කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
භාර්යාවගේ වැඩි කට අඩු කිරීමට ගොස් තමන්ගේ කටේ දතක් අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
විවාහ වූ දා පටන්ම එන්න එන්නම ඇගේ කට ගසා ගෙන එ්ම වැඩි වූවා මිස අඩු වූවක් නොවිණි. එකට එක දෙඩීම ද ඊට සමගාමීව වර්ධනය වී තිබිණ. මුලින් මුලින් නිවෙසේදී පමණක් සිදු වූ මේ ක්‍රියාදාම දෙක පසුව දෙපාර්ශ්වයේම ඥාතීන් සහ හිතවතුන් ඉදිරියේදී ද ඇයගෙන් ප්‍රදර්ශනය විය.
තමන්ගේ නම්බුව එහෙම පිටින්ම කාබාසිනියා වන ඇයගේ මේ පිළිවෙත පිළිබඳව සැමියා සිටියේ දැඩි කලකිරීමකිනි, කෝපයකිනි. ඇයගේ මේ ගතිය මගහරවා ගැනීමට ඔහු නොකළ දෙයක් නැති තරම්ය. ඔහු ඒ සම්බන්ධයෙන් ඇයට හොඳින් නරකින් කීවේය. කන්න කැමැති කෑම බීම පවා ගෙනත් දුන්නේය. කැමැති ඇඳුම් පැලඳුම් ගෙනත් දුන් වාර ද අනන්තය. එහෙත් කටෙහි කිසිදු අඩුවක් නම් නොවීය.
ඔහු සිය කාර්යාලයේ මිතුරන්ගෙන් ඊට උපදෙසක් පැතුවේ වෙනත් විකල්පයක් පේන මානයකවත් නොතිබූ නිසාවෙනි. ‘අයියෝ මචං ඕක සුළු දෙයක්නේ’ කියමින් මිතුරු තුමෝලා ඔහුට අපූරු උපදේශයක් දුන්නෝය.
‘අපේ නෝනලා ළඟත් මුලදී ඔය ගතිය තිබුණා. එයා ටිකක් කට ගහගෙන එකට එක කියාගෙන එනකොට කටට දෙකක් දුන්නා. දවස් දෙකක් තුනක් එහෙම කරනකොට එයාලාගේ ඒ ගතිය නතර වුණා. ඕවා මල්ලි මුලින්ම හදාගන්න තිබුණු දේවල්නේ’ යයි මිතුරෝ එකම හඬින් ඔහුට කීහ.
‘දැනුත් ඒ සඳහා ප්‍රමාද නැහැ’ යයි ඔවුන් එකිනෙකාට ඇස් ගසා ඔහුට කීවේ. තමන්ගේ ඇඹරූ ගැටය කෑවොත් කෑ දෙන් සිතා ගෙනය.
එදා ඇය වෙනදාට වඩා සද්දෙන් ඔහුත් සමග කට ගසා ගෙන එකට එක දොඩවමින් ආවාය. මිතුරන්ගේ අවවාදය එකෙනෙහිම ඔහුගේ චිත්ත සන්තානයට පැමිණීමත් සමගම කොහොමත් සිතට පැමිණි කෝපයත් එක්ක ඔහු ඇයගේ කටට එකක් ගැසීමට යැයි සිතා ඉස්සූ අත ඉලක්කය වැරැදී ඇයගේ කනට වැදුණේය. කිසිසේත්ම අපේක්ෂා නොකළ පහරකින් අන්දුන් කුන්දුන් වී ගිය ඇයගේ දකුණත ඔහුගේ කටට වැදුණේ කටේ තිබූ දිරා ගිය දතක් ද චරාස් බරාස් කියමින් කඩාගෙනය.
ඒ පහරින් උන් හිටි තැනත් අමතක වූ ඔහු කටේ පිරුණු ලේ කෙළ ගසා විසි කිරීමට එළියට දිව ගියේ, තමන් මිතුරන් දුන් ලණුව එහෙම පිටින්ම ගිලගෙන, කටේ දතකුත් නැති කරගත්තානේ දැයි සිතමිනි.