කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා



වලස්ගල - නිමල් ලන්දගේ 



රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක තබා පසෙකට කෙළ ගැසීමද ඔහුගේ එකම පුරුද්දය. 
වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය විසින් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කරමින් නීතියක් පැනවීමට කටයුතු කළේ මේ අවධියේදීය.
නිතර බුලත් විටක් හපන අපේ මිත්‍රයාටද මෙය මහත් හිසරදයක් විය. 
අසල්වාසීන් සමග පවා මුහුණු ආවරණ නොමැතිව කථාබහ කරන්නට යෑම නිසා ගෙදර හාමිනේගෙන් පවා ඇනුම් බැනුම් ඇසූ අවස්ථා එමටය.
ඇඳිරි නීතිය ඉවත්කර ඇති සෑම විටම බුලත් දුම්කොළ මෙන්ම නිවසට අවශ්‍ය අඩුමකුඩුම ගෙන ඒමේ වගකීමද පැවරී තිබුණේ ඔහුටය. ඔහුගේ  ප්‍රවාහන මාධ්‍යය වූ පාපැදියෙන් කඩමණ්ඩියට යන අවස්ථාවලදී අකමැත්තෙන්  හෝ මුහුණු ආවරණ පැලඳීමට සිදුවූයේ එසේ නොපලඳන අය පොලිසියෙන් අල්ලන නිසාය. 
එදින මුහුණු අාවරණයද පලඳා කඩමණ්ඩියට ගිය ඔහු අවශ්‍ය දේවල් මිලදී ගෙන ගෙදර යන්නට සූදානම් වුවද බුලත් විටක් කෑමේ අවශ්‍යතාව තදින්ම දැනුනේ පුරුද්ද නිසාය. පැත්තකට ගොස් බුලත් විටක් කටට දමාගෙන මුහුණු ආවරණයද පලඳින්නේ නැතිව ඉක්මනින් නිවසට යාම සඳහා බයිසිකලයට ගොඩවිය. 
 පාපැදියේ නැගී එන ඔහුට මිතුරකු පැවසුවේ ඉස්සරහා හන්දියේ පොලිසියෙන් සිටින බවයි. උන්හිටි තැන් අමතක වූ ඔහු සාක්කුවේ දමාගෙන සිටි මුහුණු ආවරණය වහා පලඳා ගත්තේය. ටික දුරක් යද්දී මුහුණු ආවරණය අමතක වී පාරේ පසකට කෙළ පාරක් ගැසුවේ කටේ කෙළ පිරි තිබූ නිසාය. 


හන්දියේ සිටි පොලිස් නිලධාරීහු ඔහුගේ පාපැදිය නතර කළහ.
ඔවුන් සිනා සෙමින් තමන් අසලට පැමිණෙන දුටු ඔහුට එය ප්‍රහේලිකාවක් විය.
“අන්කල් මොකද කට ගාව ලේ පැල්ලමක්” ඔහුට තමන්ට සිදුවී ඇති අකරතැබ්බය තේරුනේ එවිටය. මුහුණු ආවරණය පිටින්ම තමන් බුලත් කෙළ ගසා ඇති බව ඔහුට අවබෝධ විය. ලැජජාවට පත්ව පොලිස් නිලධාරීන් දෙස බැලූ ඔහුට “හරි හරි යන්න අන්කල්” යයි කීවේ මහ හඬින් සිනාසෙමිනි.
අදටත් මෙම ගැමියාට “හරි හරි යන්න අන්කල්” කී විට කේන්තිය සමග සිනාවකුත් එනවලු‍.