හසලක සුනිල් ඒකනායක
පොල් ගෙඩියකට වඩා දෙහි ගෙඩියක මිල ඉහළ ගොස් ඇති නිසා දෙහි ගෙඩියක් දී පොල්ගෙඩියක් ගැනීමට ගැමියකුට සිදුවූ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
තිස්හය වැනි වියේ පසුවෙන ඔහු තිදරු පියෙකි. එදිනෙදා කුලියෙන් ජීවිකාව ගෙන යන මොහුට පෙර මෙන් කුලී වැඩ ද ප්‍රදේශයේ නොමැති හෙයින් දෛනික ජීවන ගමන ගෙන යෑමේදී සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය දෑ සපයා දීමේදී ද ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත.
දිනක් ඔහුට කුලී වැඩක් නොලැබුණු හෙයින් නිවෙසට වී කාලය ගත කිරීමට සිදුවිය. ඒ නිසා දිවා කාලයේ වත්තේ පිටියේ වැඩක යෙදී නිවෙසට එනවිට රැගෙන ආ ගොටුකොළ මිටිය රාත්‍රී ආහාරයට ගන්නට සකසන්නේ නම් කඩේට ගොස් දෙහි ගෙඩියක් ගෙන එන ලෙස බිරිඳ පැවසූ නිසා සන්තකයේ තිබූ එකම එක රුපියල් සියය සාක්කුවේ දමාගෙන ගමේ කඩේට ගියේය.
එළවළු කඩේට ගොස් දෙහි ගෙඩියක මිල අසන විට මොහුට දෙලොව රත්විය. කෙසේ හෝ දෙහි ගෙඩියක් නිවෙසට රැගෙන යා යුතු නිසා රුපියල් 80 ක් දී දෙහිගෙඩිය මිලට ගෙන නිවස බලා ගමන් කරන විට බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමෙන් කියැවුණේ එන විට පොල් ගෙඩියක්ද රැගෙන එන ලෙසයි. දැන් මොකද කරන්නේ. පොල් ගන්න කොහෙද සල්ලි අතේ තියෙන්නේ. අතේ තියෙන්නෙම රුපියල් 20 යි. මේකෙන් කොහොමද පොල් ගෙඩියක් තියා බෑයක්වත් ගන්න බැහැනේ. තමාටම කියා ගත් ඔහු නිවෙස බලා එන අතරේ තිබූ වෙනත් සිල්ලර කඩයකට ගොඩවුණේ පොල් ගෙඩියක් ණයට හෝ රැගෙන යෑමටයි.
‘අනේ මුදලාලි හරි වැඩේනේ. ගෙදර පොල් නැතිලු පොල් ගෙඩියක් ගේන්න කියා අපේ ගෙදර උන්දෑ කියනවා. රුපියල් සීයක් අරගෙන ගියා දෙහි ගන්න. දෙහි ගෙඩියක මිල රුපියල් 80 ක් වුණා. දෙහි ගෙඩිය ගත්තම ඉතිරි වුණේ රුපියල් 20 යි. අනේ මුදලාලි හෙට සල්ලි දෙනකම් මට පොල් ගෙඩියක් දෙන්නකෝ’ ‘හා හා මම ණයට බඩු දෙන්නෑ කියලා උඹ දන්නේ නැද්ද? ණයට නම් ඉල්ලන්න එපා.’ යැයි ඔහු පැවසුවෙන් හා කමක් නෑ මුදලාලි. පොල් ගෙඩියක් කීයද?’ යැයි විමසා තිබේ. පොඩි ගෙඩියක් රුපියල් 65 යි. ලොකු එකක් රුපියල 80 යි. එහෙනම් මේ දෙහිගෙඩිය අරගෙන රුපියල් 65 හේ පොල් ගෙඩියක් දෙන්න යැයි කියා දෙහි ගෙඩිය මුදලාලිට දී පොල් ගෙඩියක් රැගෙන නිවෙසට ගිය ඔහු ‘කොහොමද වැඩේ. මට කඩේට දෙහි ගෙඩියක් දීලා පොල් ගෙඩියක් ගන්න වුණානේ. කොහොමද ගමේ දෙහි ගෙඩියේ මිල ඉහළ යෑම. පොල් ගෙඩියටත් වඩා ඉහළ ගිහින්නේ.’ යැයි සිද්ධිය බිරිඳට කීවේ ඔච්චම් සිනහවක්ද මුවේ රඳවා ගනිමිනි.