කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
හොරාට කලින් ගෙහිමියාට ගණදෙවි නුවණ පහළවී නිවෙසේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් ආභරණ බේරාගෙන බිරිය හමුවේ වීරයකු වූ සැමියකු පිළිබඳ පුවතක් බටපොළෙන් අසන්නට ලැබේ.
ඔවුහු යමක් කමක් ඇත්තෝය. රථ වාහන හිමිකරුවකු වූ සැමියා පාසල් ළමයින් ප්‍රවාහන සේවාවක්ද පවත්වාගෙන යන්නේය. බිරිය පුස්තකාලයාධිපතිනියකි. දරුවෝ පාසල් යති.
එදා ඉරිදාවකි. බිරිය අතිකාල සේවයට ගියාය. දරුවෝ දහම් පාසල් ගියෝය. නිවෙසින් අන්තිමට ගියේ සැමියාය. ඒ මිතුරකු සමග අවශ්‍යතාවකට කොළඹ යාමටය.
බිරිය නිවෙසට පැමිණි පසු නිවෙසේ පිටුපස දොර කඩා තිබෙනු දක්නට ලැබිණි. එය දුටු ඇගේ ඇඟ සීතල විය. ඒ සැණින්ම ඇය දිව්වේ නිවෙසේ අල්මාරිය ළඟටය. අල්මාරියේද දොරවල් කඩා එහි තිබූ සියලු දෑ බිම දමා තිබුණි.
තමා පණමෙන් රැකි රන් භාණ්ඩ තොගය ගබඩා කර තිබූ ලාච්චුව ද බිමය. එය දුටු ඇයගේ දෑස් නිලංකාරවී ගියේය. ඇඟට පණ නැතිවූවාක් මෙනි.
“අනේ ඒයි.... හොරු ගෙට පැනලා මගේ රත්‍රන් බඩු ඔක්කෝම අරන් ගිහිල්ලා...” ඇය කොළඹ සිටින සිය සැමියාට දුරකතන ඇමතුමක් දී කීවේ කඳුළු සලමිනි.
“ආ එහෙමද...? ඔයා බයවෙන්න එපා අපේ රත්රන් බඩු ටික තියෙනවා... ඔයා කිසිදේකට බය වෙන්න එපා” පිළිතුරු ලෙසින් සැමියා කීවේය.
“අනේ බොරු කියන්න එපා... ඔයා ඕවා කියන්නේ... මගේ හිත හදන්නනේ කියන්නේ. කොහොමද අල්මාරියේ තිබුණු බඩු ටික තියෙනවා කියලා කියන්නේ හොරු අල්මාරියත් කඩලා... බඩු ටික තිබූ ලාච්චුවත් බිමදාලා” ඇය මහ හයියෙන් අඬමින් කීවාය.
“ඔයා එහෙනම් අපේ නැන්දලාගේ දිහාට ගිහිල්ලා අපේ බඩු ටික ඉල්ල ගන්නකෝ මම තියපු ඒවා කියලා... යැයි ඔහු කීවේය.
ඒ සැණින් ක්‍රියාත්මක වූ ඇය ඔහු කී පරිදි කටයුතු කළාය. බඩු ටික කිවූ පරිදි නැන්දාලාගේ නිවෙසේ තිබුණේය. ඇය නැවතත් සැමියා ඇමතුවේ සිදු වූදේ සහසුද්දෙන් දැන ගැනීමටය.
“මම කොළඹ යන්න යහළුවාගේ ගෙදරටත් ගිහිල්ලා මට හිතුණා. රන් බඩු තියලා යන්න හොඳ නැහැ කියලා. ඒ නිසා මම ආයෙත් ගෙදරට ඇවිල්ලා ඒ බඩු ටික නැන්දලාගේ ගෙදර තියලයි කොළඹ ගියේ. මම කවදාවත්ම එහෙම කරලා නැහැ. අද මට එහෙම හිතුණායැයි කීවේ හොරාටත් කලින් මට ගණදෙවි නුවණ පහළ වුණා”
ඔහු බිරිඳට කීවේ ඔහු ඇයගේ වීරයා වෙමින්ලු.