ආණ්ඩුවට අවාසනාව ගෙන ආ නවය


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉවත්වෙන්නැයි බල කරමින් ගාලු‍මුවදොර අරගලය පටන් ගත්තේ අප්‍රේල් මස නව වැනිදාය. අරගලය ආරම්භ වී හරියටම මාසයක් සපිරුණු මැයි මස නව වැනිදා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉවත්ව යාමට සිදු වූ අතර ඒ සමඟම එතෙක් පැවති කැබිනට් මණ්ඩලය ද අහෝසි විය. ඉන් පසුව ලාංකීය දේශපාලනයේ ආන්දෝලනාත්මක පෙරළි රැසක් සිදුවිය. ඉන් මසකට පසුව එනම් ජුනි මස 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම, හිටපු මුදල් ඇමතිවරයකු වන බැසිල් රාජපක්ෂ මහතා ද මන්ත්‍රී ධුරයට ආයුබෝවන් කියා ගෙදර ගියේය. ඔහු ඉවත්ව ගියේ ජුනි මස හෙවත් 6 වැනි මස නව වැනි දා නිසා ඒ දෙකම එකතු කළ විට 69 හැදෙන බව සමහරු කියන්නට වූහ. කෙසේ වුව ද, ඉකුත් මාස කිහිපය නම්, ආණ්ඩුවට මෙන්ම රටටත් එතරම් සුබදායී කාලයක් නොවීය, අර්බුද දවසින් දවස ඔඩු දුවමින් ඇත්තේ රට ගිනි කන්දක් උඩට තල්ලු‍ කරමින් බව අමුතුවෙන් කිව යුතු නැත.

බැසිල් ඇමෙරිකාවට යයි ද?

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් ​ෙවන්නට තීරණය කරන්නේ මේ අතරවාරයේය. ජනාධිපතිවරයාට මෙන්ම ඔහුට එරෙහිව ද පසුගිය කාලය පුරාම රටේ බරපතළ විරෝධයක් එල්ල විය. මේ කාරණා සමග ඔහු ඉවත් ​ෙවන්නට තීරණය කරන්නට ඇත.


ඔහු, ඔහුට සමීප මැති ඇමැතිවරුන් කිහිප දෙනකු හා හිතවතුන් කිහිපදෙනෙකු ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ බත්තරමුල්ලේ දී හමු විය. හමුව මැදියම් රැය ද ඉක්මවා යන තෙක් පැවති අතර, එහිදී ඔහු කීවේ තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව ය. එසේ වුව ද දේශපාලන කටයුතුවල තමා දිගටම රැඳී සිටින බව ඔහු කීවේය.
බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තුවට අවසන් වරට පැමිණියේය. මුලින් සභාවට පැමිණ අසුන්ගෙන සිටි ඔහු පසුව මන්ත්‍රී විවේකාගාරයට ගොස් මන්ත්‍රීවරුන් පිරිසක් ද හමු විය. ඔහු ඔවුන්ට ද දැනුම් දුන්නේ තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ය. ඉන් විනාඩි කිහිපයකට පසුව ඔහු පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද සමග පාර්ලිමේන්තු මහලේකම්වරයා හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නේය. හිටපු ඇමති ගාමිණී ලොකුගේ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. ඔහු අනතුරුව බත්තරමුල්ල පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වූයේ ඉල්ලා අස්වීමේ ලිපිය මහලේකම්වරයාට භාර දීමෙන් පසුවය.
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කරන බවට ආරංචිය පැතිර ගියේ බැසිල් ඉවත්වන බවට ආරංචිය පැතිර යාමත් සමඟය.  එම ආරංචිය සනාථ කරමින් ධම්මික පෙරේරා මහතාගේ නම පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුදිනම මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවනු ලැබීය. ඔහුට තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය හිමි වීමට නියමිතය.


මේ අතර, ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා රාත්‍රියේම නව අමාත්‍යාංශ දෙකක් ගැසට් කළේය. ඉන් එකක් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයයි. ඊට අයත් ආයතන ද එදින ම ගැසට් කර තිබිණි. එම අමාත්‍යධූරය ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් ඇතිකරන ලද්දකි. මේ අතර ගැසට් කළ අනෙක් අමාත්‍යාංශය වූයේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයයි. කැබිනට් මණ්ඩලයේ කාන්තාවක් ද නොමැති නිසා එය හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හිමිවනු ඇති බවට ද ආරංචි පැතිර ගියේය.

මහින්දානන්දගේ වෑයම වරදී කංචන තදින් හිටි

ආන්දෝලනයට ලක්ව තිබූ විදුලි බල මණ්ඩල පනත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දරු 84 කින් සම්මත විය. වෘත්තීය සමිති වලින් ද දැඩි බලපෑමක් එල්ල කරමින් තිබිය දී කංචන ඊට මුහුණ දීමෙන්, පනත ඉදිරිපත් කළේය. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එදින ඉදිරිපත් නොකරන්නැයි මහින්දානන්ද අලු‍ත්ගමගේ හිටපු ඇමතිවරයා ද කංචන ට කියා තිබිණි. ඔහු කියා තිබුණේ පනතට වෘත්තීය සමිතිත් ගම්මන්පිලලා විමල් ඇතුළු පිරිසක් ද විරුද්ධ බැවින් එය ඉදිරිපත් නොකරන ලෙසය. එහෙත් කංචන හිටියේ මහින්දානන්දගේ අදහසට විරුද්ධවය. ‘‘මම මේක දානවා. නැත්නම් මම ඇමැතිකමෙන් අස් වෙනවා. මට මේක කරන්න බෑ.’’ කංචන කීවේය.


ආණ්ඩුවේ නවක මන්ත්‍රීවරුන් රැසක් ද සිටියේ කංචන සමගය. ඔවුන් දිගින් දිගටම කීවේ දිනන්න හෝ පරදින්න පනත ඉදිරිපත් කරන ලෙස ය.”‍ අපි මේක දිනවල දෙන්නම්. බය නැතුව දාන්න. ඔවුහු කාංචන වෙනුවෙන් පෙනී සිටිමින් කීවෝය. ඔවුන් කිව්වේ යූනියන් වලට ඕනෑ විදිහට රට කරන්න නොහැකි බවය. මහින්දානන්ද ජනාධිපතිවරයා සමග වඩාත් සමීප නිසා සමහරුන් සිතුවේ මෙය ජනාධිපතිවරයාගේ අදහසක් විය හැකි බවය.”‍ තීන්දු අරගෙන පස්සට යන්න බෑ. අපි ඕක දාන්න ඕන.”‍ මන්ත්‍රීවරු කියා සිටියහ. ඒ අනුව කංචන අභියෝගය බාරගනිමින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, වැඩි ඡන්ද 84 කින් සම්මත විය. ඡන්දය විමසීමට සීනුව නාද වන අවස්ථාවේ මහින්දානන්ද ඡන්දය නොදී කලින්ම සභාවෙන් පිටව ගිය බව ද දැන ගන්නට ඇත.


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් සඳුදා හැන්දෑවේ පැවැත් වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කොටුව ජනාධිපති මන්දිරයේ පැවති එම සාකච්ඡාවට අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, සභා නායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරු ද සහභාගි වී සිටියහ. අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා රටේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බැවින්, ඒ ගැන පැහැදිලි කර ගැනීමට නිලධාරීහු පිරිසක් ද ආණ්ඩු පක්ෂ රැස්වීමට කැඳවනු ලැබ සිටියහ. ඒ අනුව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, විදුලිබල මණ්ඩලයේ සභාපති ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වූහ. අගමැතිවරයා කීවේ ඉදිරියේ දී ජනතාව බඩගින්නේ නො තියා ඔවුන් ජීවත් කරන්න වැඩපිළිවෙළක් රජය සකස් කරමින් යන බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡාවල ප්‍රගතිය ගැන ද ඔහු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කළේය. වගා කරන අයට රජයේ ඉඩම් ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා කීවේය. මේ අතර මැති ඇමැතිවරුන්ට ගමට ගොස් වැඩ කරන්නැයි ඉල්ලීමක් කළේය.
රජයේ ඉඩම් වගා කරන අයට දීම සම්බන්ධයෙන් සරත් වීරසේකර මන්ත්‍රීවරයා විරෝධයක් මතු කළේය. ඔහු කීවේ මේ ඉඩම්වල ඔප්පු දුන්නොත් ඉඩම් විකුණා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන බවය. අගමැතිවරයා කීවේ ප්‍රශ්න නැති ප්‍රදේශවල ඉඩම් බෙදිය හැකි බව ය.
මේ සම්බන්ධයෙන් විරුද්ධ වන මන්ත්‍රීවරුන් සිටින්නේ නම් ඒ ප්‍රදේශවල ඉඩම් බෙදන්නේ නැතිව සිටිය හැකි බව ද අගමැතිවරයා කීවේය.
අනතුරුව නිමල් ලංසා මන්ත්‍රීවරයා කතා කළේය. ‘‘දැන් මිනිසුන්ගේ ප්‍රශ්නය ගෑස් හා තෙල් නැතිකම. ඔවුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. ඒකට විසඳුමක් දෙන්නෙ කවද්ද කියලා අපට කියන්න ලන්සා කීවේය. අමරවීර වගා කරන වැඩපිළිවෙළ ගැන කීවේය. ඔහු කීවේ සැප්තැම්බර් වන තෙක් අවශ්‍ය සහල් රට තුළ තිබෙන බවය. හිඟයක් ඇති වුණොත් සිදුවන්නේ සැප්තැම්බර් මාසයෙන් පසුව බවය, වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු කතා කළේය. ඔහු කීවේ සහල් අවශ්‍ය ප්‍රමාණය රට තුළ තිබෙන බවය. හිඟයක් ඇති වුවහොත් සහල් ගෙන්නන්න වැඩපිළිවෙළ සකස් කරගෙන යන බව ඔහු කීවේය.


මහාචාර්ය චරිත හේරත් ද කතා කළේය ‘‘දැනට තියෙන තොරතුරු අනුව මේ කියන තරම් සහල් හිඟයක් රටේ නෑ. අතිශෝක්තියෙන් පෙන්නන්නෙ. හිඟ වුණොත් පෙබරවාරි වෙනකොට තමයි. මම නිලධාරීන් එක්කත් කතා කළා. ඒගොල්ලෝ කිව්වා හාල්වල ඔය කියන තරම් අර්බුදයක් නෑ කියලා.’’ චරිත හේරත් කීවේය.
ජගත් කුමාර මන්ත්‍රීවරයා ද සුපුරුදු පරිදි කතාව ආරම්භ කළේය. ජනාධිපතිතුමනි මම අද කතා කරන්නේ වෙනත් ප්‍රශ්නයක් ගැන. රුසියානු ගුවන් යානය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. රටේ අනාගතය එක්ක පන්දු කෙළිනව ද කියලා සමහරු අහනවා. ජනාධිපතිතුමා ක්ෂණිකව මැදිහත් වෙලා. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තෙ නෑ කියලා සමහර අය කියනවා.”‍ ජගත් කියද්දී, ජනාධිපතිවරයා කීවේ තමා කරපු දේවල් කවුරුත් නොදන්නා බවය.”‍ මම අධිකරණ කටයුතුවලට අත දැම්මේ නැහැ. එහෙම කළා නම් ඒකත් මගේ ඇඟට දාවි”‍ යයි කී ජනාධිපතිවරයා අර්බුදය විසඳීමට කටයුතු කරමින් ඇති බව කීවේය. ජගත් කුමාර කී​ෙව් විදේශ ඇමැතිවරයා රුසියාවට යවා හෝ මේ අර්බුද විසඳා ගැනීමට මැදිහත් විය යුතු බවය. ගුවන් යානයේ සිද්ධිය රටේ ආර්ථිකයට බරපතළ බලපෑමක් එල්ල වන බව ඔහු කීවේය.
‘‘මම එක එක දේවල් කියන්නෙ නෑ. ජනතාවගේ ප්‍රශ්න කියන්න බැරිනම් මම මෙතනට ඇවිල්ලා වැඩක් නෑ. මේ ප්‍රශ්න දෙස සංවේදීව බලන්න කියලයි ජනතා පැත්තෙ ඉඳන් මම කියන්නෙ. අගමැතිතුමා අපට ගමට යන්න කිව්වා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තියෙද්දී අපි ගමට යන්නේ කොහොමද?. ඉස්සෙල්ලා මේ පෝලිම් නැති කරල ඉන්න ඕන”‍ ජගත් කීවේය


අනතුරුව විසිඑක් වෙනි සංශෝධනය ගැන කතාබහට ලක්විය.
‘‘මේ වෙලාවේ විසිඑක්වැනි සංශෝධනය ගේන එක අපිට පිළිගන්න බෑ. ඊට කලින් අත්‍යවශ්‍ය ආහාර ප්‍රශ්නය විසඳන්න. 21 පැත්තකින් තියන්න කියලයි. අපි කියන්නේ”‍ සරත් වීරසේකර කියද්දී ඊට ඩලස් මැදිහත් විය. ”‍අපි මේ වෙලාවේ විශාල අර්බුදයක ඉන්නේ. ජනතාව අර්බුද රැසක ඉන්නවා. ඒ ප්‍රශ්නවලට උත්තර හොයන ගමන් අපි මේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගේන්න ඕන. ඒක ජනතාව ඉල්ලනවා. ඔහු කීවේ විසි එක්වැනි සංශෝධනය දවසක් හෝ ප්‍රමාද නොකළ යුතු බවය.
රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණ නිසයි, විජයදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ ඇමැති වුණ නිසයි මේ විසි එක්වැනි සංශෝධනය ගේන්නෙ කියලා සමහරු මතයක් යවනවා. ඒක වැරදියි. ව්‍යස්ථා සංශෝධනයක් කරනවා කියලා ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම පොරොන්දුවක් දුන්නා. අපි ව්‍යවස්ථා සංශෝධනය කරනවා කියලා අගමැතිතුමා අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුවට පොරොන්දුවක් දුන්නා. ඒ අතර ජනාධිපතිතුමා විසිඑක්වැනිදා ජාතිය අමතමින් විසි එක්වැනි සංශෝධනයට සහාය දෙනවා කියලා පොරොන්දුවක් දුන්නා. මේක දවසක්වත් ප්‍රමාද කරන්න හොඳ නෑ. රට ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණ අපි දෙන්න ඕන. ඩලස් කීවේය.
විදුලි බල අර්බුදය ගැන කංචන විජේසේකර ඇමතිවරයා පැහැදිලි කළේය. ඔහු කීවේ මෙය ඉක්මනින් විසදීමට හැකි ප්‍රශ්නයක් නොවන බවය
එය විසඳීමට හැකි සෑම උත්සාහයක් ගන්නා බව ඔහු කීවේය.

 

හවුල් පක්ෂ නවයෙන් සන්ධානයක්

පාර්ලිමේන්තුවේ හවුල් පක්ෂ නවයේ සාකච්ඡාව ඉකුත් අඟහරුවාදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. 


උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ජයන්ත සමරවීර, වීරසුමන වීරසිංහ, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, අසංක නවරත්න ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු මෙන්ම, අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. එහිදී ප්‍රධාන කාරණා කීපය සම්බන්ධයෙන් සාකච්ඡා විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ඉන්ධන ලබා දීමට රුසියාව කැමැත්ත පළ කර තිබිය දී ආණ්ඩුව ඒ සඳහා සූදානම් නොමැති වීම ගැනය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑමක් කිරීමට පක්ෂ නායකයෝ එහි දී තීරණය කළහ. ඒ සම්බන්ධයෙන් පසු දිනම ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට ඔවුහු පියවර ගත්හ. මීට අමතරව මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කිරීම සඳහා විශේෂ රැස්වීමක් අද දිනයේ බුද්ධ ජයන්ති මන්දිරයේ දී පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබුණි. හවුල් පක්ෂ එක්ව පිහිටුවන සන්ධානය සම්බන්ධයෙන් කතා බහට ලක් විය.

 

සජබෙන් වගා සංග්‍රාමයක්

ජීවන වියදම් උග්‍ර ලෙස ඉහළ යාම හේතු කොටගෙනත්, දිනෙන් දින පෝලිම් වර්ධනය වීම හේතු කොටගෙනත් ජනතාව පත්ව ඇති පීඩනය සම්බන්ධව විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ද සිය අවධානය දැඩි සේ යොමු කරන්නට විය.


“රට ගොඩදාන යන්ත්‍රය තමන් ළඟ තියෙනවා කියලා තමයි වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව භාර ගත්තේ. බලාගෙන ගියහම දැන් යන්තරේ අතරමං වෙලා”‍ ගයන්ත කරුණාතිලක කීවේය.
‘‘නෑ, බෑ, භයානකයි කියන වචන තුන ඇරුණම අගමැතිවරයා වෙන වචනයක් නම් කියලා ම නැති තරම්. එතුමා දැන් ගෝනි බිල්ලෙක් වගේ. කට ඇරියොත් කියන්නේ බය හිතෙන වචනයක්”‍ නලින් බණ්ඩාර කීවේය.
‘‘එක පාරක් කිව්වා රට ගොඩගන්න වීරයෙක් ඕන කියලා. ඊට පස්සේ කිව්වා මොළ හතක් ඕන කියලා. ඊට පස්සේ කිව්වා මොළ හතක් මදි, මොළ නැවක් ඕන කියලා. දැන් ඊට පස්සේ ඉන්නව මදි නැව් ගොඩක් ඕන කියනවා. මේ වගේ තක්කඩි ආණ්ඩුවක් ලෝක ඉතිහාසයේවත් තිබිලා නෑ”‍ එහෙම කීවේ අසෝක අබේසිංහ ය.
‘‘අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා කියනකොට, ඒ විතරක් නෙවේ රාජපක්ෂලා ගෙදර යන්න ඕන කියලා කියනකොට බිත්තියට හේතුවෙච්ච ජනාධිපතිවරයාට හුස්ම දීපු හැමෝම මේකට වගකියන්න ඕන.”‍ රාජිත කීවේය.


“මහ පාන්දර බැලු‍වත්, උදේ ඉඳන් රෑ වෙනකම් බැලු‍වත් රටපුරා පෝලිම්. මේ මිනිස්සු විඳින දුක දැක දැක මේ තිරිසන් ආණ්ඩුව පිස්සු නටනවා”‍ මුජිබර් රහමන් කීවේය.
“කියපු වචනයක් ගානේ අද වෙනකොට ඇත්ත වෙලා ඉවරයි. මේ ආණ්ඩුව රටට සාපයක්. එහෙම කී සජිත් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කළේය.
“අපි සම්ප්‍රදායක විපක්ෂයකින් බැහැර වෙලා මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඕන. විශේෂයෙන්ම අපි අපේ සමගි ගොවි පෙරමුණ හරහා වගා සංග්‍රාමය වෙනුවෙන් වෙහෙසෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව විසිඑක්වෙනි සංශෝධනය ගේන්නේ නෑ. එ්කට විරුද්ධව අපි අරගල කරන්න ඕන. මේ ආණ්ඩුව රටත් කනවා, ප්‍රජාතන්ත්‍රවාදයත් කනවා.”‍ සජිත් කීවේය.
“ඔබතුමා ‘‘හුස්ම’’ හරහා හොස්පිට්ල්වලට උපකාර කළා. සක්වල ගෙනාවා. දැන් වගා සංග්‍රාමය පටන් ගත්තා. ඒ සේරටම ඒ දවස්වල සමහරු හිනා වුණා. හිනාවෙච්ච අය දැන් අඬනවා.!”‍ ඉමිටියාස් බාකීර් මාකර් කීවේය.
‘‘ඒ විතරක් නෙමේ ඒවට හිනාවෙච්ච සමහර පක්ෂ, දැන් අන්න ඒ වැඩේ පටන් අරගෙන”‍ හර්ෂණ කීවේය.
‘‘රටෙන් ලක්ෂ 50ක ජනතාව කන්නේ ගුණාත්මක බවින් අඩු ආහාර! මන්දපෝෂණය වැඩි වෙලා! පහුගිය කන්න දෙකේදිම පොහොර නැතිව වගාව 50%කින් අඩුවෙලා. ලෝකෙම එහෙම කියනවා. අපිට හිනා වෙලා, අපහාස උපහාස කරලා හරි කමක් නෑ, මේ රටේ මිනිස්සු වෙනුවෙන් මොනවා හරි කරනවා නම්”‍ සජිත් කීවේය.

 

සජිත් මන්ත්‍රී කණ්ඩායම්  රැස්වීමේදී සංවේදී වෙයි!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මෙවර විශේෂ මුහුණුවරක් ගත්තේය. ඊට ප්‍රධාන හේතුව වූයේ විපක්ෂනායක ලේකම් රවී ජයවර්ධන ය.
“රැස්වීම ආරම්භයේදීම විශේෂ කාරණයක් සිහිපත් කරන්න තියෙනවා. මාත් එක්ක දශක ගාණක් එකට හිටපු, අපි හැමෝම එක්ක අරගල කරපු, පෞද්ගලිකව මාත් එක්ක පුදුමාකාර සමීපකමකින් හිටපු අපේ ලේකම්තුමා, රවී ජයවර්ධන මහත්මයා විශේෂ ශිෂ්‍යත්වයකට ඕස්ට්‍රේලියාවට යනවා. ඒක මට දරාගන්න බැරි දුකක්. විශාල සංවේගයක්. හැබැයි එතුමා යන්නේ, ඉගෙන ගැනීම වෙනුවෙන්. ඒක සතුටක්. සතුටයි දුකයි දෙකම මිශ්‍ර වෙච්ච මේ මොහොත ඇත්තටම මට හිතාගන්න බැහැ.”‍ සජිත් තම කතාව ආරම්භ කළේ එහෙමය.


‘‘එතුමාට පුදුම දැක්මක් තිබුණා. එතුමට විශාල දර්ශනයක් තිබුණා. ඒ දර්ශනය, ඒ දැක්ම අපිට විශාල ශක්තියක් වුණා. ඉතින් එතුමා සමුගෙන යාම වචනයෙන් කියන්න බැරිතරම් දුකක්, වේදනාවක්”‍ සජිත් ඉන් එහාට කිසිවක් නොකියා නිහඬ විය. ඔහු ඒ තරම් සංවේදී විය. මන්ත්‍රී කණ්ඩායමම එයින් මොහොතකට නිහඬ විය.


සජිත් සහ රවි අතර වූයේ දිගුකාලීන මිතුදමකි. හිතවත්කමකි. වෘත්තීයවේදීයෙකුටත් වඩා ඔහු දේශපාලන සහ සිවිල් විශ්ලේෂකයෙක් විය. සමගි ජනබලවේගය ඔහුගෙන් විශාල පන්නරයක් ලැබීය.
විශේෂයෙන්ම ඔහු විපක්ෂනායක ලේකම් ලෙස තීරණාත්මක භූමිකාවක් ඉටු කළේය.
‘‘එතුමා අපිට මහ ශක්තියක්. විශේෂයෙන්ම නායකතුමාට විශාල මගපෙන්වීමක් කළා.!”‍
මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘මම ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. නායකතුමාව ආරක්ෂා කරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්න. මෙතුමව රටේ නායකයා කරන්න.”‍ රවි ජයවර්ධන කීවේය.
රවිට සුබපැතීමේ උත්සව කිහිපයක් තිබූ අතර සජිත් ඒ සියල්ලටම සහභාගි විය.

 

ඡන්ද විමසීමක් නැතිව අනුමත වූ  අගමැතිගේ පරිපූරකය

මුදල් ඇමැතිවරයා, වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෝටි 69500ක පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට ඡන්ද විමසීමකින් තොරව අනුමැතිය ලැබීම ඉකුත් සතියේ විශේෂ සිදුවීම විය.


ඉදිරි මාස 8ක කාලය තුළ රට නොවැටී පවත්වාගෙන යාම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් සොයා ගැනීමට අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය. එහිදී හෙක්ටයාර් දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති ගොවීන් ලබා ගෙන ඇති පොඩි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට ගත් තීරණයට අග්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් ගලා එන්නට විය.
අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස හිටපු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පත් කිරීම ද ගිය සතියේ දී සිදුවිය.


මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ අග්‍රාමාත්‍යවරයා අතර ආරවුලක් පවතින බවට සමාජ මාධ්‍යවල පැතිරයමින් තිබූ කතා ...මහ බැංකු අධිපතිවරයා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.
ගිය සතිය පුරාම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වූවාට අමතරව ඉන්දියාවේ එස්.ඩී.ටී.වී. නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය. එම සාකච්ඡාව අවසානයේ ‘‘අර්බුදයේ අගමැති අර්බුදය විසඳා අගමැති ලෙස පත්වේවා’‘ යනුවෙන් සුභ පැතුවේය.


ප්‍රධාන පෙළේ අපනයනකරුවන් පිරිසක් අගමැතිවරයා හමුවී බර ලිහිල් කරන ලෙස ඉල්ලා සිටි අතර එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා ටික කාලයක් ලබා දෙන ලෙසටය.
ඇමැතිවරුන් වසරක කාලයක් වැටුප් නොලබා සේවය කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඒකමතිකව අනුමැතිය ලැබුණි.
එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීම සිරි​කොත දී පැවති අතර එහිදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද කතාව ගම්මට්ටමට ගෙන යා යුතු බවයි. ගම් මට්ටමින් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩ සටහන් දියත් කිරීම ගැනද මෙහිදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කතා කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, මැතිවරණයක් දැන්ම එන්නේ නැති වුණත් අපි කරන දේ ගැන පාක්ෂිකයන් දැනුවත් කිරීම අවශ්‍ය බවය. විශේෂයෙන් වගා සංග්‍රාම ගැන ජනතාව දැනුවත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.


කළමනාකරණ කමිටු සාකච්ඡාවෙන් පසු අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරියට දුරකතන ඇමතුමක් දුන්නේය. තාක්ෂණික කමිටු නිලධාරීන් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන ලෙසටත් ඉන්පසු මූලික එකඟතාවයකට අත්සන් කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා ඇයට පෙන්වා දුන්නේය.
මීට අමතරව අග්‍රාමාත්‍යවරයා ගිය සතියේදී ගිලන් රථ රියදුරන් පිරිසක් හමුවූයේය. දින 100 රාජපක්ෂ රජය කාලය තුළ පත්වීම් ලබා සිටි මේ පිරිස සේවයෙන් ඉවත් කර තිබූ නිසා යළි සේවයේ පිහිටුවන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

 

ප්‍රජා ගොවිපොළ බිහිකරන්න ජවිපෙ සැරසෙයි

 

 රට පවතින ආර්ථික අර්බුදය හමුවේ ගර්භනී මාතාවන් හා දරුවන් වැඩි වශයෙන් මන්දපෝෂණයට ලක්වීම වැළැක්වීම සඳහා ‘ජනබලයෙන් ජන ගොවිපල අස්වද්දමු’ යන තේමාවෙන් රටපුරා ප්‍රජා ගොවිපල ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් සතියේ දී තීරණය කළේය.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේ දී රැස් වූ අවස්ථාවේ දී නායක අනුර කුමාර දිසානායක මහතා මහ බැංකු වාර්තාව ගෙනහැර දක්වමින් සියයට 45ක් ජනතාව බහුවිධ පෝෂණ ඌනතාවලින් පෙළෙන බව​ පෙන්වා දුන්නේය. මන්ද පෝෂණ සියයට 30කින් වැඩි වී ඇති බව ද පෙන්වා දුන්නේය.
මෙහි දී පක්ෂයේ මහ ​ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ පක්ෂය මැදිහත් වී මේ පිරිසට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවය. ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා උපයෝගී කරගෙන සැලැස්මක් සකස් කළයුතු බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මෙහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ අර්ධ නාගරික ප්‍රදේශවල සමූහ ගොවිපල සකස් කිරීම සඳහා කෘෂි නිලධාරීන්ගේ සහාය ලබා ගත හැකි බවයි. කාබනික පොහොර නිෂ්පාදකයන් සමග පැවැති සාකච්ඡාවේ දී රජයේ ඉල්ලීම මත කාබනික පොහොර නිෂ්පාදනය කළත් දැන් ඒවා අලෙවිකර ගත නොහැකිව පවතින බව ප්‍රකාශ වූ බව ද අනුර දිසානායක මහතා කියා සිටියේය. රජය මිලදී ගත් කාබනික පොහොරවලට පවා මුදල් නොගෙවීමෙන් ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බව පෙන්වා දුන් බව ද ඔහු කීවේය. රටේ අර්බුදකාරී අවස්ථාවේ ප්‍රජා ගොවිපල පිහිටුවීම සඳහා ඉඩම් සොයා බලන ලෙසට ද නායක අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.


මීට අමතරව පක්ෂයේ විදේශ ගත සාමාජිකයන් ඖෂධ තොග එවීමට කැමැත්ත ප්‍රකාශ කර සිටින නිසා රෝහල්වලට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ලබා ගැනීමට වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතාට භාර කළේය.
සමාජවාදී තරුණ සංවිධානයේ එරංග ගුණසේකර මහතා ගාලුමුවදොර තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය. ඉන්ධන හිඟයත් සමග ජනතාවට ප්‍රවාහන අපහසුතා තිබෙන නිසා අරගලය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය සහාය දැක්වීම පෙන්වා දුන්නේය.
අරගලයට ශක්තිය දීමක් වශයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් උද්ඝෝෂණ සංවිධානය කිරීමට වෛද්‍ය එම්.පී. ධම්මික මහතාට භාර කළේය. ජනපීඩක ආණ්ඩුව පරදවමු 74 වසරක සාපය නිමා කරමු. ජනතාවාදී පාලනයක් ආරම්භ කරමු යන තේමාව මත මෙම උද්ඝෝෂණ ව්‍යාපාර මේ මස අවසාන වීමට පෙර ඇරඹීමට තීරණය කළේය.


විජිත හේරත් මහතා කරුණු දක්වමින් විදේශ තානාපතිවරුන් සමග පැවැත් වූ සාකච්ඡාවල තත්ත්වය පැහැදිලි කළේය. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයට මැදිහත්වීම ගැන තානාපතිවරුන් සුබවාදීව බැලීම ගැන විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.


නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ යල කන්නයේ වී අස්වැන්න සියයට 50කින් අඩුවෙන බව රජය ප්‍රකාශ කර ඇති අතර මෙට්‍රික් ටොන් 8 ක් පිටරටින් ගෙන්විය යුතු බව ප්‍රකාශ කර ඇති බවයි. එහෙත් මෙ.ටො. 8 කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය බව නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

 

-ගජබා-