හබක අටවා සතුන් මැරූ සුදු බණ්ඩා බිත්තියට යටවී එලොවට


 

ජීවිතය යහපත් මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි.


මහඔය දඹදෙණිය කේ.එච්.එම්. වීරසේකර මහතා ලියා එවූ කතාවක් මෙසේය.


ස්ථීර ජීවන මාර්ගයක් අහිමි දුගී දුප්පත් පවුල් රැසක් ජීවත්වූ මෙම ගම්මානය අයිතිවූයේ නැගෙනහිර පළාතේ මායිමකටය. වනගත කුඩා ගම්මානයේ පවුල් එදිනෙදා දිවි රැකගත්තේ අසල ගමකට ගොස් කුලී වැඩක් කිරීමෙන් සහ ලඳු කැලෑවක් කපා කොටා ගිනිලා හය මසකට වරක් වැටෙන වැස්ස බලා වගාකරන වී, බඩඉරිඟු, බටු, මිරිස්, හේන් වගාවෙනි.


ගම්මානයේ පදිංචිකරුවෙකු වූ සුදු බණ්ඩා හේන් වගාවත්, දිනපතා වන සතුන් දඩයමත් එක ලෙස කරමින් දිවි රැකගත් අයෙකි. කැප් තුවක්කුවක් කර පින්නාගෙන දිවා රාත්‍රී වෙනසක් නොමැතිව සිතුන වෙලාවක වනාන්තරය තුළට ඇතුළුවන සුදුබණ්ඩා කිසි දිනක හිස් අතින් ගෙදර පැමිණ නැත. පව්කාරයාට දඩයම් නොවරදින බවට ගමේ කියමනක් ඇති බැවින් ගමේ හැටියට සුදුබණ්ඩාගේ දරු පවුල දිනපතා මස් මාංශයෙන් කුස පුරවාගත් පවුලක් බව ගම්වාසීහු පවසති.


වනාන්තරයේ සැරිසරමින් කරන දඩයමට අමතරව සුදුබණ්ඩා තම නිවස අසල වනාන්තරයේත්, අසල බැදි කුට්ටි වලත් ගෙවත්තේ කීප පළකත් උගුල් හා හබක රැසක් ඇටවීම පුරුද්දක් ලෙස කළ අතර එම ස්ථාන දිනපතා පරීක්ෂාකර මැරී සිටින සතුන් ආහාරයට ගන්නේය.


ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා දඩයමෙන් දිවිගෙවූ සුදුබණ්ඩාට එක්තරා ආරක්ෂක අංශයක සාමාජිකයෙකු ලෙස සේවයට එක්වීමට සිදුවූයේ එම කාලය වනවිට නැගෙනහිර පළාත පුරා ව්‍යාප්ත වෙමින් පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මෙම වනගත ගම්මානයද ආක්‍රමණය කර තිබූ බැවිනි. 


වනාන්තරයේ මං පෙත්, කඳුවැටි ගල්ගුහා පිහිටීම ගමේ අඩිපාරවල්, වනාන්තරයේ වන සතුන් ගැවසෙන ඉසව් පිළිබඳ දැනුමක් දඩයක්කරුවෙකු ලෙස ලබා ඇති දිගු කාලීන අත්දැකීම් රැසක්ද තිබූ සුදුබණ්ඩාගේ කැප් තුවක්කුවට හුරුවූ දෑතට ස්වයංක්‍රීය ගිනි අවියක් එක්වීම නිසා කෙටි කලකින්ම ඔහු එම ආරක්ෂක අංශයේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වූ පුද්ගලයෙකු විය.


එවකට ක්‍රියාත්මක ආරක්ෂක උපදෙස් යටතේ ගම්මානයේ මායිමක තිබූ නිවසක් ආරක්ෂක මුර පොළක් බවට පත් කරගත් අතර ගම්වාසීහු මාරුවෙන් මාරුවට දිවා රාත්‍රී වෙනසක් නොමැතිව මුර සේවයේ නිරත වූහ.


එක්තරා දිනයක සුදුබණ්ඩා තම අසල්වැසියෙකු වූ පියදාස සමග රාත්‍රී මුරසේවයට එක්ව සිටියේය.


උදේ කඩින් කඩ ඇද හැලුන වර්ෂාව සවස් යාමය වනවිට වර්ධනය වෙමින් තිබුණි. මැදියම් රාත්‍රිය එළඹෙන විට වර්ෂාව දැඩි සුළං සහිත ධාරානිපාත වැස්සක් බවට පත් විය.


නොකඩවා ඇදහැළෙන වර්ෂාවත් දැඩි සුළඟ විසින් ගෙන එන හිරිකඩටත් අසුවූ සුදුබණ්ඩා මුරපොළ තිබූ නිවසේ බිත්තිය අසල ඉදිකර තිබූ ලී මැස්ස මතට නැගී ගුලිවී හිඳගත් අතර පියදාස මුරපොළ පිටුපස කොටසේ ස්ථානයක වාඩිගෙන සිටියේය.


මැදියම් රාත්‍රිය පසුවී ගතවූයේ විනාඩි කීපයකි. උදේ සිට නොකඩවා ඇද හැළුන මහ වැස්සෙන් හා සුළඟින් තෙත් බරිතවූ මුරපොළ තිබූ නිවසේ ගඩොල් බිත්තියක් ලී මැස්ස මත ගුලිවී සිටි සුදුබණ්ඩා යට කරගෙන බිමට පතිතවූයේ මහ හඬක් නගමිනි.


මුරපොළ ඉදිරියේ ඇතිවූ ශබ්දයෙන් කලබලයට පත් පියදාස පැමිණ බලන විට මුරපොළේ බිත්තියක් කඩා වැටී සුදුබණ්ඩා එයට යටවී ඇතිබව දැක වට පිටාවට අඬගසමින් ගම්වාසීන් කැඳවාගෙන විදුලි පහන් එළියෙන් මහත් වෙහෙසක් දරා ගඩොල් බිත්තිය කඩා බිඳ දමා සිරුර එළියට ගන්නා විටත් සුදුබණ්ඩා මෙලොව හැරගොස් තිබුණි.


ජීවිත කාලය පුරා හබක, උගුල් අටවමින් වන සතුන් සිය ගණනක් මරා ඒ මගින් කුස පුරවාගත් සුදුබණ්ඩාගේ නිසල සිරුර මුරපොළේ පොළව මත තබා තිබූ අතර ඔහුගේ අතේ රැඳි ස්වයංක්‍රීය ගිනිඅවිය අතින් මුදාගත්තේ අසීරුවෙන් බවද පවසති.
හබකට අසුවී ගල්වලට තැලී පොඩිවී මියගිය වන සතෙකුගේ සිරුරක මෙන් මියගිය සුදුබණ්ඩාගේ සිරුරද බිත්තියේ ගඩොල්වලට යටවී ඇටකටු පොඩිවී තැලී මස් වැදල්ලක් ලෙස තිබූ බව ගම්වාසීහු අදත් පවසති.


අකුරැස්ස පහළ මලිදුව, චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.


සතුන්ට බැඳි තුවක්කුව පත්තු වී පාදයක් අහිමි විය සදහටම.


දකුණේ ඈත පිටිසර ගම්මානයක මීට බොහෝ කලකට පෙර ජීවත්වූවෙකි කුසල්හාමි. නමින් කුසල්හාමි වුවත් මුළු ජීවිත කාලයටම ඔහු කළ එකුදු කුසලයක් හෝ නැති බව ඔහු ගැන දන්නා වයස්ගත ගැමියෝ අදටත් පවසති. මොහුගේ පව්කාරකම් නිසාම මොහු ගැන නොදන්නා ගැමියෙක් අසල ගමකවත් නොවීය.


උදේ අවදි වූ මොහොතේ සිට රෑ නින්දට යන තෙක්ම මත්වතුර පානය කරන මොහුගේ එකම කෑම වේලකටවත් මසක්, මාළුවක් වැරදුණේම නැත. මොනයම් සතෙකු හෝ මරා ගැනීමට තුවක්කුවක් බැඳීම, උගුලක් ඇටවීම දින චර්යාවේ ප්‍රධානම අංගය විය. පව්කාරකමේ තරම කොතෙක්ද කිවහොත් ඇටවූ උගුලකට හෝ බැඳපු තුවක්කුවකට සතෙකු ගොදුරු නොවන දිනයක් සොයා ගැනීමට නොහැකි තරම්ය.


මේ කියන දිනය මාසේ පෝයදාට පෙර දිනයයි. එමෙන්ම සිහින් පොද වැස්සක්ද පවතී. මෙවන් දිනවල ඌරන් උගුල් හෝ තුවක්කු වලට පහසුවෙන් ගොදුරුවෙන බව ගැමියන්ගේ විශ්වාසයයි. මෙවැනි දිනක නිච්චියටම ඌරකු දඩයම් කරගත හැකි බව කුසල්හාමි අත්දැකීමෙන්ම දනී. ඇඳිරි වැටීගෙන එද්දී වැහි පොදේම ඌරු මංකඩක් වෙත ගෑටුවේ තුවක්කුවක් බැඳීමටයි. ඒ සඳහා ඔහුට එතරම් කාලයක් ගත නොවීය. ඒ ඔහු ඒවා පිළිබඳ හසළ දැනුමක් ඇත්තකුවීම නිසාය. තම කාර්යය ඉක්මනින් නිමකළ කුසල්හාමි සතුටු සිතින් නිවෙස කරා පියනැගුවේ ටක්කෙටම ඌරු නාම්බෙකු හසුවන බවට සිහින මවමිනි.


එතරම් රෑ බෝ නොවීම රෑ බත සප්පායම් වූ කුසල්හාමි කලින්ම නින්දට ගියේ ඌරු නාම්බා ගැන තලුමරමිනි. නොබෝ වේලාවකින්ම සුව නින්දට වැටුණ කුසල්හාමි එකවර ගැස්සී ඇහැ ඇරුණේ සිහිනෙන්ම ඇසුණු වෙඩි ශබ්දයෙනි. සතුට ඉහවහා ගිය කුසල්හාමි නිවැසියන්ගේ විරෝධය මැද්දේම මහ රෑම තුවක්කුව බැඳි ඉසව්වට දිවගියේ අසිහියෙන් මෙනි. ඔහුට උන්හිටි තැන් අමතකවිය. තමාම ඇද තිබූ මරු වැල් ගැනවත් නිනව්වක් නොවීය. එකවරම මරු වැලක පැටලුණු කුසල් හාමිටවත් සිතා ගැනීමට තරම්වත් ඉඩක් නොතබා මුළු පෙදෙසම දෙදරවමින් තුවක්කුව පත්තුවූයේ කුසල් හාමිගේ වම් පාදය කලවා පෙදෙසින්ම සුනුවිසුනු කරමිනි.


වේදනාවෙන් මර හඬ දෙන කුසල්හාමි සොයා මහ රැයේම පැමිණි අසල්වැසියෝ ලේ විලක් මැද වැටී සිටි ඔහු වහ වහා රෝහල කරා රැගෙන ගියහ. කරුමයක මහත. ඔහුට ජීවත්වීමට වාසනාව තිබුණත් වෙඩි වැදුණ පාදය කිසි ලෙසකින් හෝ බේරා ගැනීමට නොහැකි ලෙස සුන් බුන්වී තිබුණ නිසා එය කලවා පෙදෙසින්ම කපා දැමීමට සිදුවිය. ඉන්පසුව ඔහුට තම ජීවිතය අවසන් වන තෙක්ම දිවි ගෙවීමට සිදුවූයේ එක් පාදයකින් හා කිහිලි කරුවක ආධාරයෙනි. ඔහු අහිංසක සතුන්ට කළ හිරිහැර මෙලොවදීම පල දී ඇති බව ගම්වැසියෝ පැවසූහ. එහෙත් මරණය තෙක්ම කුසල්හාමිගේ පව්කාරකම් වල නම් අඩුවක් නොවීය.


බේරුවල නිහාල් රංජිත් මහතා ලියා එවූ කතාවක් මෙසේය.


සූකර ඝාතකයාගේ ඉරණම.


කළ පව් එලොවදීත් මෙලොවදීත් පඩිසන් දෙනවා යන බුද්ධ වචනය සනාථ කරමින් මා පැවසීමට යන්නේ ගමක ඌරන් මරමින් ජීවිකාව කරගෙන ගිය පුද්ගලයෙක් පිළිබඳවය. මොහුට ඌරන් මැරීම විනෝදාංශයක් බඳු විය. මොහු සෑම උත්සව අවස්ථාවකදීමත්, මස් විකිණීම සඳහාත් දවසකට අවම වශයෙන් ඌරන් 7ක් 8ක් මරා දමයි.


මොහු මැරීමට උපයෝගී කරගන්නේ උල් යකඩ කූරකි. ඔහු කරන්නේ කොටුකර සිටින ඌරන්ගේ අතින් ඇද උල් යකඩ කූරෙන් කිහිල්ලට යටින් ඇනීමය. එවිට ඌරාගේ හෘදය වස්තුව හිල්වී ටික වේලාවක් දඟලා මිය යයි. මේ අන්දමින් පැය භාගයක් යන්නට මත්තෙන් ඌරන් සෑහෙන ප්‍රමාණයක් මරා දමයි.


ඉහත සඳහන් බුද්ධ වචනය සනාථ කරමින් මොහුටද එම ආකාරයේ මරණයක් සිද්ධ වුණි. එනම් නගරාන්තර බස් ධාවනය ඇරඹුණු අලුත අධික වේගයෙන් යන නගරාන්තර බස් රථයක පා පැදිය ගැටුණි. ගැටුමෙන් ඇද වූ පා පැදි සැකිල්ලේ යකඩ බටයක් ඔහුගේ හෘදය පසාරු කරගෙන ගොස් තිබුණි. එයින් ඔහු එතනදීම, ඔහු විසින් මැරූ ඌරෙකු මෙන් මරණයට පත් විය.


මෙබඳු කතා ඔබත් දන්නේනම් 
ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්