(පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි)
තම තේ ඉඩමේ දළු කැඩීමට පැමිණෙන කාන්තාවන්ගෙන් කොරෝනා රෝගය බෝවේයැයි සැක කළ ඉඩම් හිමියාගේ බිරිය ඔවුන් සමඟ දළු කැඩීම ප්‍රතික්ෂේප කළ බැවින් සැමියා දළු කැඩීමට තීරණය කිරීමත් සමඟ බිරිය කංකානම්වරිය වශයෙන් කටයුතු කිරීමට පටන් ගත් පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
අක්කර දෙකක පමණ වපසරියකින් යුත් තම තේ ඉඩමේ දළු කැඩීම තමන්ට තනිවම කළ නොහැකි නිසා ඈ ඒ සඳහා අසල්වැසි කාන්තාවන් දෙදෙනකුද සහභාගි කර ගෙන ඇත.
පසුගිය දිනවල පැවති තේ වගාවට හිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ දළු අස්වැන්න වැඩි විය. එම නිසා දළු කඩා ගැනීමට තවත් එක් අයෙකු සොයා ගනිමුයැයි සැමියා කළ යෝජනාවට බිරිය ද එකඟ වූවාය. විවිධ රැකියා සඳහා ගම්බද තරුණියන් නගරය කරා සංක්‍රමණය වීම පසුගිය කාලයේ සිදුවුවද කොරෝනා රෝගය නිසා රැකියා අහිමි වූ තරුණියන් කීපදෙනෙකුම නැවත ගමට පැමිණ සිටි බැවින් සැමියා ගමේ සැරිසරා එවැනි තරුණියන් දෙදෙනෙකුම දළු කැඩීමට සොයා ගත්තේය.
පසු දින දළු කැඩීමට එම තරුණියන් දෙදෙනා පැමිණ සිටිනු දැකීමෙන් කලබලයට පත් බිරිය රහසිගතව සැමියාට විවිධ ආඩපාලි කියමින් ඔවුන් සමඟ වැඩ කිරීමට තමාගේ ඇති අකමැත්ත ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් පිට අය පමණක් වැඩට යැවීමෙන් හරියාකාරව එම වැඩය නොකෙරෙන බැවින් දළු කැඩීමට යාමට තීරණය කළ සැමියා “අනේ ඒ ළමයින්ට ඇති කොරෝනාවක් නෑ, උන් ගමට ඇවිල්ලත් දැන් මාස දෙකක් විතර වෙනවා. ඔහේට බැරි නම් මං යනෝ දළු ටික කඩන්න ඒ ළමයිත් එක්ක” කියා ඉඩමට ගියේය.
නිවසේ නතර වූ බිරිය උදේ තේද රැගෙන ඉඩමට ගියාය. සැමියා තරුණියන් සමඟ කරට කර සිටිමින් කතාබහ කරමින් වැඩෙහි යෙදී සිටිනු දැකීමෙන් ඇයගේ සිත ගත දෙකම සලිතවී ගියාය. කෙසේවෙතත් ඒ බවක් පිටට නොපෙන්නූ ඇය ඉඩමේ වල් පැළ ගලවමින්ද වරෙක දර එකතු කරමින්ද ඉර හැරෙන තුරු ඉඩමේ ගත කරන්නට වුවාය.
දිවා කෑම වේලාවද පසුවෙමින් යද්දී ඇය අසලට පැමිණි සැමියා “මේ අපට කංකානමල ඕන නෑ, ගිහින් මොනව හරි රත්කරගෙන ආව නම් හොඳයි” යනුවෙන් කී පසු සැමියාගේ අණට කීකරු වුවද පසුදින සිට ඈ අර තරුණියන් සමඟ දළු කැඩීමට යාමට තීරණය කළාලු.