ලාබෙට කන්න ගිහින් හොඳටම නාලා


(හසලක වාර්තාකරු)
පනස්තුන් හැවිරිදි වියේ පසුවන ඔහු හසලක පොලිස් වසමේ ගම්මානයක පදිංචිකරුවෙකි. මෙදින ගමේ කණ්ඩායමක් සමඟ කතරගම වන්දනාවේ ගොස් පසුදින ගම බලාඑන අතරේ සවස 6ට පමණ බිබිල නගරයේ ඔවුන් ගිය වෑන් රථය නතර කළේ නඩයේ පිරිසට තේ එකක් පානය කිරීමේ අවශ්‍යතාවක් තිබූ නිසාය. නඩයේ පිරිස නගරයේ තිබූ තේ වෙළෙඳසල්වලට ගොස් තේ පානය කළ අතර මොහුද එක් තේ කඩයකට ගොඩ වී කඩේ සිටි අයකුට කතාකර තමන්ට අවශ්‍ය දෑ ඇනවුම් කළේය.


වේටර්ට රුපියල් 50ක් විතර ටිප් එකක් දුන්නම බඩ කට පුරා කන්න පුළුවන් යැයි සිතූ ඔහු නැවතත් වේටර්ට කතා කර කීවේ “මල්ලි මම ඔයාට ටිප් එකක් දෙන්නම්. මට හොඳට කන්න ගේන්න.” කියාය. 


වේටර් අයියාද කඩේ තිබූ හොඳ හොඳ කෑම වර්ග කීපයක් පිඟානක තබාගෙනවිත් මේසය මත තැබුවේය. ඔහුද ඒවා බඩපුරා කෑවේය. කිරි තේ එකක්ද පානය කළේය. ඉහ මොළ රත් වුණේ වේටර් ගෙනවිත් තිබූ බිලේ සඳහන් මුදල දුටු විටය. 


“ඈ මල්ලි මම කිව්වනේ ඔයාට ටිප් එකක් දෙන්නම් කියලා. ඇයි මේ තරම් මුදලක් බිලේ දැම්මේ” කියා විමසූවිට වේටර් කීවේ “මහත්තයෝ මේක මගේ කඩේ. ටිප් අරන් කන්න දෙන කඩයක් නෙවෙයි මේක. ඒ නිසා නම්බුකාර අන්දමට කාපු එව්වාගේ සල්ලි ගෙවා දැම්මානම් හොඳයි. නැතිනම් ඉතිං වෙනදේ දන්නවා නේ.” කියා පවසා ඇත.


වැඩේ වැරදුණ බව දැනගත් ඔහු “අනේ මුදලාලි මට සමාවෙන්න. මගේ අතේ මේ තරම් මුදලක් නෑ. අපි මේ කතරගම ගිහින් එන ගමන්. මෙන්න මගේ අතේ තියෙන මුදල. ඉතිරි මුදලට හරියන්ට මේ මගේ ඔරලෝසුව තියාගන්න” කියා අතේ බැඳගෙන සිටි ඔරලෝසුව ගලවා මුදලාලි අතට දී නැවතත් සිදුවූ සිද්ධියට සමාව ගෙන තේ කඩයෙන් පිටවෙන්නට සූදානම් වූයේ නඩයේ අනෙක් පිරිස මෙය දැන ගත්තොත් වන ලජ්ජාව දන්නා හෙයිනි. 


එහෙත් ඔහුට හොරා අසල මේසයක වාඩිවී තේ පානය කරමින් සිටි එම නඩේම තරුණයන් කීපදෙනකු මෙම සිදුවීම දැක වහා එම ස්ථානයට පැමිණ තම හිතවතාගේ බිල ගෙවා දමා ඔහුගේ ඔරලෝසුවත් බේරාගෙන ඔහුත් රැගෙන වාහනයට පැමිණියේය.


ඔහු ගමට ආවත් පසු දින සිට කීප දවසක් යනතුරු ගමේ කඩේ පැත්තටනම් නොගියේ බිලේ කතාව ඒ වෙනවිටත් ගම පුරා පැතිරී තිබූ නිසාත් කොල්ලෝ කුරුට්ටන් ඔහුට විහිළු කරන්නට පටන්ගෙන තිබූ නිසාත්ය.