සිරියාවේ ඇමෙරිකානු ගිනිකෙළි


පසුගිය අප්‍රෙ‌‌්ල් 14 දින ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප‍්‍රංශය එක්ව සිරියාවට එල්ල කළ මිසයිල ප‍්‍රහාරය ලොව බොහෝ රටවල් හෙළා දැක තිබේ. මෙම ප‍්‍රහාරය සිදු කිරීමට ඇමෙරිකාව සහ යුරෝපා සන්ධානය එක් වූයේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ හමුදා පසුගිය අප්‍රෙ‌්ල් 7 දින සිරියාවේ ඩොවුමා නගරයට එල්ල කළ බව කියන රසායනික අවි ප‍්‍රහාරයට විරෝධය දැක්වීමට හා අසාඩ්ට දඬුවම් කිරීමේ අරමුණින් යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේය.   


සිරියානු කැරැලිකරුවන් යටතේ පවතින අවසාන නගරය වන්නේ නැගෙනහිර ගොහුටා ප‍්‍රදේශයේ ඩොවුමා නගරයයි. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ ගුවන් හමුදාව එම කැරැලි හමුදා සිටින ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කරන ලද්දේ පසුගිය අප්‍රෙ‌‌්ල් 7දාය. එය ක්ලෝරීන් විෂ වායු ප‍්‍රහාරයක් බවට ප‍්‍රංශය චෝදනා කළේය. එම ප‍්‍රහාරයෙන් පුද්ගලයෝ හැත්තෑ දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වූහ.   


ඩොවුමා නගරයට රසායනික අවි ප‍්‍රහාරයක් එල්ලවී ඇති බවට වාර්තා වීමත් සමඟ සිරියානු රජයට එරෙහිව තමා පියවරක් ගන්නා බවට ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේය. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ හා ප‍්‍රංශ ජනාධිපති මැක්රොන්ද සිරියාවේ ක්‍රියා කලාපය විවේචනය කළ අතර සිරියාවට එරෙහි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කළහ. ඒ සඳහා තමනට ඇමෙරිකාවෙන් කිසිදු බලපෑමක් නොවූ බවත් සිරියානු ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙතට විරෝධය පෑමක් ලෙස මෙම ප‍්‍රහාරයට සහය දක්වන බවටත් බ්‍රිතාන්‍යය හා ප‍්‍රංශය කියා සිටියේය.


අප්‍රෙ‌‌්ල් 14දා ඇමෙරිකාව, එංගලන්තය හා ප‍්‍රංශය එක්ව සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්හ. සිරියානු භූමියේ ඇති රසායනික අවි කම්හල් ඉලක්ක කරමින් මිසයිල ප‍්‍රහාර සිදු කෙරුණු අතර මධ්‍යධරණී මුහුදේ නවතා ඇති ඇමෙරිකානු යුද නෞකාවල සිට හා ගුවනින් මිසයිල 105ක් සිරියානු රසායනික අවි නිෂ්පාදනාගාර වෙත එල්ල කර තිබේ. එම ප‍්‍රහාරයෙන් රසායන අවි නිපදවන වැදගත් ස්ථාන රැසක් විනාශ කළ බවත්, එය සිරියානු පාලනයට විශාල පසුබැසීමක් බවත්, ඔවුන් වසර ගණනක් මුළුල්ලේ සිදු කළ පර්​ෙ‌ය්ෂණ, සංවර්ධනය කටයුතු, උපකරණ හා ගබඩා කර තිබූ අවි සියල්ල ඔවුනට අහිමි වෙන්නට ඇතැයි විශ්වාස කරන බවත් ජනරාල් ජෝසෆ් ඩන්ෆෝඩ් පෙන්ටගනයේ දී සඳහන් කළේය.   


මෙම ප‍්‍රහාරය සිරියාවට පමණක් නොව සිරියානු හිතවාදියකු වන රුසියාවට ද කිසියම් තර්ජනයක් එල්ල කිරීමේ අරමුණින් කරන ලද්දක් යැයි දේශපාලන විචාරකයෝ කියා සිටිති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ එක්සත් ජනපද නියෝජිතවරිය වන නිකී හේලි රුසියාවට දැඩි සම්බාධක පැනවීමට තීරණය කර ඇතැයි පවසන ලද්දේ මෙම ප‍්‍රහාරයෙන් දෙදිනකට පසුය. ඒ අනුව මෙය සෘජුවම රුසියාවට අනතුරු ඇඟවීමක් යැයි ඔවුහු පවසති.   


සිරියානු රජය රසායනික අවි පිළිබඳ චෝදනාව ප‍්‍රතික්ෂේප කළ අතර සිරියාවේ සහයට සිටින රුසියාව සඳහන් කළේ ඇමෙරිකාව බ්‍රිතාන්‍යයේද සහය ඇතිව මෙම නාටකය කරළියට නංවා ඇති බවයි. අප්‍රෙ‌‌්ල් 14 ප‍්‍රහාරය ඉදිරියේ ඇතිවිය හැකි ප‍්‍රහාර පෙළක පළමුවැන්න විය හැකි යැයිද, රුසියාවට ඇති බිය නිසා මෙවැන්නක් සිදු කරන්නට ඇතැයිද රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රෝව් සඳහන් කළේය. රුසියානු හමුදා විශේෂඥයන් පිරිසක් ඩොවුමා ප‍්‍රදේශයට ගොස් පස් සාම්පල පරීක්ෂාවක් සිදු කළ බවත් ඒවායේ කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගුවී නොතිබූ බවත් එක්සත් ජාතීන්ගේ රුසියානු නිත්‍ය නියෝජිත වසිලි නිබෙන්සියා පසුගිය 9 වැනි දින ආරක්ෂක මණ්ඩලය හමුවේ ප‍්‍රකාශ කළේය.   

 

 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ සම්බන්ධයෙන් සීරුවෙන් සිටින්නට තීරණය කර තිබේ. බටහිර රටවල් යළිත් වරක් සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කළහොත් එයට එරෙහිව තමන්ද ප‍්‍රතිචාර දක්වන බව ද, මෙම ප‍්‍රහාරයෙන් සිරියාවේ සිටින රුසියානු හමුදා භටයන්හට කිසියම් අනතුරක් සිදු වූයේ නම් ප‍්‍රහාරයට සම්බන්ධ රටවලට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බව ද ඔහු ප‍්‍රකාශ කර තිබේ. මෙම ප‍්‍රහාරයෙන් අතීත පසමිතුරන් වූ ඇමෙරිකාව හා රුසියාව අතර යළිත් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමට අවකාශ ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. එසේ වුවහොත් ඇමෙරිකාව හා රුසියාව අතර අතීතයේ සිට පැවැති සීතල යුද්ධය තුන් වැනි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකිය. එහෙත් ඇමෙරිකාව හෝ රුසියාව හෝ වාචික ප‍්‍රහාර එල්ල කර ගන්නවා විනා එකිනෙකාට එරෙහි ප‍්‍රහාරයකට යෑමට පෙර අනිවාර්යයෙන්ම දෙවරක් සිතා බලන්නට පෙලඹෙනු ඇත්තේ එහි ප‍්‍රතිවිපාක හොඳින් දන්නා බැවිනි.   


සිරියානු හමුදා ඩොවුමා නගරයට ප‍්‍රහාර එල්ල කිරීමට බල පෑ සාධක මොනවාදැයි සලකා බැලීම වැදගත්ය. ගොහුටා ප‍්‍රදේශය කාලයක් මුළුල්ලේ පවතිනුයේ සිරියානු කැරැලිකරුවන් යටතේය. පෙබරවාරි මාසයේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසද්හට සහය පළ කරන හමුදා නැගෙනහිර ගොහුටා ප‍්‍රදේශයට ප‍්‍රහාරයක් එල්ල කරන ලද්දේ කැරලිකරුවන් විනාශ කිරීමේ අරමුණිනි. එම ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් 1700කට අධික පිරිසක් මරණයට පත් වූහ.   


මාර්තුවේදී ගොහුටා ප‍්‍රදේශය කලාප තුනකට බෙදා යළි ප‍්‍රහාරයක් එල්ල කිරීමට හමුදාව පියවර ගත්තේය. එම කලාප අතුරින් විශාලම කලාපය වූයේ ඩොවුමාය. එය සිවිල් වැසියන් 150,000 පමණ පිරිසක් වාසය කරන ප‍්‍රදේශයකි. කලාප දෙකකින් පරාජයට පත් කැරැලිි කණ්ඩායම් උතුරුදිග සිරියාවට පසු බැසීමට තීරණය කළ ද ඩොවුමා ප‍්‍රදේශයේ පාලනය අත්පත් කරගෙන සිටි ජෙයිස් අල් ඉස්ලාම් නමැති කැරැලිි කණ්ඩායම එම ප‍්‍රදේශයෙන් පසුබැසීම ප‍්‍රතික්ෂේප කරමින් රජය සමඟ පැවැති සාකච්ඡාද නවතා දැමූහ. අසාඩ්ගේ හමුදා එම ප‍්‍රදේශයට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට තීරණය කරන ලද්දේ එම සාකච්ඡා බිඳ වැටීමෙන් පසුය.   

 

 

සිරියානු ගුවන් හමුදාවේ රසායනික බෝම්බ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ විශාල පිරිසක් මරණයට පත් වූහ. විෂ වායු ප‍්‍රහාරයෙන් හුස්ම හිරවීමෙන් ඔවුහු ක්ෂණිකවම මියගොස් සිටි හෙයින් කිසිවකුගේ විලාපයක් හෝ නොඇසුණ බැව් ‘සුදු හිස්වැසුම් කණ්ඩායම’ ලෙසින් හැඳින්වෙන සිරියානු සිවිල් ආරක්ෂක බළකාය සඳහන් කර තිබිණි. රසායනික වායුවෙන් රෝගී වූ 500ක පමණ පිරිසක් රෝහල් ගත කළ බවට ද වාර්තා විය. ඔවුන්ගේ සම සහ තොල් නිල් පැහැ ගැන්වී තිබීම හේතුවෙන් මෙය රසායනික ප‍්‍රහාරයක් බවට නිගමනය විය. 70ක් පමණ මිය ගිය බවට වාර්තා විය.   


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් කියා සිටියේ තමා මෙම සාහසික ක්‍රියාව පිළිබඳ වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවත්, කිසියම් පාර්ශ්වයක් රසායනික අවි භාවිත කර ඇති බවට අනාවරණය වුවහොත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව ක්‍රියා කරන බවත්ය.   


අප්‍රෙ‌‌්ල් 14දා ඇමෙරිකානු ගුවන් ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. මිසයිල හා ගුවන් ප‍්‍රහාරවලට විරෝධය පළකරමින් සිරියානු ජනාධිපති අසාද්ට සහය දක්වන පිරිස් පසුගියදා දමස්කස් නුවර විරෝධතා පෙළපාළි පැවැත්වූ බවද වාර්තා විය.

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා