යතුරේ හුටපටයෙන් උපාසකයාගේ රෙදි ගැලවිලා


කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 


සමාජ සේවකයකු ලෙස ප්‍රදේශයේ කීර්තිමත් නමක් දිනා සිටි ව්‍යාපාරිකයකුගේ වෙස් මුහුණ ගැලවී ගිය අපූරු පුවතක් රජරට ප්‍රදේශයකින්  අසන්නට ලැබුණි. 
කතාව මෙසේය. 
මෙම මුදලාලි ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රියව සිටියේ අනුන්ගේ දුකට පිහිටවන තැනැත්තෙකු ලෙසටය. අගහිඟකම් වලින් පීඩා විඳින පවුල්වලට ඔහු අත දිගහැර වියදම් කළේ කිසිම මසුරුකමක් නොමැතිවය. අඹු දරුවන් සමග සාමයෙන් ජීවත් වූ මුදලාලි, ගම් ප්‍රදේශයේ කුඹුරු විශාල ප්‍රමාණයක් වගා කළ අතර, එම ගොවිතැන් වැඩ සඳහා යොදා ගත්තේ ගම් ප්‍රදේශයේ දුප්පත් පවුල්වල පිරිසය. 
කිසිදු අනාචාර හැසිරීමක් හෝ කාන්තාවන් වෙනුවෙන් ඇඟෑළුම් පෑමක් හෝ මුදලාලිගෙන් වාර්තා වී නොතිබුණි. 


මේ නොබෝදා පුන් පොහෝ දිනයක ගම් ප්‍රදේශයේ බොහෝ දෙනෙක් එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක පැවැත්වෙන දානමය පින්කමක් සඳහා එදින රාත්‍රියේ සහභාගි වූහ.
මුදලාලිට ඉතා පක්ෂපාතීව සේවය කළ ගැමියෙකු සිටි අතර, ඔහුගේ බිරිඳ සැමියාට වඩා වසර 15කින් පමණ ලාබාල රූමත් තැනැත්තියක් වූවාය. එදින ඇය පන්සලේ පැවැත්වෙන උත්සවයට නොගොසින් ගෙදර නැවතී සිටි අතර සැමියා මුදලාලිට ඒ බව පවසා හදිසි අවශ්‍යතාවයක් වුවහොත් පන්සලට පැමිණ තමාට දැනුම් දෙන මෙන් කියා ඔහු පන්සලට ගියේය.
කෙසේ හෝ පන්සලේ උත්සවය නිමා වී පසුවදාට හිරු පායා අලු‍ත් දවසක් උදාවිය. මුදලාලි සහ මුදලාලිගේ හාමිනේ ව්‍යාපාරය විවෘත කිරීම සඳහා සූදානම් වූහ. එහෙත් දොරේ යතුර අස්ථානගත වී තිබීම නිසා මුදලාලිත් බිරිඳත් ඔවුන්ගේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය අඟලක් නෑර පරීක්ෂා කරමින් එය සොයන්නට වූහ. අසල්වැසියෝ කීප දෙනෙකුද එක් වී අස්ථානගත වූ යතුර සෙවීමට වෙහෙසුණහ. පැය දෙක තුනක්ම ගතවිය. යතුර සොයා ගැනීමට නොහැකි විය. මුදලාලිට ඉතා හිතවත් සේවකයාත් යතුර සෙවීමට එක්වී සිටියේය. 
වෙළඳ ව්‍යාපාරයේ දොර අගුල ඉතා වටිනා එකක් වූ බැවින් එය කඩා දැමීමට මුදලාලි අකමැති විය. කෙසේ හෝ නැති වූ යතුර සොයා ගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය. 
පැය කීපයක් වෙහෙස වුවද යතුර සොයා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් හෙම්බත්වී තැන තැන වාඩි වී සිටියහ. 
මුදලාලිට ඉතා හිතවත් සේවකයාගේ අවුරුදු පහක් පමණ වයස ඇති කොලු‍ ගැටයා හති දමමින් එම ස්ථානයට දුවගෙන පැමිණියේ මුදලාලිගේ අස්ථානගත වූ යතුරද අතේ එල්ලාගෙනය. 
‘‘මුදලාලි මාමේ, මුදලාලි මාමේ, මෙන්න ඔයාගේ යතුර. මම හොයා ගත්තා. මම හොයා ගත්තා. දැන් මට මොනවද දෙන්නේ?”‍ යැයි උඩ පනිමින් උජාරුවෙන් ඇසීය. 
මුදලාලි හාමිනේගේ සතුට ඉහ වහා ගොස් කොලු‍ ගැටයාගේ ඔලු‍ව අතගාමින් ‘‘අනේ පුතේ පුතාට ඕන දෙයක් දෙනවා. කෝ දෙන්න ඔය යතුර. කොහෙද ඕක තිබුනේ”‍ යැයි ඇසුවාය. 
‘‘මේක තිබුනෙ අපේ අම්මගේ ඇඳේ කොට්ටේ යට”‍ යැයි කොලු‍වා උත්තර දුන්නේය. 
යතුර අතට ගත් මුදලාලි හාමිනේ මුදලාලි දෙස හැරී බලන විට, මුදලාලි පේන තෙක් මානයක සිටියේ නැත. මුදලාලිට ඉතා හිතවත් සේවක තෙමේ, කකුලේ මහපට ඇඟිල්ලෙන් පොළොව හාරමින් බිම බලාගෙන සිටියේය. 
යතුර සෙවීමට පැමිණි අසල්වාසීහු ඔවුන්ගේ කටවල් තමන්ගේ කන් දෙපැත්තේ ගෑවී ඇති අයුරු පෙනීම වැළැක්වීම සඳහා තම අත් වලින් කටවල් ආවරණය කරගෙන සිටියෝය. 
මුදලාලි හාමිනේ දුහුවිලි නංවාගෙන යතුරද රැගෙන එතනින් ඉගිලී ගියේ මුදලාලි සොයාගෙන විය යුතුය.