බසයේ දුරින් වාඩිවෙන්න කීවාම අඹු-සැමි යුවළ මානව අයිතියට සටන් වැදිලා


(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පවතින තත්ත්වය හමුවේ පුද්ගල දුරස්ථභාවය තබාගෙන බස් රථවල ගමන් ගන්නා ලෙසට උපදෙස් දී තිබෙන අවස්ථාවේ බස් රථයකට ගොඩ වූ අඹුසැමි යුවළක් එකම අසුනක වාඩි වී යාමේ අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ පුවතක් කුරුණෑගල බස් රථ ගාලෙන් අපට අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


කුරුණෑගල බස් රථ ගාලේ නවතා ඇති ලංගම බස් රථයකි. අත්‍යාවශ්‍ය සේවාවේ නියැලෙන පිරිස් රැගෙන යාමට නියමිත බස් රථය මාර්ග අංක 558 ඔස්සේ මඩගල්ල දක්වා ධාවනය වීමට නියමිතය.


රාජ්‍ය සේවාවේ නියැලුණු මැදිවියේ යුවළක් සේවාව නිමකොට බස් රථය වෙත පැමිණියේ නිවෙස් බලා යාමටය.


ඒ වනවිට බස් රථය පුද්ගල දුරස්ථභාවය ඇතිවන ලෙසට සියලුම ආසන පිරී ඇතත් අතරින් පතර ආසන කිහිපයක කිහිප දෙනකුට වාඩිවීමට ඉඩකඩ තිබුණි. එසේ ඉඩකඩ තිබියදීත් දෙදෙනාම එකට එක ආසනය වාඩි වූහ.


කොන්දොස්තර මහතා ඒ දෙදෙනා ඇමතුවේය.


‘‘එකම සීට් එකේ වාඩිවෙන්න එපා. මහත්තයා අනිත් සීට් එකට යන්න.’’


‘‘අපි දෙන්නා අඹු සැමියෝ. අපි දෙන්නාට එක ආසනයක එකට යන්න පහසුකම් සලසා දෙන්න.’’


එසේ කිරීමට නම් කවුරුන් හෝ වාඩි වී සිටින අසුනකින් ඉවත් කිරීමට කොන්දොස්තරවරයාට සිදුවන නමුත් එසේ ඉවත්ව යාමට කිසිවකුගේ කැමැත්තක්ද නැති අතරේ කොන්දොස්තර මහතා යුවළ ඇමැතුවේය.


“ඔය දෙන්නා විවාහකද නැද්ද කියලා මට කසාද සහතිකය අවශ්‍ය නෑ. පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යන්නට එක් අයෙකු ඉවත්ව අනිත් අසුනකට යන්න.”


ඒ අනුව සැමියා එතැනින් ඉවත් වුවද, ඔවුන් දෙදෙනාම පොල්පිතිගම නගර සීමාවෙන් බස් රථයෙන් බැස ඇත්තේ විවාහක යුවළකට එකට වාඩිවීමේ අයිතීන් කඩකිරීම හමුවේ මානව හිමිකම් වෙතට ගොස් හෝ දඬුවම් පමුණුවන බව පවසමින් කොන්දොස්තරවරයාට නින්දා වන පරිදි දෙදෙනා විසින්ම දෝස්මුරයක් තබමින්ලු.