Nepo Kids ලාට එරෙහි Gen-Z Guyzz ලා


ශ්‍රී ලංකාව ලෝකයේ අලු‍තෙන් නමක් තබා තිබේ. ඒ අරගල සංකල්පය හඳුන්වා දීම නිසාය. ලොව කොහේ හෝ අරගල ශෛලියේ සංසිද්ධියක් දුටු විට ගෝලීය මාධ්‍ය ශ්‍රී ලංකාව ගැන කතා කරයි. එහෙත් නේපාල අරගලයේ ස්වභාවය ලංකාවට හාත්පසින්ම වෙනස්ය. දැන් අලු‍ත්ම ක්‍රියාදාම වීරයන් වෙන්නේ නේපාලයේ අරගලය මෙහෙය වූ GEN – Z  ලාය. ඔවුන් බංග්ලාදේශ අරගලය මෙහෙය වූ “කොන් කිරීමට එරෙහි සිසුන්” ව්‍යාපාරයට වඩා සංවිධිත ශක්තිමත් හා වේගවත් බව පෙනේ. එහෙත් බංග්ලාදේශ සිසුන්ට මෙන් බිහිසුණු රාජ්‍ය මර්දනයකට මුහුණ දීමට නේපාල GEN – Z  ලාට සිදු නොවීය.

ශ්‍රී ලංකාව හඳුන්වා දුන් නව අරගල මාවතේ යමින් දකුණු ආසියාවෙහි උඩු යටිකුරු වූ තුන්වැනි රාජ්‍යය බවට නේපාලය පත්ව තිබේ. නේපාල කලබැගෑනියත් සමග ගෝලීය ප්‍රජාව අරාබි වසන්තය මෙන් ඉන්දීය උපමහද්වීපික වසන්තයක් ගැන කතා කරති. කලාපීය බලවතා වන ඉන්දියාව වට කරමින් සිදුවන අරගලවල අවදානම්සහගත සුළඟ අවසානයේ ඉන්දියාව දෙසටද ගමන් කරයි.

කලාපයෙහි පොඩි ටික්ටොක් ඉන්ස්ට්‍රා හෝ ෆේස්බුක් (දැන් වැඩිපුර තරුණ ප්‍රජාව භාවිත නොකළත්) මෙහෙයුමකදී ට්‍රිගර් වී ටිපර් වී පාරට බැසිය හැකි කණ්ඩායම් හා තලපති විජේ වැනි සරුවපිත්තල වීරයන්ගේ පක්ෂද, “ගායිස් ගායිස්” කියමින් සමාජ මාධ්‍යවල පිම්බුණු ගෙම්බන් වැනි චරිත බවට පත්වූ විවිධ හිස් කළ වැනි අප්පුහාමිලාද ඉන්දියාව ඇතුළු උප මහද්වීපික කලාපයෙහි විරල නොවේ. 

නේපාලය ගිනි ගැනීමෙන් පෙන්වා දී ඇත්තේ ඊළඟ ගින්න ඇතැම් විට පාකිස්ථානයේත් එසේත් නැත්නම් ප්‍රධාන කලාපය වන ඉන්දියාවේ ප්‍රාන්තයකත් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.  එමෙන්ම ඉන්දියාවට දකුණු ආසියාවෙහි තවත් මිතුරෙකු අහිමි වී ඇත. බංග්ලාදේශයේ මෙන් නේපාලයේද ඉන්දියාවට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය වුවහොත් ට්‍රම්ප් බදු හා පකිස්ථාන ගැටුම ඇතුළු අර්බුදවලට මුහුණ දෙන මෝදි රජයට එය තවත් නව අභියෝගයක් වනු ඇත. 

දකුණු ආසියාවෙන් පිටත මීට ආසන්තම තත්ත්වයක් ඇතිවූයේ ඉන්දුනීසියාවේය. ශ්‍රී ලංකාවේ සිට නේපාලය දක්වා වූ අරගල සංස්කෘතිය විකාශය වූ ආකාරයේ මූලික ලක්ෂණයක් වන්නේ රට අස්ථාවරත්වයේ සිට ප්‍රචණ්ඩත්වය කරා ගෙනයාමයි. නේපාලය ශ්‍රී ලංකා අරගලයට වඩා පියවර සිය දහස් ගණනක් ප්‍රචණ්ඩත්වය දෙසට යොමු වී ඇත. එය අරගල පරිණාමයේ ලක්ෂණයක්ද? ආපසු හැරිය නොහැකි තැනකට රට ඇද දැමීමක්ද? 

ශ්‍රී ලංකාව අරගල මාවතෙන් ප්‍රධාන රාශ්ට්‍ර පාලන ධාරාවට හැරීමට ගතවූ කාලයට වැඩි කාලයක් බංග්ලාදේශයට ගතවිය. ලංකාවේ පාලනය බාර ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ගතවූ කාලයට වැඩි කාලයක් බංග්ලාදේශයේ මොහොමඩ් යුනුස්ට ගතවිය. නේපාලය දැන් ගනිමින් සිටින්නේ ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට වඩා වැඩි වට වංගුවකි. මේ ලිපිය අවසන් කරන සිකුරාදා උදෑසන වෙන තෙක්ම නේපාලයේ පාලනය බාරගැනීමට චරිතයක් ඉදිරිපත් වී නොතිබිණ. 

දැනට පාලන තන්ත්‍රයේ ඉතිරි වී ඇත්තේ නාමමාත්‍රික ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල් පමණි. රටේ නීතිය හා සාමය රැකීම හමුදාව විසින් භාරගෙන ඇත. ජනාධිපතිවරයා, හමුදා ප්‍රධානියා හා GEN – Z  කණ්ඩායම අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර අන්තර්වාර පාලනයක් පිහිටුවීම ගැන එහිදී මූලික අවධානය යොමුව ඇත. අරගලය මෙහෙයවූ GEN – Z  කණ්ඩායමේ ප්‍රධාන තේරීම වූයේ කත්මණ්ඩු අගනුවර නගරාධිපති පදවිය දරන 35 හැවිරිදි  රැප් ගායක බාලේන්ද්‍ර ෂාය. 

ඔහු අරගලය මෙහෙයවීම සඳහා තරුණ කණ්ඩායම දිරිමත් කළ පුද්ගලයෙක්. මේ වනවිට ඔහු තරුණයන්ට දැනුම් දී ඇත්තේ පාලනයක් ස්ථාපනය සඳහා හදිසි නොවන ලෙසයි. එහෙත් රට පවත්වාගෙන යාම සඳහා පාලන යාන්ත්‍රණයක් මේ වනවිට නැත. අන්තර්වාර පාලන නායකත්වය සඳහා GEN – Z  කණ්ඩායම බාලෙන්ද්‍ර ෂාගේ නම යෝජනා කර ඇතත් ඔහු එය පිළිගෙන නැති බවක් වාර්තා වේ. ඒ වෙනුවට බාලෙන්ද්‍ර ෂා, හිටපු අගවිනිසුරු සුෂිල් කාකිගේ නම යෝජනා කර තිබේ. 

එය සාධනීය තත්ත්වයක් ලෙස සැලකිය හැක. දැන් නේපාලය හමුවේ ඇත්තේ ඉතා ඉක්මනින් සිවිල් පාලනයක් ස්ථාපනය කර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමයක් කරා යොමුවීමයි. එහෙත් ප්‍රශ්නය වන්නේ දේශපාලන පක්ෂ කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය හා දේශපාලනය අතිශයින් දූෂිත බවට සමාජගත වී ඇති තිරසර මතයයි. මේ වනවිට අන්තර්වාර පාලනය සඳහා නායකයෙකු තෝරා ගැනීමට ඇති ඉඩකඩ ඉහළ මට්ටමක තිබුණද එම පාලන ව්‍යුහය සඳහා එක්වෙන සාමාජිකයන් තෝරාගැනීමද අභියෝගයක් වෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

නේපාල දේශපාලනය කෙබඳුද? 

ලොව පියස්ස බදු හිමාල කඳුවැටියට උතුරු දෙසින් මායිම්ව පිහිටි නේපාලය ඉන්දියාවත් චීනයත් අතරට තෙරපුණු කුඩා රාජ්‍යයකි. එහි මානව ශිෂ්ටාචාර ඉතිහාසය පිළිබඳව වසර 9000ක් තරම් පැරණි සාධක තිබේ. එය අතීත භාරතයේ ගෝපාල, මහිෂපාල, කිරාන්ති, වැනි ගෝත්‍ර පාලනය යටතේ පැවති අතර බුද්ධ කාලයට ආසන්නව එම කලාපය ලිච්ඡවී හා මල්ල රජවරුන්ගේ පාලනයේ පැවතිණ. එහෙත් වර්තමානයේ අප දකින නේපාලය බිහිවන්නේ 1768 වසරේදීය. 

ඒ ගුර්කා ජාතික පෘථිවි නාරායන් ෂා රජතුමා කුඩා රාජ්‍ය කිහිපයක් එක්සත් කොට වර්තමානයේ අප දකින නේපාල රාජ්‍ය ස්ථාපනය කිරීමෙනි. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් ඉන්දියාවේ සිය අණසක පතුරුවන කාලයේ නේපාල රාජ්‍යය සමග යුද වැද දෙවසරකදී ජය අත්කරගත්තද (1814-1816) පසුව රජු සමග ඇතිකරගත් සුගාඋලි ගිවිසුම යටතේ නේපාල රාජ්‍යයට නිදහසේ පැවතීමට ඉඩකඩ ලබා දුන්නේය. 1848 -1951 දක්වා නේපාලයේ පැවතුණේ රානා රජ පෙළපතේ පාලන සමයයි.

රානා පාලන සමය 1951 අවසන් වන්නේ වර්තමානයේ මෙන් සිදුකෙරුණු ජන අරගලයකිනි. එවකට රට පාලනය කළ ත්‍රිභුවන් රජු එනම් රානා පෙළපතේ පුරුක ඉන්දියාවට පලාගිය අතර අරගලකරුවන් හා රජු අතර ඉන්දියාව මැදිහත් වී ගිවිසුමක් ඇතිකරගැනීමෙන් පසුව ත්‍රිභුවන් රජු නැවතත් නේපාලයට පැමිණියේය. ඒ රට ප්‍රථම දේශපාලන පක්ෂය වන නේපාලි කොංග්‍රසය හා රජු සම්බන්ධ කොටගෙන ඒ අනුව නේපාලයේ ප්‍රථම සිවිල් අන්තර්වාර පාලනය ස්ථාපනය කෙරුණු අතර 1959දී ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පවත්වනු ලැබීය. 

ඉන් බලයට පත්වූයේ නේපාලි කොංග්‍රසය නියෝජනය කළ බිෂ්වෙෂ්වර් ප්‍රසාද් කොයිරාලගේ නායකත්වයෙන් යුත් රජයයි. ඔහු නේපාලයේ මහජන ඡන්දයෙන් බලයට පත් ප්‍රථම අගමැතිවරයායි.  බිෂ්වෙෂ්වර් පසුකාලීනව නේපාලයේ අගමැති වූ ගිරිජා ප්‍රසාද් කොයිරාලගේ වැඩිමල් සොහොයුරා වූ අතර බොලිවුඩ් නිලි මනිෂා කොයිරාලගේ මුත්තණුවන්ය. සිවිල් පාලනය පැවතියේ වසරක් පමණි. ඉහළ පෙළැන්තියට රිදෙන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම නිසා  රජය සමග උරණ වූ මහේන්ද්‍ර බීර්  බික්‍රම් රජු පාලන බලය සියතට ගෙන දේශපාලන පක්ෂ ක්‍රමය වෙනුවට පංචායත් රාජ්‍ය ක්‍රමය හඳුන්වා දී රජ පරපුරේ බලය යළි ස්ථාපනය කරගත්තේය. 

1970 -1980 දශකවල වරින්වර පැවති සිසු ව්‍යාපාරවල ශක්තිමත් මුහුණුවරක් ස්ථාපනය වීමේ ප්‍රතිඵලයක් ලෙස 1990දී පංචායන් පාලනය අවසන් වෙන්නේ ද උද්ඝෝෂණ ව්‍යාපාරයකිනි. ඉන්පසුව වැදගත්ම සිදුවීම නම් මාඕවාදී කැරුල්ලයි. ප්‍රචණ්ඩා හෙවත් පසුකාලීනව අගමැති පදවියට පත් පුෂ්ප කමල් දාල්ගේ නායකත්වයෙන් යුත් නේපාල කොමියුනිස්ට් පක්ෂය හෙවත් මාඕවාදී ව්‍යාපාරය 1996 -2006 දශකයෙහි නේපාල රජයට එරෙහිව ගෙන ගිය සන්නද්ධ මාඕවාදී සටන් ව්‍යාපාරය හේතුවෙන් රටේ දැඩි ආරක්ෂක අවදානමක් හා අස්ථාවරත්වයක් හටගත් අතර පැවති පාලනයට එල්ල කළේ දැඩි අභියෝගයකි. 

ඉන් ජීවිත 10,000කට අධික සංඛ්‍යාවක් විනාශ විය. ඒ අතර 2001 වසරේ ජුනි 1 වැනිදා රාත්‍රියේ එවකට සිටි රජු වූ බිරේන්ද්‍ර නරපති හා ඔහුගේ පවුල අබිරහස් ලෙස රජ මැදුර තුළදීම ඝාතනය කර දමා තිබීම නේපාලය පමණක් නොව අසල්වැසි රාජ්‍යයන් පවා කම්පාවට පත්කළ සිද්ධියකි. ඝාතන චෝදනාව එම සිද්ධියේදී මියගිය ඔටුන්න හිමි කුමරුට එල්ල කෙරුණද ඒ පිටුපස කුමන්ත්‍රණයක් පැවති බව අදටත් නේපාල වැසියන්ගේ විශ්වාසයයි. අනතුරුව බලය හිමිකරගත් ගයනේන්ද්‍ර රජු එවකට පැවති ආණ්ඩු සමග අභියෝගාත්මක චර්යාවක යෙදුණු අතර ගයනේන්ද්‍ර පාලනයට වැඩි ආයුෂ නොවීය. 

ඒ ජනතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් මගින් රජු පන්නා දමා 2006 වසරේ සිට නේපාලයේ රජ පෙළපත කිසිදු අතකින් පාලනයට සම්බන්ධ කර නොගන්නා ව්‍යවස්ථා ප්‍රතිපාදන සම්මත කොට රජුගේ බලය හා වරප්‍රසාද කප්පාදු කොට අවසානයේ 2008 වසරේ සිට නේපාලය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් ලෙස නීත්‍යනුකූල හා ව්‍යවස්ථාපිත ලෙස ස්ථාපනය කිරීමෙනි. මේ අනුව ජනතා ව්‍යාපාර හා උද්ඝෝෂණ මෙන්ම අරගල ශෛලියේ ව්‍යාපාර නේපාලයට අමුතු දේවල් නොවේ.

එසේ නම් මෙවර අරගලය ගැන වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වීමේ තත්ත්වයක් පවතින්නේ ඇයි. ඊට ප්‍රධාන හේතුව වත්මන් නේපාල අරගලයට ශ්‍රී ලංකා මුහුණුවර ආරෝපණය කර තිබීම නිසාවෙනි. එය ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ පැවති අරගලවල දිගුවක් ලෙස අර්ථදක්වනු ලබන බැවිනි.

අරගලයට පසුබිම 

නේපාල අරගලය එරට මුහුණ දුන් දේශපාලන අස්ථාවරභාවයේ හා ආර්ථික අර්බුදයේ දිගුවකි. දේශපාලකයන්ගේ අත්තනෝමතික බව, වංචාව හා දූෂණය,  ඥාති සංග්‍රහය, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ගැන ජනතා කලකිරීම ඉහළ යාම, අතිශයෝක්ති හා අතිධාවනකාරී සමාජ මාධ්‍ය කණ්ඩායම් යන සාධක අඩු වැඩි වශයෙන් නේපාල අර්බුදය පසුපස විය.

අර්බුදය ආරම්භ වෙන කාලය වන විට නේපාලය 2008 වසරේ සිට 2025 සැප්තැම්බර් දක්වා කාලයෙහි ආණ්ඩු 14ක් යටතේ තට්ටු මාරු ක්‍රමයට පාලනය විය. අස්ථාවර භාවය රජකළේය. අගමැතිවරු එති යති. ඉහත සඳහන් කළ කාලයෙහි 8 දෙනෙක් තට්ටු මාරු ක්‍රමයට අගමැතිකම දරා ඇත. සැප්තැම්බර් 9 වැනිදා තනතුරෙන් ඉවත්ව ගිය අගමැති කේ.පී. ෂර්මා ඔලි එම කාලයෙහි සිව් වතාවක් අගමැතිකම දරා ඇත. 

නේපාලය මුහුණ දී තිබූ අස්ථාවර බවෙහි ස්වභාවය එයයි. එමෙන්ම ආර්ථිකයද සැලකිය යුතු ලෙස අර්බුදයට ලක්ව තිබිණ. කොවිඩ් 19 වසංගතයෙන් පසු නේපාලයේ සංචාරක ආගමනය පෙර පැවති පරිදි යථාතත්ත්වයට පත්වූයේ නැත. ආර්ථික වර්ධන වේගය සියයට4 මට්ටමේ පවතී. ඉදිරි වසරක කාලය සඳහා එම අගය පුරෝකථනය කර ඇත. විරැකියාව සියයට12 ඉක්මවයි.

ප්‍රධාන ගැටලුව වන්නේ ආදායම් බෙදී යාමේ විෂමතාවයි. ඒ නිසා ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ නිසි පරිදි ජනතාවට නොලැබුණු බව අර්ථශාස්ත්‍රඥයන්ගේ පිළිගැනීමයි. ජනගහනයෙන් සියයට 25ක් දිළිඳුකමේ රේඛාවෙන් පහත පසුවෙයි. ඔවුන්ගේ දෛනික ආදායම අමෙරිකානු ඩොලර් 3 ක් පමණ වේ. සාක්ෂරතාව සියයට 70 කට මඳක් වැඩිය. 

එකම සහනය ආර්ථික දුෂ්කරතා නිසා නේපාල ජාතිකයන් විදෙස්ගත වී රැකියා කිරීම හා ඉන් ලැබෙන ප්‍රේෂණ ආර්ථිකයට දායක වීමයි.  මේ සියල්ල සැලකූ කල නේපාලය දේශපාලනික මෙන්ම ආර්ථික අභියෝගාත්මක තැනකද පසුවිය. ඊට දේශපාලනයේ දූෂණය හා වංචාව ඇතුළු දුර්ගුණ එක් වූ විට ජනතා කලකිරීම ඉතා ඉහළට ගමන් කිරීම වැළැක්විය නොහැකි තත්ත්වයකි. සැප්තැම්බර් 8 වැනිදා පුපුරා ගියේ එම විරෝධයයි. 

නෙපෝ කිඩ්ස් 

නේපාල සමාජ මාධ්‍ය අන් සෑම රටකම මෙන් වැඩිපුර තරුණ ජනගහනය හා බැඳී පවතී. දකුණු ආසියාව යනු තරුණ ජනගහනය සඳහා තෝතැන්නකි. නේපාලයේ ජනගහනයෙන් සියයට56ක් වයස අවුරුදු 30 ට වඩා අඩුය. මේ නිසා නේපාලය වඩාත් ක්‍රියාශීලී තරුණ බලයක් සහිත රටකි. මේ තරුණ ප්‍රජාව කුළුගැන්වීමේ රහස් යතුර පවතින්නේ සමාජ මාධ්‍ය සතුවයි. 

විරෝධයට මූලික හේතුවක් ලෙස සැලකෙන්නේ මෑතදී සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ නෙපෝ කිඩ්ස් නමැති වැඩසටහන් පෙළය. ඉන් කියැවෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් දුක් විඳිද්දී දේශපාලනඥයන්ගේ හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ දරුවන් මහජන මුදලින් සුඛවිහරණයේ යෙදෙන බවයි. ‘නෙපෝ කිඩ්ස්’ වීඩියෝවලින් දිනෙන් දින තරුණ අසහනය හා සමාජ වෛරය ඉහළ ගියේය. 

එම වැඩසටහන් කුමන අරමුණකින් නිෂ්පාදනය කෙරුණද එය අහිතකර  අන්දමකින් ඵල දරා තිබේ. නෙපෝ කිඩ්ස් බැලූ තරුණ කොටස් වෛරයෙන් පාරට ආහ. විරෝධය දැක්වූහ. ජෙන් ඉසෙඩ්ලා එය මෙහෙය වීය. අගමැති ඔලි ඇතුළු රජය උද්ඝෝෂකයන් සුළු කොට තකමින් අපහාස කළහ. පොලිසිය යොදා මර්දනය කිරීමට තැත් කළේය. ප්‍රතිඵලය පාලනය බිඳ වැටීමයි. එපමණක් නොව ඉතා බිහිසුණු ප්‍රචණ්ඩකාරිත්වයක් තරුණ රැල්ලට එක්විය. 

තමන් අපේක්ෂා නොකළ අන්දමේ කණ්ඩායම් අරගලයට එක්ව කොල්ලකෑම්, මහජන දේපළ ගිනිතැබීම්. බන්ධනාගාර කඩා අපරාධකරුවන් මුදා හැරීම් ආදී ක්‍රියාවල යෙදුණු බව ජෙන් ඉසෙඩ් කණ්ඩායම දැන් පිළි ගනී. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු උසාවි ලේඛනාගාර සමගම ගිනි තැබීම නිසා විවිධ දූෂකයන් හා අපරාධකරුවන් නඩු නැති නිදහස් මිනිසුන් බවට පත්ව ඇත. බන්ධනාගාරවලින් පැන ගිය අපරාධකරුවෝ නිදැල්ලේ සැරි සරති. 

ඒ අරගලයෙන් ජන ජීවිතයට ඇතිවූ තර්ජනයයි. සුද්ද යුද්ධ කරුවන් එළි බැසීම නිසා කත්මන්ඩු හා වෙනත් නගරවල කඩසාප්පු රැසක් හිස් වී තිබේ. මේ නිසා ව්‍යාපාරවලට ද අත්ව ඇත්තේ ඉතා නරක ඉරණමකි. මේ සියල්ල දෙස බැලූ කල අන්තර්වාර පාලනය හා ඉන් පසු නිසියාකාර රාජ්‍ය පාලනය භාරගන්නා පාර්ශ්වයට ඉතා දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවෙනු නොඅනුමානය.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ