​පොලිස් ලොක්කෙක් දඟගෙට යැවූ වීඩියෝ සාක්ෂිය


නීතිය කාටත් පොදුය, සාධාරණය. ඊට උස් පහත්කම් නැත. එහෙත් එක් එක් අයගේ බලපුළුවන්කාරකම් මත නීතිය විවිධාකාරයෙන් වෙනස්වූ තීන්දු, තීරණ ගන්නා බවට මතයක් පසුගිය කාලය තුළ සමාජය තුළින් වරින් වර ඉස්මතු විය.   


එසේම තමා නීතිය නොදැන සිටියා යැයි කිසිවකුට තර්ක කළ හැකි නොවේ. විශේෂයෙන් පොලිස් නිලධාරියකු යනු තම රාජකාරි වාතාවරණය තුළම පිළිගැනෙන්නේ නීතිය ඉතාමත් හොඳින් දන්නා හඳුනන අයෙකු ලෙසය. එසේ නම් එවැන්නෙකුට නීතියේ රැහැනින් රිංගා යාමේ ඉඩකඩ ද වැඩිය.   


එවන් වාතාවරණයක් තුළ පසුගියදා රට පුරා මහත්සේ කතාබහට ලක්වූ සිද්ධියක් විය. ඒ උතුරු කළුතර පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරල්ඩ් රෙක්ස් ජැන්සන් මහතා බරපතළ වැඩ ඇතිව වසර 19 කට සිර ගත කරන ලෙස නියම වීමයි.  


ඒ වයස අවුරුදු 16ට අඩු දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ඇයට ලිංගික අතවර කිරීම යන කරුණු මතයි.  
මෙය 2008 ජුනි මස 23 හෝ ඊට ආසන්නතම දිනයක වූ සිදුවීමකි.  


උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ හැරල්ඩ් රෙක්ස් ජැන්සන් මහතා දිවයිනේ පොලිස් ස්ථාන රැසක සේවය කළ අතර මෙම සිද්ධියට අදාළ කාල වකවානු වන විට ඔහු උතුරු කළුතර පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ නිල තත්ත්වයෙනි.   


දියණියන් පියාට වඩාත් ළෙන්ගතුව ආදරය කරන බව සමාජයේ පිළිගත් මතයකි. රෙක්ස් ජැන්සන් මහතාට ද සිටියේ දියණියන්ම තිදෙනෙකි. ඉන් වැඩිමහල් දියණිය කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ අතර අනෙක් දෙදෙනා කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූහ.  


මෙම වෘතාන්තයට සම්බන්ධ වින්දිත දැරිය ද අධ්‍යාපනය ලැබුවේ රෙක්ස් ජැන්සන් මහතාගේ බාල දියණියන් දෙදෙනා අධ්‍යාපනය ලැබූ කළුතර ප්‍රදේශයේ පාසලේය. ඇය ඔහුගේ වැඩිමහල් දියණියගේ වයසට කිට්ටු වයසක පසුවූ අයෙකි.  


පාසල අැරුණු වෙලාවේ සහ අමතර පංතිවලින් පසුව තම දියණියන් කැටුම යාමට එන රෙක්ස් ජැන්සන් මහතා පොලිස් ජීප් රථය පාසල ආසන්නයේ නිතර නවත්වාගෙන සිටියේය.  


‘‘මහත්තයා උතුරු කළුතර පොලිසියේ නේද? අපි පැමිණිල්ලකට ආ වෙලේ අපට හුඟක් උදව් කළා.’’   


දිනක් පාසල ආසන්නයේ රැඳී සිටි රෙක්ස් ජැන්සන් මහතා හමුවට පැමිණි කාන්තාවක් කීවාය. පොලිසියක පැමිණිලි විභාග කොතෙකුත් කරන බැවින් ඇය කියන පැමිණිල්ල පිළිබඳව නිශ්චිත මතකයක් රෙක්ස් ජැන්සන් මහතා සතු නොවීය.  


එහෙත් තමාත් අදාළ කාන්තාවත් පාසල අසලට පැමිණ සිටියේ එකම කාරණාවකටය. ඒ තම දියණියන් කැටුව යාමටය.  


කෙසේ හෝ පාසල අසල හමුවී කතා බහ කිරීමෙන් පසුව වැඩිහිටියන්ද දියණියන්ද කුළුපග වූහ. එක් වැසි දිනයක පවුල් දෙකේම දියණියන් ගෙදර ගියේ පොලිස් ජීප් රථයෙනි.  


පාසලේ ඉගෙනීම් කටයුතුවලට අමතරව අදාළ දැරිය දැල්පන්දු පුහුණුවටද නැවතුණාය. එවැනි බොහෝ අවස්ථාවල ඇයව රැගෙන යාමට පැමිණියේ රෙක්ස් අන්කල්ය. එපමණකුදු නොව ඇය වරක් පාසලේදී අසනීප වූ විට ඇය කැටුව යාමටද පැමිණියේ රෙක්ස් අන්කල්මය. ඒද පොලිසියේ නිල ජීප් රථයෙනි. එපමණටම එම පවුල් දෙක අතර ඇසුර ලියලා ගොස් තිබුණි.   


දිනක් ඇය මුහුණ දුන් අපූරු සිදුවීමක් එම දැරිය රෙක්ස් අංකල්ට විස්තර කළාය. ඒ එක් තරුණයෙකු තමාට ලිංගික ක්‍රියාවක් සිදුකළ ආකාරයයි. එය සාවධානව අසා සිටි රෙක්ස් අංකල් ඒ ආකාරයටම කිරීම සඳහා දැරිය පොළඹවා ගත්තේය.  


දැරිය නංවා ගන්නා පොලිස් ජීප් රථය කළුතර පරණ පාරේ බාලිකා විදුහල පසු කර පාළු හරියේ නතර කෙරේ. එහිදී තම ජංගම දුරකතනයෙන් අසභ්‍ය රූප හා වීඩියෝ දර්ශන රෙක්ස් අංකල් දැරියට පෙන්වූවාය. ඒවායේ පුද්ගලයන් හැසිරෙන ආකාරයට හැසිරෙන්නට ඔහු දැරිය පොළඹවා ගත්තේය.  


​ෙපාලිස් ජීප් රිය තුළම සිදුවූ මෙම ක්‍රියාවන් පිළිබඳව දැරිය පාසලේ මිතුරියකට කී අතර එතැනින් ගුරුවරියකට ද ගියේය.  
ගුරුවරිය පාසලේ විදුහල්පතිනියට මේ බව දැනුම් දුන් අතර ඇය දැරියගෙන් ඒ ගැන විමසා බලා පොලිසියට දැනුම් දුන්නාය.  
මෙහි පළමු පරීක්ෂණ සිදු කෙරුණේ කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි මහත්මියගේ මූලිකත්වයෙනි.   


ඒ අනුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග විය. එහිදී ඇය 1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධි විධාන පනතේ 163 ඒ වගන්තිය ප්‍රකාරව වීඩියෝ ගත සාක්ෂියක් ලබා ගැනීමට යොමු කරන ලදී.  


ජාතික ළමාරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී අටවා තිබූ වීඩියෝ කැමරාවක් ඉදිරියේ ඇය තමාට සිදුවූ ලිංගික අතවරය පිළිබඳව වීඩියෝ සාක්ෂිය ලබා දුන්නාය. ඒ ළමාරක්ෂක අධිකාරියේ උපපොලිස් පරීක්ෂක මාලනී සහ කාන්තා කොස්තාපල් (4449) ජානකී යන මහත්මීන් ඉදිරියේය.  


මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික නඩු විභාගයෙන් පසුව නඩුව කළුතර මහාධිකරණයට යොමු කෙරිණි.  


බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ඇයට ලිංගික අතවර කිරීම යන කරුණු මත නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලදී.   


ඒ බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 357 වැනි වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර බාල වයස්කාර දැරියක් ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා උපයෝගී කොට ගැනීම 1998 අංක 22 දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක්වූ හෙයිනි.  
කෙසේ වුවද වින්දිත දැරිය අධිකරණයේ සාක්ෂි කූඩුවේදී කියා සිටියේ තමාට විත්තිකරුගෙන් එවැනි ලිංගික ක්‍රියාවක් සිදු නොවූ බවය.  
මේ වනවිට පොලිස් සේවයේ වැඩ තහනමට ලක්ව සිටි රෙක්ස් ජැන්සන් මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය.   


කළුතර මහාධිකරණයේ විභාගවූ දීර්ඝ නඩු විභාගයෙන් පසුව පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඉකුත් ජූලි 28 වැනි සිකුරාදා මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය.   


පළමුවැනි චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස එහිදී නියම කෙරිණි. එම වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත අමතර වසර දෙකක සිර දඬුවමක් නියම කරන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.  


දෙවැනි චෝදනාවට වසර 07 ක  බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 20 දාහක දඩයක් නියම කෙරිණි. එම දඩ මුදල නොගෙවන්නේ නම් වසරක සැහැල්ලු වැඩ සහිත සිර දඬුවමක් නියම කරන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.  


පැමිණිල්ල වෙනුවෙන් වීඩියෝ සාක්ෂිය සහ එහි මුද්‍රිත පිටපත ඉදිරිපත් කර ඇති බවක් මුළු නඩුවම එම වීඩියෝ සාක්ෂිය මත රඳා පවතින බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කීය.  


විත්තිකරු තමාට ලිංගික ක්‍රියාවක් කළ බව ප්‍රතික්ෂේප කරමින් දැරිය පසුව ලබාදී ඇති සාක්ෂිය හුදෙක් විත්තිකරු හා විත්තිකරුගේ දරුවන් කෙරෙහි වූ අනුකම්පාවෙන් සිදුකළ එකක් බව අධිකරණය පිළිගන්නා බව මෙහිදී විනිසුරුවරයා කීය.  


වීඩියෝ ගත මූලික සම්මුඛ සාකච්ඡාවක පටිගත කිරීම සාක්ෂි වශයෙන් ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ ආවේශ්‍ය කර ගත හැකි බවට ශ්‍රී ලංකා නීති පද්ධතියට හඳුන්වාදී තිබීම ළමා සාක්ෂිකරුවන්ට සාධාරණයක් ඉටුවෙන අවස්ථාවක් බවද මෙහිදී විනිසුරුවරයා කීය.  
ළමා සාක්ෂිකරුවකුගේ වීඩියෝ ගත සාක්ෂියක් පදනම් කරගෙන නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම මෙරට සිදුවූයේ පළමු වරට බව සැලවේ.  


මෙහිදී රජයේ නීතිඥ ධම්මික උඩවත්ත මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර පත්කළ නීතිඥ වයි. ජාගොඩ මහතා සමඟ විරාජ් ජයනෙත්ති හා කණිෂ්ක වන්නිආරච්චි යන මහත්වරු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියහ.  


කළුතර මහාධිකරණයේ රෙජිස්ට්‍රාර් එම්.ඩී. මුහන්දිරම්ගේ මහත්මිය මෙහිදී අධිකරණයට සහය වූවාය.  


කෙසේ වුවද මෙම මහාධිකරණ තීන්දුවට අභියෝග කරමින් මේ වනවිට ඇපෑලක් අභියාචනාධිකරණයට යොමු කොට තිබේ.


යුක්තිය ඉෂ්ටවීම සතුටට කරුණක්

හිටපු මහේස්ත්‍රාත් අනුර සෙනෙවිරත්න කියයි

කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිට එරෙහිව බරපතල චෝදනාවක් තිබෙන බව ඍජුවම පොලිසියට ගොස් පැමිණිලි කිරීමට බියක් දැනෙන බැවින් දිනක් උදෑසන 6.30ට පමණ අවසර මත මා හමුවීමට නිල නිවසට පැමිණ පරිවාස නිලධාරින් දැනුම් දුන්නා. ඒ අනුව මම දුරකථනයෙන් එවකට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී වි​ෙජ්ගුණවර්ධන මහතාට කථා කර සිද්ධිය දැනුම්දී සාධාරණ පරීක්ෂණයක් පවත්වන මෙන් දන්වා පරිවාස නිලධාරින් සමග අදාළ දැරිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත යොමු කළා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලෙස එවකට සිටි සහකාර පොලිස් අධිකාරිවරයාට නියම කර තිබුණා. උදෑසන පරීක්ෂණ ආරම්භ කළත් ඔවුන් මා වෙත කරුණු වාර්තා කළේ රෑ 10.00ට පමණ නිල නිවසටයි. එහිදී ඉදිරිපත් කළ කරුණු අනුව මට වැටහී ගියා ඕ. අයි. සී. වරදින් ගලවා ගැනීම සඳහා කරුණු වාර්තා කිරීමක් සිදුකරන බවට. මා දැඩි ලෙස සහකාර පොලිස් අධිකාරිවරයාට අවවාද කර සියළු පරීක්ෂණ කටයුතු පසු දිනම ළමාරක්ෂණ අධිකාරිය වෙත පවරන ලෙසට නියෝග කළා.


ළමා රක්ෂණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක වි​ෙජ්සේන දින තුනකට පසු මා අමතා විමර්ශන අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව කරුණු අනාවරණය වන බව මා හට දන්වා අත්අඩංගුවට ගැනීමට උපදෙස් පැතුවා. මම ඊට එකඟව උපදෙස් දුන්නා. අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ පසු මා ඇප ප්‍රතික්ෂේප කළා. මේ වනවිට යුක්තිය ඉටුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මට ඇත්තේ ලොකු සතුටක්.

 

 

 

කළුතර විශේෂ වාර්තාකරු