විවාහ වී වසර 12යි බිරියගේ නම, ලිපිනය දන්නේ නැතිලු


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විවාහ වී වසර දොළහක් ගතවී ඇතත් සිය බිරියගේ නම හා ඇගේ මහ ගෙදර ලිපිනය නොදන්නා සැමියෙකු පසුගියදා මීරිගම ප්‍රදේශයේදී හමුවිය.


මීරිගමට නුදුරු පදිංචිකරුවෙකි. සැතපුම් පහළොවක දුරින් පිහිටි ගමක තරුණියක හා විවාහවූයේ වසර දොළහකට පෙරදීය. බිරිය සමග තම නිවසේ ගත කළ මෙම සැමියා එක් දරු පියෙකු විය. දරුවා පාසල් යන වයස සම්පූර්ණ වනතුරු මේ යුවළ සැමියාගේ නිවසේ කල්ගත කළහ.


දරුවා ගමේ පාසලට ඇතුළත් කර ගැනීමට නොහැකිවූයෙන් බිරියගේ මහ ගෙදර අසල පාසලකට ඇතුළත් කර ඇත. එදා සිට මේ සැමියා සති අන්තය බිරියගේ නිවසේ ගත කරමින් සතියේ දිනවල තම නිවසේ කල්ගත කරනු ලැබුවේ රක්ෂාව කරගෙන යා යුතු නිසාය. 


බිරියටත් දරුවාටත් ඔහු දැක්වූයේ මහත් ආදරයකි. සිකුරාදා මළහිරු බැස යද්දී බිරියත්, දරුවාත් බලන්නට යන මේ සැමියා සඳුදා උදේම යළි සේවය සඳහා තම ගමට ඒම සිරිතක් කරගෙන තිබිණි. මෙවර කොරෝනා උවදුර ඇතිවීමත් සමග පුතා පස්වැන්නේ ශිෂ්‍යත්වයට පෙනී සිටින නිසා බිරිය මහ ගෙදරම නතරවුණේ පාඩම් වැඩ අතපසුවන බැවිනි. පැනවුණු ඇඳිරිනීතිය නිසා මේ පියාට තම එකම පුතා ශිෂ්‍යත්වයට පෙනී සිටින දවසේ බලන්නට යාමේ වරමද අවහිර විය.


ඇඳිරිය සති දෙක තුන වෙද්දී බිරිය පැවසුවේ ආහාර මිලදී ගන්නටවත් තමන් අත මුදලක් නැති බවයි. සැමියාට කරන්නට දෙයක් නැත. ඇඳිරිය නිසා බිරිය හා දරුවා බලන්නට යාමටත් බැරිය. ඔහු හිතවතකු හමුවීය. ඔයාට ඇඳිරිනීතිය තිබුණත් යන්න එන්න පුළුවන්නේ, අපේ නෝනාට සල්ලි ටිකක් යවා ගන්න විදියක් නැද්ද’’ ඔහු විමසීය.


හිතවතා ඊට එකඟවූයේ මේ අවස්ථාවේ කළ හැකි ලොකු උදව්වක් නිසාය. හිතවතා ලිපිනය ඉල්ලා සිටියේය. අනේ මම ඇඩ්රස් එකනම් දන්නේ නැහැ. කියූ ඔහු බිරියගේ නිවසට යන මාර්ගයෙ දල සටහනක් ඇඳ දුන්නේය. කාගේ ගෙදර කියලා අහන්නද තවත් පැනයකි.

අනේ එයාගේ නියම නම මට මතක නැහැ. 250 ගෙදර කියලා ඇහුවාම කවුරුත් කියයි. ඔහු පැවසුවේ යටහත් පහත්වය. 


අනතුරුව ඔහු දුන් මුදල අතට ගත් හිතවතා මග සලකුණු ඔස්සේ ගමන් කොට බිරිය අතට මුදල දී ආයේ පිංකමක් කර ගත්තා යන අදහස ඇතිවය.