා නොකළ බවද, එය මේ ගැටුම්වලට මුල් වූ බව ද ඔහු කීවේය. ඔහු උදාරණයක් ගත්තේ පුත්තලමෙනි. පුත්තලමේ සනත් නිශාන්ත සහ පියංකර ජයරත්න අතර ඇති වූ ප්‍රශ්නයේදී එය විසඳන්නට ආණ්ඩුවේ කිසිවකුත් ඉදිරිපත් නොවූ බව ඔහු කීවේය.
සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා කීවේ සමහර වෙලාවට කතා කරන්න අවස්ථාවක් දුන්නැති එකත් ප්‍රශ්නයක් බවය. ඇතුළෙ සාකච්ඡා කරන්න නොදී පක්ෂ නායකයන් එළියට දැමීම ද වැරදි බව ඔහු කීවේය. ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා කිව්වේ ජනතාව ජනාධිපතිතුමාට ආදරය බවය. මේ ප්‍රශ්න ටික ඉවර වුණු පසුව ජනතාව නැවතත් ඔබතුමාම ඉල්ලා සිටින බවද ඔහු කීවේය. එහෙත් කැටගොඩගේ ප්‍රකාශයට කිසිවකුගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. අගමැතිවරයා හෝ බැසිල් රාජපක්ෂ මහතා එහිදී වැඩි කතාවක් කළේ නැත. රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා ද කතා කළේය. ඔහු කීවේ පෝර ප්‍රශ්නය බරපතළ විදියට බලපෑ බවය. සංවර්ධන වැඩ පසෙකින් තබා මූලික කරුණුවලට වැඩි අවධානයක් යොමු කළ යුතු බව රමේෂ් කීවේය.


මේ අතර ආණ්ඩුව උජාරුවෙන් කතා කරමින් සිටිතුනෙන් දෙකේ බහුතරය සරල බහුතරය බවට ගිය සතියේ පත්විය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව ඇතුළු හවුල්කාර පක්ෂවල පහළොස් දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන විය. අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි ඇතුළු කණ්ඩායමක් ද ස්වාධීන වූහ. ඔවුන් කාලයක පටන් ආණ්ඩුව සමග සිටියේ කලකිරීමෙනි. ඔවුන් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් වුවද ඔවුන්ට මේ ආණ්ඩුව යටතේ තැනක් නොලැබී මේ හේතුවෙන් ඔවුහු කලකිරීමෙන් සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්ව යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගිය සතියේ පාර්ලිමේන්තු කණ්ඩායම අවස්ථා දෙකක දී රැස් වූ අතර, මධ්‍යම කාරක සභාව රැස්විය. මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීම සඳහා ලිපියක් සකස් කරගෙන රැගෙනවිත් තිබිණි. එය සකස් කර තිබුණේ ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයාය. ඒ ලිපිය මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කළ අවස්ථාවේ එතරම් සාර්ථක ලිපියක් නොවන බව ශාන් විජයලාල් මන්ත්‍රීවරයා කීවේය. මේ ලිපියේ ඇති කාරණා ගැන සෑහීමකට පත්විය නොහැකි බව ඔහු කීවේය. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද කීවේ ලිපිය නැවත සකස් කළ යුතු බවය.
නැවත සකස් කළ ලිපිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ අතර, එහිදී තීරණය වූයේ ජනාධිපතිවරයාට ලිපියක් යවා සතියකින් ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණය ගැනීමටය. එහෙත් රට තුළ ඇතිවෙමින් තිබුණු අර්බුදය හමුවේ ශ්‍රීලනිපයට තවදුරටත් ආණ්ඩුවේ සිටීමට හැකියාවක් නොවීය. ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී රැස්වූයේ ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමටය. ඒ අනුව පසු දින ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමට ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය.


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට කොටුව ජනාධිපති මන්දිරයට එන්නැයි ජනාධිපති කාර්යාලයෙන් ආරාධනයක් ලැබිණ.
ජනාධිපතිවරයා හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර හමුව සවස 4.30 ට පමණ ආරම්භ විය. ශ්‍රීලනිපයට නැවතත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය. ශ්‍රී ලනිපය ඊට එකඟ නොවීය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිමල් සිරිපාල ඇමැතිවරයා කීවේ මේ තීරණේ ගත්තේ හදිසියේ නොවන බවය. පක්ෂයේ අයගෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වූ බව ඔහු කීවේය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිපය නොසලකා හරිමින් කටයුතු කිරීමත් සමග මේ තත්ත්වය උග්‍රවී ඇති බව ඔහු කීවේය. එබැවින් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට තීන්දුව ගත් බව නිමල් කීවේය.
අනතුරුව කතා කළේ මහින්ද අමරවීර මන්ත්‍රීවරයා ය. ඔහු කිව්වේ තමා ඇමැතිව සිටියදී දුන් සහයෝගයට ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බවය.
ෂාන් විජයලාල් මන්ත්‍රීවරයා මීට වඩා වෙනස් අදහසක් පළ කළේය. ඔහු කතාව පටන් ගත්තේ මට ජනාධිපතිතුමාට විශේෂයෙන් ස්තුති කිරීමේ අවශ්‍යතාවක් නැති බව කියමිනි. ජනාධිපතිවරයාගෙන් හෝ ආණ්ඩුවෙන් තමාට විශේෂ සහයෝගයක් නොලැබුණු බවත්, එබැවින් විශේෂයෙන් ස්තුති කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ඔහු කීවේය.
ඔබතුමා අපි කැඳවල කරපු සාකච්ඡාවක දී ව්‍යාපෘති යෝජනා එවන්න කියල කිව්ව නිසා මම යෝජනා දෙකක් දුන්නා. යෝජනාවෙ ප්‍රගතිය ගැන කිව්වොත් කියන්න තියෙන්නේ ඔබතුමාගේ පෞද්ගලික ලේකම් සුගීස්වර මහත්තයා මට දුරකතන ඇමතුමක් දීපු එක විතරයි ශාන් කීවේය. ඒ සමගම ඔහු කීවේ ඔවුන්ට ආණ්ඩුව තුළ කතා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවය.

 

ආණ්ඩුව රටට කොඩිවිනයක්

දිනෙන් දින උත්සන්න වන දේශපාලන අර්බුදය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග දිගින් දිගටම සාකච්ඡා කළේය.


‘‘අපි හැමෝම ජනතාවගේ හඬ සහ ඉල්ලීම පිළිබඳව නිවැරැදි අවබෝධයක් අරගෙන ඉන්න ඕනෑ. අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න ඕනෑ අන්න ඒ හඬ”‍ සජිත් මන්ත්‍රී කණ්ඩායමට කීවේය.
පසුගිය ඉරිදා වන විට ආණ්ඩුව රටපුරා ඇඳිරිනීතිය පනවා තිබූ අතර සමගි ජනබලවේගය ඊට එරෙහි විය. ඒ අනුව, ජන විරෝධී ආණ්ඩුව විසින් සිදුකරන දුර්දාන්ත අන්තනෝමතික ක්‍රියාවලියට විරෝධය පළ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක මන්ත්‍රීවරු නිදහස් චතුරශ්‍රය අභියසට පැමිණියහ.


නිදහස් චතුරස්‍රයට ප්‍රවිෂ්ට වන සියලු‍ මාර්ග අවහිර වන පරිදි මාර්ග බාධක සහ දැඩි මුරකාවල් යොදා තිබූ අතර එහිදී විපක්ෂනායක ඇතුළු මන්ත්‍රීවරුන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
ආණ්ඩුව රටට කොඩිවිනයක් බවත්, රාජ්‍ය ත්‍රස්තවාදය ජන බලයට යටත් බව ඕනෑම පාලකයෙක් අවබෝධකරගත යුතු බවත් සජිත් එහිදී පැවසීය.
“ජනතාවගේ අපේක්ෂාවන් සුනුවිසුනු කළ ආණ්ඩුව එක මොහොතක් හෝ රඳවා ගැනීමට මේ රටේ ජනතාව සූදානම් නෑ. ජනසම්මතවාදයේ නාමයෙන් එය පෙරළා දමනවා”‍ එහිදී සජිත් කීවේය.
රටපුරාම නැගී ඇති ආණ්ඩු විරෝධතාවය පාර්ලිමේන්තු පරිශ්‍රය දක්වාම පැතිර තිබිණි. මේ ජනතාවගේ නැගීසිටීම පිළිබඳව ආණ්ඩුව භීතියට පත්ව සිටියේය.
මේ තත්ත්වය පිිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය කුමක්දැයි ජනතාව විමසිල්ලෙන් සිටියහ.
ජනතාව ඉල්ලා සිටියේ “ගෝටා ගෝ හෝම්”‍ කියාය.


එවන් තත්ත්වයක් තුළ විපක්ෂය පාර්ලිමේන්තුවේ දී කුමක් කරනවා ද යන්න විශේෂ අවධානයකට හේතු විය.
මෙවන් තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂනායක සජිත් විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ, විධායක ජනාධිපති ධුරය සතියක් තුළ අහෝසි කිරීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කළ යුතු බවත්, එය සංවරණ තුලන ක්‍රමයක් වෙත හුවමාරු විය යුතු බවත් ය.
‘‘මහපාරේ මතය, පොදු ජනයාගේ හද ගැස්ම දුරලන්නට අපි වැඩපිළිවෙළක් යොදන්න ඕනෑ. මෙතන අවශ්‍ය වන්නේ අහවලා අර තනතුරේ ඉන්නවා, අහවලා අැඳුම් සූට් මාරු කර ගන්නවා, අහවලා ආයතන බෙදා ගන්නවා වැනි මේ පහත් නීච, තුච්ච ගනුදෙනු මුළු රටම ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. රටම කියනවා අලු‍ත් ආරම්භයක් අවශ්‍යයි කියලා. මේ ආරම්භය අවශ්‍ය නම් 69 ලක්ෂයක ජනාධිපතිවරණ සහ 68 ලක්ෂයක මහ මැතිවරණ ජනවරම තේරුම් ගන්න ඕනෑ. දැන් මේ 150ක් එක් පැත්තක ඉඳගෙන නේද 20 වැනි සංශෝධනය සම්මත කළේ. මම පැහැදිලිව මේ අවස්ථාවේ ඔබතුමාට කියන්න කැමතියි දැන් කාලය එළැඹිලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න. අපි මේක අවස්ථාවක් කර ගමු.”‍
සජිත් මෙහෙම කියන විට ඉදිරියේ සිටි අගමැති මහින්ද හිස වැනුවේය.


‘‘අගමැතිතුමාට මතකද 20 වැනි සංශෝධනය අවස්ථාවේ කිව්වා ව්‍යවස්ථා හදන්න ඕනෑ අගමැති පඹයා කරලා ජනාධිපති ශක්තිමත් කිරීමට හෝ ජනාධිපති පඹයා කරලා අගමැති ශක්තිමක් කරන්න නෙවෙයි කියලා. එහෙම නැතිව අපි කිව්වා සංවරණ හා තුලන ක්‍රමයක් ගේන්න කියලා. ඔබතුමන්ලාගේ පැත්තෙම අය අකැමැති වුණා ඔබතුමන්ට බලයක් දෙනවාට. ඒ නිසා කරුණාකරලා අපි විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න ඕනෑ. ඒවා වෙනස් කරලා ඕනෑ ඕනෑ විදියට නටන්න පුළුවන් විධායක අගමැතිවරයෙක් පත් කරලත් හරියන්නේ නෑ. මහපොළොවේ මතය මෙතන නියෝජනය කරන්න ඕනෑ. ඒක තමයි ආණ්ඩුව වෙනස් වෙන්න ඕනැ. ජනාධිපතිවරයාගේ සිට මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනෑ.”‍ සජිත් කීවේය.
‘‘මේ වෙලාවේ අපි මොනවද කරන්නේ කියලා මිනිස්සු අහනවා”‍


කණ්ඩායම් රැස්වීමට එන අතර ජේ.සී. අලවතුවල ඇසුවේ මහ ලේකම්ගෙනි.
‘‘අපේ ස්ථාවරය රාජපක්ෂලා සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ඕනැ. ජනාධිපති ඉල්ලා අස්වෙන්න ඕනැ”‍ මහලේකම් රංජිත් කීවේය.


‘‘ඊට පස්සේ අපිට පුළුවන් කරන දේ සාකච්ඡා කරන්න. අනික නායකතුමා කිව්වනේ විධායක ජනාධිපතිකම අහෝසි කරමු කියලා. ඒක තමයි හොඳම යෝජනාව”‍ රාජිත කීවේය.
‘‘ආණ්ඩුව මඩ කණ්ඩායම් දාලා ජන අරගලය කිළිටි කරන්න හදනවා. අපි ජනතාව එක්ක ඉන්න ඕනැ”‍ නලින් බණ්ඩාර කීවේය.
‘‘මේ අරගලයේදී අගතියට පත්වෙන ජනතාව වෙනුවෙන් අපේ නීතිඥයින් කඩිනමින් යොමු කරන්න”‍ සජිත් කීවේ රවි ජයවර්ධනට ය.
මේ අතර සජිත් පාර්ලිමේන්තුවේ දී විශේෂ යෝජනාවක් ගෙනාවේ රට ගොඩනගන ආකාරය පිළිබඳව ය.
‘‘ඔබතුමාගේ යෝජනා ඉතාම විශිෂ්ට යි. ඇත්තටම ඒවා ප්‍රායෝගික යි”‍ සජිත්ට බොහෝ දෙනාගෙන් ඇමතුම් ආවේය.

 

ආණ්ඩුවේ තනතුරු නොගන්නා  බව එජාපය කියයි

වී ඇති විරෝධතාව එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡාවට හේතු විය.


මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති තනතුර හිමිවන බවට පැතිරී ඇති කතා බහ පිළිබඳව සාකච්ඡා විය. මෙතෙක් කලක් නොගත් කිසිම දෙයක් දැන් බාර ගැනීමට සූද‌ානම් නැති බව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කළේය. ජාතික එකඟතාවයෙන් ක්‍රියා කළ යුතු බව හා ජනතාවට පිළිගත හැකි විසඳුමක් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට තමා කතා කළ බවයි. දැන් විධායකයට පියවරක් ගත නොහැකි තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා පාර්ලිමේන්තුව වගකීම ගත යුතු බව රනිල් ප්‍රකාශ කර සිටියේය.
මේ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ දේශපාලන මැදිහත්වීමකින් තොරව ජනතාවට විරෝධතාව දැක්වීමට අවස්ථාව තිබිය යුතු බවය.
විරෝධතාවන්ගෙන් වාසි ලබා ගැනීමට ද පිරිසක් සූද‌ානමින් සිටින නිසා පරෙස්සම් වන ලෙස ද විජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.


පක්ෂයේ පළාත් පාලන කමිටුවට සහභාගි වූ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පෑලියගොඩ හා දොම්පේ ප්‍රාදේශීය සභාවල පුරප්පාඩුව පවතින සභික තනතුරු පිරවීම පිළිබඳව සාකච්ඡා කළේය.
වතුකරයේ ජනතාව නියෝජනය කරන ‘අරුණලු ජනතා පෙරමුණ’ රුවන් විජයවර්ධන මහතා සමඟ සාකච්ඡා කරමින් සහාය ලබා දීමට එකඟතාවය පළ කළේය.
මාතර පැවැති සත්‍යග්‍රහ ව්‍යාපාරයට ද නියෝජ්‍ය නායකවරයා සහභාගි වූයේය. මෙවැනි සත්‍යග්‍රහ ව්‍යාපාර දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට ද තීරණය කර ඇත.

 

අරගලයට නායකත්වය දුන් හැටි  ජවිපෙ කියයි

පාර්ලිමේන්තුව අසල ජයන්තිපුර හන්දියේ උද්ඝෝෂණයක් පැවැති අවස්ථාවේ එම ස්ථානයෙන් ගිය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් කැබ් රථයට උද්ඝෝෂකයන් අතර පුද්ගලයෙක් ඇතුළුවීම පිළිබඳව ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.


ඒ සිද්ධිය පිළිබඳව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කර දුන්නේය. ඔහු කීවේ එය පක්ෂයෙන් ගත් තීන්දුවක් බවයි. පසුගිය 4 වැනිද‌ා රටේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව රැස් වූ අතර එහිදී පක්ෂ නායකයාගේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කර ඇත.
එහිදී පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බව පෙන්වා දුන්නේය. කළගෙඩිහේන රැස්වීමට බාධා කිරීමත්, නුගේගොඩ රැස්වීම කඩාකප්පල් කිරීමට පිරිසක් සූද‌ානමින් සිටි බවට ලැබුණු තොරතුරත් පෙන්වා දුන් ටිල්වින් සිල්වා මහතා පවතින වාතාවරණය යටතේ අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාවට කිසියම් විධිමත් වූ වැඩපිළිවෙළක් වහාම අවශ්‍ය බව කීවේය. ඒ සම්බන්ධයෙන් පක්ෂය යම් වැඩ පිළිවෙළක් සකස් කරනු ලැබීය. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සාමාන්‍ය පරිදි සහභාගි විය.
පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ ඒ අතරින් වාහනයෙන් ගමන් ගන්නා පක්ෂ නායකයාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසට පක්ෂයේ ප්‍රබලයන් ආරක්ෂාවේ යෙදී සිටින අයට දැනුම් දී තිබුණි. ඒ අනුව සිව් දෙනෙක් යතුරුපැදි දෙකකින් ජයන්ති පුර හන්දිය අසලට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් අනුර කුමාර දිසානායක මහතා පැමිණි රථයට ගොඩ වී ඇත. ඒ සිද්ධිය විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කර දුන්නේය.


පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී ලාල් කාන්තා හිටපු මන්ත්‍රීවරයා කරුණු දක්වමින් ගිය තුන්වැනිදා රටපුරා පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය පිළිබඳව කරුණු පෙන්වා දුන්නේය. ඇඳිරි නීතිය නිසා පසුබෑමට ලක්වෙමින් තිබූ විරෝධතාවට ධෛර්යයක් වූයේ මහරගම පැවැති විරෝධතාව බව ඔහු පෙන්වා දුන්නේය. එම විරෝධතාවත් සමඟ ජනතාව පාරට පැමිණ උද්ඝෝෂණය කරන්නට වඩාත් ධෛර්යමත් වූ බව ද ඔහු පෙන්වා දුන්නේය.


මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා තනතුරින් ඉවත් විය යුතු බවට විශාල ජනමතයක් රටේ ගොඩ නැගී ඇති බවයි. දේශපාලන නායකත්වයක් නොමැතිව පවත්වන මේ විරෝධතාවන්ට නායකත්වයක් ලබා දෙන ලෙසට භික්ෂූන් වහන්සේ හා කතෝලික පියතුමන් ගණනාවක් ඉල්ලා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. නායකත්වයක් නොමැතිව මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම මගින් එල්ලයක් නැතිව අයාලේ යන තත්ත්වයක් ඇතිවිය හැකි බව පෙන්වා දුන් බව ද ඔහු කීය.


මෙහිදී හිටපු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ දැනට විදේශගතවී සිටින හමුද‌ාවේ විශ්‍රාමික නිලධාරියෙක් තමන්ට කතා කර බස්රථයක් එකවර ගිනි තැබිය නොහැකි බවත් එයට යම් රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කරන්නට ඇති බවත් කී බවය. ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබූ අයෙක් බස්රථය ගිනි තබන්නට ඇති බව ප්‍රකාශ කළේ යැයි ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය.
නලින් හේවගේ මහතා ප්‍රකාශ කර සිටියේ රටේ සියලු දිස්ත්‍රික්කවල 8 හා 9 දිනවල උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වෙන බවයි.
හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කීවේ ජාතික භික්ෂු පෙරමුණ රජයට විරුද්ධව සත්‍යග්‍රහ ව්‍යාපාර සංවිධානය කරනු ලබන බවය. ඉරිද‌ා කළුතර බෝධිය අසල විශාල සත්‍යග්‍රහයක් පැවැත්වෙන අතර එයට නායක ස්වාමීන් වහන්සේලා සහභාගි වන බව ද ඔහු කීවේය.


පාර්ලිමේන්තුව අසල පැවැති කලාකරුවන්ගේ උද්ඝෝෂණයට ජනතාවගේ දැඩි උනන්දුවක් පැවැති බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙම අරගලය ගම් මට්ටමට ගෙන යාමට කලාකරුවන් පියවර ගෙන ඇති බව ද කීය.

 

රට මුහුණ දී ඇති  අර්බුදයට කරුගෙන්  විසඳුමක්

රටේ දේශපාලනය දවසින් දවස උණුසුම් වෙමින් පවතින තත්ත්වය තුළ කරු ජයසූරිය ජයසූරිය චරිතය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන ආකාරයක් දක්නට ලැබිණ. ආණ්ඩුවේ ප්‍රමුඛ ​දේශපාලනඥයන්ද ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රාශියක් වෙතින් කරු වෙත විමසුම් ගලා එන්නට විය. රටේ පවත්නා අවිනිශ්චිතභාවය තුළ විය හැකි තත්ත්වයන් පිළිබඳව කරන්නා වූ විමසීම්වල සිට මේ අද රටේ සිටින පරිණතම දේශපාලනඥයකු ලෙස කරුට පැවරෙන සමාජ වගකීම පිළිබඳව පෙන්වා දෙමින් කරන ලද ඉල්ලීම් රාශියක් ද ඒ අතර විය.


රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව කරන ලද විමසීම්වලට අදාළව මෙන්ම ඒ තුළ විවිධ ආරාධනාවන් කළ දේශපාලන නායකයන් වෙත කරු පැහැදිලි කරුණු තුනක් ඉදිරිපත් කර ඇත. එනම්, ආණ්ඩුවට එරෙහි වේගයෙන් වර්ධනය වෙමින් පවතින ජනතා විරෝධයන් හා ඔවුන් පළ කරන අභිලාෂයන් රටේ යහපතට යොදාගැනීමට නම්, පළමුව විපක්ෂයේ සියලු පක්ෂ එක් මතයකට පැමිණිය යුතු බව ය. ඒ සමග ආණ්ඩුවේ ප්‍රගතිශීලි කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් නිශ්චිත එකඟත්වයකට පැමිණිය යුතු බව ය. එහිදී එකී එකඟත්වයන්ට පදනම් විය යුත්තේ හුදු ආණ්ඩු බලය ලබා ගැනීමකට නොව අද රටේ මහජනතාව පාරට බැස සිදු කරන අරගලය තුළ අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා වන බව එහිදී ඒ සෑම දෙනෙකුටම කරු අවධාරණය කර තිබේ.

 

-ගජබා-