ගමේ වෙහෙර සිහිපත් කළ සයිප්‍රසයේ පින් බිම


 

 

තුන්ලෝකාග්‍ර වූ බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමඟුල සිහි කරමින් සියළු ලෝකවාසී බොදුණුවන් සමග සයිප්‍රසයේ අපි ද වෛශාක්‍ය මංගල්‍යය උසස් ලෙස සැමරුවෙමු.   


වෙසක් පුන් පොහොය උදාවෙන විට ලෝක වාසී බොදු ජනතාවට ඇති වෙන්නේ සංස්කෘතික වශයෙන් සුන්දර වූ ද ආධ්‍යාත්මික වශයෙන් සැනසිලිදායක වූ ද හැඟීම්ය. තොරණ, පහන් කූඩු, සැරසිලි හා දන්සල් ආදියෙන් පරිත්‍යාගශීලී ගුණයත්, නිර්මාණශීලී ගුණයත් රට පුරා ප්‍රදර්ශනය වෙන්නේ මෙම වෙසක් මංගල්‍යයත් සමඟ ය. වෙනදාටත් වඩා වෙහෙර විහාර උවසු උවැසියන්ගෙන් පිරී යන්නේ ද වෙසක් පොහෝ දිනයේ දී ය.   


කෙසේ වෙතත් මෙවර ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය වෙනදා තිබූ සැනකෙළි ස්වභාවයෙන් බැහැර වී තිබූ බවත් විහාරස්ථාන කේන්ද්‍රගත වී ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දුන් බවත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණ. පාස්කු ඉරු දින මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයන් රට තුළ ඇති කළ මරණ බිය එයට හේතු වූ බව නොරහසකි. බෝම්බ පුපුරා ජීවිත සිය ගණනක් අහිමි වී රට තුළ ඇති වූ බිය හා අනාරක්ෂිත භාවය මේ වෙන විටද පහව ගොස් නැත.   


අප ඇතුළු බොහෝ විදෙස් ගත බොදුණුවෝද මෙවර වෙසක් සමරණ ලද්දේ අසිරිමත් බුදු සිරිත පිළිබඳව ආමිස ප්‍රතිපත්ති පූජාවන් සිදුකොට පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් මියගිය ලාංකිකයන්ට පුණ්‍යානුමෝදනා කරනු පිණිස ය. විපතට අසහනයට පත්ව ජීවත්ව සිටින සැමට ආශීර්වාද කරනු පිණිස ය.   


 සයිප්‍රසය යනු මීට වසර 14 කට පෙර බුදු දහමේ ‘අ’ යන්න වත් නොදත් රටකි. විසි දහසකට අධික ශ්‍රී ලාංකිකයන් සේවය කළ මෙරට 2005 වසරේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාරාමය, වැලි කතරකට සිහිල් දිය පිරි විලක් බඳු විය. විහාරාධිපති හා සයිප්‍රසයේ ප්‍රධාන සංඝනාක පූජ්‍ය මොරවක සෝරත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එදා සිට අද දක්වාම සෑම ඉරු දිනකම ආගමික දින සටහනකට අනුව දවස පුරා සිදු කෙරෙන ආමිස ප්‍රතිපත්ති පූජාවන් ද බදාදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දින වල සිදු කෙරෙන ධර්ම සාකච්ඡා හා භාවනා වැඩසටහන් ද විශාල පිරිසකට ආධ්‍යාත්මික සුවය සලයසි. සෑම මසකම පසළොස්වක පොහොය නිමිත්තෙන් ආසන්න ඉරුදින පැවැත්වෙන සීල භාවනා වැඩසටහන අපගේ කායික මානසික විඩාව දුරලයි. ආර්ථිකයට අමතරව ජීවිතය ජය ගැනීම පිණිස ඒ මග පෙන්වීම අප ලද මහා භාග්‍යයකැයි සිතේ.   

 


මෙවර සයිප්‍රසයේ වෙසක් මංගල්‍යය වෙනදා මෙන් විශාල උද්‍යානයක නොපැවැත්වුව ද ලංකාරාම පින්බිමේ දී ඉතා සොඳුරු ලෙස වෙසක් සැමරීමට අපට හැකි විය. වෙසක් පොහෝදා රාත්‍රිය ශ්‍රී ලංකාරාම පින්බිම අපට සිහිපත් කළේ ඈත එපිට ගැමි වෙහෙරක තිබූ වෙසක් සිරියයි. පහන් කූඩු හා වෙනත් සැරසිලිවලින් අලංකාර වූ පන්සලට ගිය අපට විදේශයක සිටින බව පවා අමතක කරවීමට ඒ පරිසරය සැකසී තිබිණ.   


විහාරාධිපති පූජ්‍ය මොරවක සෝරත නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසී කුඩාරඹාවැවේ ධම්මගවේසී ස්වාමීන් වහන්සේ විසින් ආගමික කටයුතු මෙහෙයවනු ලැබූ අතර සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් රෝහණ අඹගොල්ල මහතා ප්‍රධාන විශාල පිරිසක් ආගමික වතාවත් සඳහා සහභාගී වි සිටියහ.   


 පොහෝ දිනට පසු දින එනම් 19 වැනි ඉරු දින ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවනේ සහ ලිමාසෝල් සදහම් මැදුරේ පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා වෙසක් සීල භාවනා වැඩසටහන් පැවැත්විණි. ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා සහ සත්බුදු වන්දනා පින්කමක් ද දින සටහනට ඇතුළත් විය.   


 එයට සමගාමීව පෙරවරු කාලයේ බෞද්ධ සංගමය විසින් සව් දන්සලක් පැවැත් වූ අතර නිකෝසියා තරුණ කැල විසින් දහවල බත් දන්සලක් පවත්වන ලදී. ඒ සඳහා සහභාගී වූ පිරිස අතර විදේශිකයන් සිටිනු දක්නට ලැබිණ. සවස් කාලයේ ඔසුපැන් දන්සල දෙන ලද්දේ කොන්සල් ජනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසිනි.   


 වැඩසටහන මෙහෙය වූ ස්වාමීන් වහන්සේලාගේ මෙන්ම පෙහෙවස් සමාදන් වූ බැතිමතුන්ගේ ද දන් පැන් පිදූ සියල්ලන්ගේ ද උපස්ථායක භවතුන්ගේ ද මේ සියල්ල සංවිධානය කළ බෞද්ධ සංගමයේ ද ප්‍රධාන ප්‍රාර්ථනය වූයේ අප ආදරණීය මාතෘ භූමියේ පාස්කු ඉරු දින මියගිය හැමට පුණ්‍යානුමෝදනා කිරීම ය. විපතට අසහනයට පත් වූ සැමට ආශීර්වාද කිරීම ය. මේ වන විටත් දේශයේ ආරක්ෂාව වෙනුවෙන් අවංකව කැපවෙන සියළු ආරක්ෂක අංශවලට සෙත් පැතීම ය. හෙට දවසේ බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමට හැකි බිමක් අපට උදා වේවා යන්නය. අපගේ මව් පොලවට හා පුරවැසියන්හට සැබෑ ආදරයකින් යුතුව පෝෂණය හා රැකවරණය දිය හැකි පාලකයන් රටට බිහි වේවා යන්න ය.   

 

 

 


විමලා යාපා  
මාධ්‍ය ඒකකය,  ශ්‍රී ලංකාරාමය, සයිප්‍රසය.