සිංහල - ⁣දමිළ පාලම හැදු කුණ්ඩුමනී


 

 

 

සුකීර්තිමත් ගේය කාව්‍ය සිත්තරු ප්‍රේමකීර්ති ද අල්විසුන් රචනා කළ මෙි මහඟු ගී මිණ  වික්ටර් රත්නායකයෝ  සංගීතයෙන් ඔපමට්ටම් කළෝය. ප්‍රකට ප්‍රහසන නළු ෆ්‍රෙඩී සිල්වා කර්ණරසායන හඬින්  ගැයුවෙිය. විප්‍රලමිබ ශෘංගාරය දනවන මෙි ගී මිණ බිඳී ගිය ආදර අන්දරයක තතු හෙළි කරයි.

තිස් වසරක යුද ගිනි නිවී සිංහල - දමිළ ජාතීන් අතර සංහිඳියාව සෙමෙන් මෝරමින් පවතී. එහෙත් දකුණේ ජාතිවාදී අවස්ථාවාදී දේශපාලනඥයෝ නැවතත් ජාතීන් අතර භේද බින්න ඇති කිරීමට කුරුමානම් අල්ලති. මෙි තිරශ්චීන යුද්ධයෙන් උතුරේ මෙන්ම දකුණේ ද විශාල ජන- දේපළ සංහාරයක් සිදුවිය. මෙකී සංහාරය නිසා ඒවාට ⁣ගොදුරු වූ දමිළ ජනයා තුළ ද  ඒවාට විරුද්ධ වූ හා ඒවා අනුමත නොකළ සිංහල සුළවතුන් තුළ ද බොහෝ ශෝකසන්තාප දුක්දොම්නස් ජනිත විය. එහෙත් මෙි අවිචාර අඳුරු භීම සමය පිළිබඳ  අප හදවතට ගෝචරවී තිබෙන්නේ කෙතරම් අංශුමාත්‍රයක්ද?

මහජාතියක් ලෙස සිංහලකම ඔසවා තබමින් පෙරමුණ ගත්ත ද සැමවිටම අන්ජාති ආගම්වලට ගරු කළ ජාතියක් ලෙස විශ්වයේම විරාජමානව වැජඹුණෝ සිංහලයෝය. උතුරේ දමිළයා ද දකුණේ සිංහලයා ද මුහුණට මුහුණ නොබලන්නට තරම් විරසකයක් ඇතිකළෝ ජාතිවාදියෝය. තම පටු දේශපාලන පරමාර්ථ මුදුන්පත් කරගැනීමේ අභිලාෂයෙන් හෙළය හෙළන්නෝ ද සිංහල ජාතිවාදී අමනෝඥ දේශපාලනඥයෝය. ජාතීන් අතර අසමගිය  පතුරා ඔවුහු යෙහෙන් වැජඹෙති. කුරිරු යුද සමයට පෙර දකුණේ ද සිංහල - දමිළ මිනිසුන් එක බත්පතකා එක ගමක දිවි ⁣ගෙවූ අපූරුව ලාංකිකයෝ දනිති. තතු මෙසේ වන කල්හි උතුර- දකුණ යාකෙරෙන පාලම තැනීමට කලාකරුවෝ අනවරත⁣යෙන්ම උත්සාහ කළහ.

නවකතාව, කෙටිකතාව, සිනමාව, නාට්‍ය, කවිය, ගීතය මෙි අතරින් වෙසෙස් කොට ගිනිය හැකිය. විශේෂයෙන්ම ලාංකේය සුභාවිත ගීත සාහිත්‍යය කෙත අස්වැද්දු ආදර ගීත ගොන්නක් ද  ඇත. වර්ගවාදය අතික්‍රමණය කරමින් නැගී සිටින මෙි සාහිත්‍යකලාංග අතර විශිෂ්ට ප්‍රේම ගීතාවලියක් සහෘද රසික හදවතේ ගැඹුරුම තැනක නිදන්ව පවතී. නිදසුන් හැටියට සුභාවිත ගීත පෙළක්ම පෙන්වාදිය හැකිය. මෙහිදී සිංහල - දමිළ පාලම යාකිරීමට මහත් දායකත්වයක් දී ඇති ගායකයා වනුයේ කරුණාරත්න දිවුල්ගනේය. ඔහු ගැයූ ගීත අතර මරතොණ්ඩිය රටා ඇඳී, උතුරෙන් එන දුම්රියේ, ශාන්තිනී තෙමා වැටෙි, විරාජිනී රජවෙන්නට, තලයුම් තලයුම් ආදී ගීත අතිශය ජනප්‍රිය විය.මීට අමතරව වික්ටර් රත්නායක - නෙරංජලා සරෝජනී ගයන මීන නුවන් යුගින් බලන් මීනා, අබෙිවර්ධන බාලසූරිය - නෙරංජලා සරෝජනී ගයන ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි, ගුණදාස කපුගේ ගයන සිංහල සින්දු කියන, උතුරු කොනේ නුඹ හිනැහෙන්, සමන් ජයනාත් ජිනදාසගේ තුමුල නමුණුකුල ගිරිහිස වැනි ගීත ගොන්නක් ද ඇත.⁣

මෙි ගීතය ලියැවුණු කාලයේ උතුරේ භීම සමයක් නොතිබිණි.සිංහල - දමිළ ජනතාව එකාමෙන් ජීවත්වූහ. ජාතිගෝත්‍රාදී භේද ඉක්මවා මානවබන්ධුත්වය බල පවත්වන සමාජයක් දක්නට ලැබිණි. එහෙත් අප වසා මෙි ජරාජීර්ණ ධනේශ්වර සමාජයේ සිදුවන බොහෝ පෙම්බැඳුම් විවාහ බැඳුම්න් අවසන් නොවෙි. පෙම්බැඳුමක් විවාහ බැඳුමක් බවට පෙරළන්නට තැත් කරත්ම ආර්ථික - සමාජික දෘෂ්ටිවාදාත්මක ආදී සතුරෝ එනම් ජාතිගෝත්‍ර, කුලමල, කන්‍යාභාවය, ස්ත්‍රි ගර්හාව යනාදී පිළිමලුවෝ එය ආක්‍රමණය කොට කුඩුපට්ටම්කර දමති. මෙි හේතු කොට ගෙන බොහෝ පෙම්බැඳුම් බිඳී යයි. ඇතැම් පෙම්බැඳුම් විවාහයෙන් කෙළවර වූවද යටකී සතුරන්ට ගොදුරු වෙයි. මෙනයින් බලන කල අප වසන සමාජයේ තථ්‍යප්‍රේමය නැතැයි නිගමනය කිරීම සාවද්‍ය නොවෙි. මෙි ගීතයේ කථකයා මෙි කතා කරන්නේ එලෙස බිඳී ගිය ප්‍රේමයක් ගැන නොවෙිද ?

මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙි කඩන් හඳට හඬන්
සින්දු කියන්නී
කුණ්ඩුමනී 

මෙි කථකයා  කුණ්ඩුමනී නමැති කුලීන පවුලක තරුණියක සමඟ කලක් ප්‍රේමයෙන් වෙලී සිටියේය. සිංහල අහිංසක ගැමි තරුණයකු වූ ඔහු ඇයට අසීමිතව ආදරය කළේය. එහෙත් ජාතිගෝත්‍ර, කුලමල,  ආර්ථපති ආදී හතුරෝ ඔවුනගේ සැලමුතු ප්‍රේම විජිතයම සුනුවිසිනු කළහ. එහෙත් අද ඔහු පණමෙන් ආදරය කළ යුවතියගේ විවාහ මංගල්‍යයට පැමිණ සිටියි.ප්‍රේමය වූකලි ආත්මාර්ථය නොව පරාර්ථයයි. පරිත්‍යාගශීලිත්වයයි. අද තරුණයන් මෙන්  අහිමි පෙමට මරාගෙන මැරෙන්න තරම් වෛරී හැසිරීමක් ඔහුගෙන් දිස් නොවෙි. ඔහු පෙම්වතියගේ විවාහ මංගල්‍ය දවසේ බාල්දි පෙරැළීමට නොයයි. ජීවිතයේ කටුක යථාර්ථය මැනවින් හඳුනාගෙන  අකම්පිතව හැසිරෙයි. මෙි කථකයාට නිතර සිහිවනුයේ කුණ්ඩුමනී සමඟ පෙමින් වෙලී සිටි එරන් කාලයයි. ඔහු ඒ මතක පටු මං තලාවෙි සෞන්දර්ය චාරිකාවක නිරත වෙයි.

පිටිවැල්ල යනු මන්නාරම් පෙදෙසෙහි පිහිටි සිහින් කහ පැහැති වැල්ලකි. පොහොසත් හින්දු ගෙවල්වල බොහෝවිට ඔංචිල්ලාවක්  බඳිනු දක්නට ලැබෙි. කුණ්ඩුමනීගේ ඔංචිල්ලාව මදටිය වැලෙන් තැනූවකි. ඇය රාත්‍රි කාලයේ සඳ ඇති දවසට සිය දිගු වරලස සුළඟේ මුදාහරිමින් සඳ දෙස බලා සිටින බව නොවෙිද මෙි කියන්නේ? ඇය ගීතයක් මුමුණමින් සඳට පෙම් කරන්නීය. ප්‍රේමකීර්ති ද අල්විසුන් මෙි පැදි පෙළ කෙතරම් රමණීය අයුරින්  කාව්‍යෝක්තියට නගා ඇත්ද? මෙි ගීතය පුරාවට ප්‍රේමකීර්ති ද අල්විස් සූරීහූ  අලංකාර වචන ගොන්නක්ම භාවිත කරති. රූපකාර්ථවත් බසක්  යොදා ගනිති.චිත්‍රරූප සමූහයක් මවති.


නැහැයෙ කරාබුව දෙකනේ
කඩුක්කං දමා සියොළඟ
මොට්ටැක්කිලියෙන් හැඩකොට
වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේළා
තල් පත් මත ගිනි  අව්වේ ලා
කුණ්ඩුමනී 

"ස්ත්‍රි රූපය පුරුෂයාගේ සිත ග්‍රහණයට ගනී. මහනෙණි, මෙතරමි බලවත් වූ එකදු ධර්මතාවක් මට නොපෙනේ"ගෞතම බුදුන් වහන්සේ වරක් සිය බුදු පුතුන් අමතා එසේ කීහ. බුදුන් කළ ද ක්‍රිස්තුන් කළ ද මහමතුන් කළ ද මෙි ප්‍රකාශය පරමසත්‍යයකි. පුරාණයේ සිටම ස්ත්‍රි  රූප සෞන්දර්ය කලාවට විෂය වී පවතින්නේ මෙි හේතු කොටගෙනය. මෙි කථකයා ද සිය පෙමිවතියගේ රූප සොබාවට ලොබ බැන්දේය. ඔහු ඉන් කුල්මත්වී සිටියේය. කථකයාට සිහිවනුයේ පෙරකල තමා සමඟ කුණ්ඩුමනී කෙළිදෙලෙන් ගත කළ ඒ සුමිහිරි අතීතයයි. නාසයට දෙකන්පෙත්තට කරාබු කඩුක්කං පැළඳ මොට්ටැක්කිලියෙන් භාගෙට මුහුණ වසාගෙන කුණ්ඩුමනී ආගිය ගමන්   ඔහුට තවමත් මැවී පෙනෙයි. ඇය නාරි ලාලිත්‍යයෙන් විභූෂිත තරුණියක වූවද ගෙදරදොරේ සියලු වැඩ කරන්නීය. විටෙක උළුඳු කොටයි. තවත් මොහොතක අව්වෙි ගෙනවිත් තල වෙිළයි.මෙි සියල්ල පෙරකල ඔහු ඇසින් දුටුවෙිය.


සෙම්බු තාලි උකුලේ හොවා
ආඬි ළිඳෙන් දිය ඇදලා
ලූනු  පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්
පොල් ගහලා නළලේ අළු ගා
කුණ්ඩුමනී


ආඬි ළිඳෙන් වතුර ඇදීම උතුරේ දමිළ ජනයාට නුහුරු නුපුරුදු දෙයක් නොවෙි. ආඬි ළිඳ වනාහි මහත් ගැඹුරු ළිං වර්ගයකි. කාෂ්ටක පොළොවකට උරුමකම් කියන උතුරේ ජනතාවට  ජල පෝෂක ප්‍රමාණවත් තරමින් නොලැබෙි. මෙනයින් ඔවුහු ලීවරයක ආධාරයෙන් වතුර ගත හැකි ආඬි ළිං නමින් ගැඹුරු ළිඳක් හාරා ගනිති.ඒ දිය උල්පත්වලින් එන වතුර පවා උණුසුම්ය. කුණ්ඩුමනී මෙි ආඬි ළිඳෙන් වතුර අදින්නීය. සෙම්බු තාලියක් ⁣උකුලේ හොවාගෙන ලැසි ගමනින් එන ඇය ආඬි ළිඳෙන් වතුර ඇද ලුූනු පාත්තියට දමන්නීය. මොහොතකට පසු ඇය ඉන්  විඩාවට පත්වන්නීය. හවසට කෝවිලට ගොස් පොල් ගසා පුද පූජා පවත්වා  සිත කය වෙහෙස දුරුකර ගන්නීය.

ගොම ඉහලා හැදූ ගෙබිම
පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක්
දොරකඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද
මුළු ගමටම හඬවා දීලා
කුණ්ඩුමනී

අද දවස කුණ්ඩුමනී⁣ගේය. ඇයගේ විවාහ මංගල්‍යය අදය. ඇගේ ගෙබිම ගොම ඉස පිරියම් කොට පිච්චමලින් සරසා ඇත. කෙසෙල් ගස් දෙකක් කැන් පිටින්ම දොරකඩ සිටුවා තිබෙි. කුම්බු සුසර තාල, බෙරහඬ ගම පුරා දෝංකාර නංවයි. තම පැරැණි පෙම්වතියගේ මඟුල් ගෙදරට පැමිණ සිටින මෙි දුප්පත් අහිංසක ගැමි තරුණයා සියල්ල  උපේක්ෂාවෙන්  විඳ දරා සිටියි.

මෙි ගීතය පිළිබඳ තීක්ෂණ විචාරක්ෂිය දල්වන්නකුට හින්දු - දමිළ සංස්කෘතිය මගහැර යා නොහැකිය. සිංහල සංස්කෘතිය බෞද්ධ ආගමික හරය පදනම් කොටගෙන නිර්මාණය වූවකි. එමෙන්ම දමිළ සංස්කෘතිය ද හින්දු ආගමික දර්ශනයට අනුව හැඩගැසී ඇත. මෙහි ප්‍රභවය සිදුවන්නේ දකුණු ඉන්දියාව මුල්කර ගෙනය. යාපනය, නැගෙනහිර, වව්නියාව, මඩකළපුව සහ මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්කවල ජීවත්වන දමිළ ජාතිකයෝ සියයට පනහකට වැඩිය  හින්දු භක්තිකයෝය. ඔවුන්ගේ විවාහ සංස්කෘතිය ද හින්දු ආගමට අනුව හැඩගැසී ඇත. හින්දු ආගමෙි ප්‍රධාන ඇදහිලි වන්නෙ ශිව- විෂ්ණු සහ ශක්ති ත්‍රිත්වයයි. මෙි අතරින් ශිව වන්දනාවට ඔවුහු ප්‍රමුඛත්වය දෙති. රචකයා  හින්දු සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයකින් මෙි ගීතය රචනාකර ඇත. මෙහි  කෙසෙල් ගස් සිටුවීමක් ගැනද කියැවෙයි. කහ වර්ණය සෞභාග්‍යයේ සුබ වර්ණය බවට හින්දු භක්තිකයෝ විශ්වාස කරති. විවාහ මංගල්‍යයකදී පූර්ණ කෙසෙල් ගස් දෙකක් සිටුවීමෙන් සෞභාග්‍යයත් විවාහයෙන් පසු දරුවන් ලැබ පවුලක් වශයෙන් නිදුකින් සිටීමටත් ඔවුහු අපේක්ෂා කරති. මෙනයින් විවාහ මංගල්‍යයක් සිදුකරන නිවෙස්වල ඉදිරිපස කැන් සහිත කෙසෙල් ගස් දෙකක් සිටුවීමෙන් එම නිවසේ විවාහ මංගල්‍යයක් සිදුවන බවට කිසියම් ඉඟියක්ද සපයයි.

සණ්ඩු කරලා බැණුම් අහලා
හැංගි හැංගි බැන්ද ප්‍රේමෙි
මහරාජා ආ කල ගෙට
තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමනී යන පෙරහර
බලා හිඳිමි කීකරු වීලා
කුණ්ඩුමනී

මෙි කථකයා සියල්ල අකම්පිතව දරා සිටියි. එහෙත්  ගෙවල්වලින්  බැණුම් අහමින් හැංගි හොරා බැන්ද ප්‍රේමය අදින් පසු අවසන් වන බව ඔහු දනී. දැන් කුණ්ඩුමනී අන්සතු වස්තුවකි. අදින් පසු ඇය  සස්වාමික වන්නීය. කුණ්ඩුමනීගේ මනාලයා පොහොසතෙකි. ඔහු මහරාජා මෙන් තිරික්කලෙන් බසියි. දැන් කුණ්ඩුමනී රැගත් මංගල රිය පෙරහර පිටත්වීමට සූදානම්ය. දුප්පත්  වූවත් හදවතින් පොහොසත් මෙි තරුණයාට කුණ්ඩුමනී යන මංගල පෙරහර දෙස කීකරුවී බලා සිටිනවා හැර කළ හැකි වෙන යමක් තිබෙිද? අතීතය සිහිනෙන්ගෑ සුවඳක් මෙනි. මෙි කථකයාගේ සිතිවිලි දිවෙන්නේ ඒ රසමුසු තැන් හඹාගෙනය. එහෙත් ඒ සිහින විජිතය දැන් බිඳි අවසන්ය. ඇය ඔහු තනිකර මහරාජා කෙනකු  සමඟ  දීගෙක ගියාය. අප වසන මෙි කුරිරු සමාජයේ සියලු  පෙම්බැඳුම් විවාහයෙන් කෙළවරවෙිද? මෙි ජුගුප්සිත නරාව⁣ළෙහි කවරනම් ප්‍රේමපුෂ්ප විකසිත වීමක්ද?

 


විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ