සිය වසරක ඉතිහාසයක් ඇති හිල්ටන් හෝටලයේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

හිල්ටන් සමූහයට අලුතෙන්ම එක්වූ වීරවිල සාමාජිකයා

 

  • කාමර 10 පුංචි නවාතැනකින් පටන්ගෙන ලෝකයේ රටවල් 120 ක පමණ ස්ථාපිත වූ හෝටල් ජාලයක්
  • අද ලෝකය වටේ ඇති සමස්ත හිල්ටන් ජාලය සතු කාමර ගණන මිලියනයක්
  • ජාත්‍යන්තරව ස්ථාපිත වූ ප්‍රථම හෝටල් නාමය වන්නේද ‘හිල්ටන්ය’

 

වත්මනෙහි තරු හෝටලයක නිවාඩුවක් ගත කිරීමට ලෝකයේ බොහෝ රටවල ජනතාව කැමැත්තක් දක්වන බව කිව හැකිය. අද එය එක්තරා විදිහක සංස්කෘතියක් බවට පත්ව ඇත්තේ, විශේෂයෙන්ම ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී ලැබෙන වට්ටම් නිසාය. එසේ වුවද අද දවසේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනා හට හෝටලයක නිවාඩුවක් ගත කිරීමේ අවකාශය ඇහිරී තිබේ.   


ඒ කාරනා කෙසේ වෙතත්, අද අප විස්තර කිරීමට සූද‌ානම් වෙන්නේ ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රකට වූ හෝටල් ක්ෂේත්‍රයේ අංක එකේ සමාගමක් වෙන ‘‘හිල්ටන්’’ හෝටල සමූහය ගැනය. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙතින් අද අපි ඒ ගැන විස්තර කියවමු.  


2020 ජුනි මාසය වෙනවිට ලොව පුරා විවිධ ස්ථානයන්හි ‘හිල්ටන්’ නාමය යටතේ සත්කාරක සේවා සපයන ආයතන හෙවත් ‘හොටෙල්’ සංඛ්‍යාව 6200 කට වඩා වැඩිය. ලෝකයේ රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකදී ‘හිල්ටන්’ නාමය යටතේ කළමනාකරණය වෙන හෝටල් සංඛ්‍යාව සතු සමස්ත කාමර ගණන මිලියනයකට ආසන්නය. හිල්ටන් නාමයෙහි වරලත් භාවය යටතේ සහ කළමනාකරණය වෙන සංඛ්‍යාව තවත් දහස් ගණනක් වේ. ඇමරිකානු සමාගමක් වෙන හිල්ටන් වර්ල්ඩ් වයිඩ් සමූහ ආයතනයෙහි මූලස්ථාන ගොඩනැගිල්ල ස්ථාපිත කර ඇත්තේ වර්ජිනියාහි, ටයිසන්ස් කෝනර් හිදීය. 1919 මැයි 31 වැනි දින දී ටෙක්සාස්හි සිස්කෝ නමැති කුඩා නගරයේදී ආරම්භ වූ කුඩා හෝටලයකින් පටන් ගෙන ලෝකයම අල්ලාගත් හිල්ටන් බිහි කළේ කවුද?  


හිල්ටන් ලෝකයට හඳුන්වාදුන් කොන්රඩ් හිල්ටන්  


‘‘හිල්ටන්’’ හෝටල සමූහයට ඒ නාමය ලැබුණේ එහි නිර්මාතෘවරයා ගෙනි. ඔහු නමින් කොන්රඩ් නිකොල්සන් හිල්ටන්ය. මේ හිල්ටන් උපත ලැබුවේ හරි අපූරු දවසකදීය. එනම් ‘‘නත්තල්’’ ද‌ාය. 1887 දෙසැම්බර් 25 වැනිද‌ා නිව් මෙක්සිකෝ නගරයේ ශාන්ත අන්තෝනියෝ හිදී එලෙසින් උපත ලැබුවේ නෝර්වීජියානු සම්භවයක් තිබූ හැල්වර්සන් හිල්ටන් සහ මේර් ජෙනිවිව් යුවළගේ දරුවකු ලෙසය. කොන්රඩ්ගේ පියා, එවකට ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරික චරිතයක් විය. පාසල් සහ උසස් අධ්‍යාපනය ලැබූ අවදියේ සිටම කොන්රඩ් නායකත්වයේ ලක්ෂණ පෙන්වූ තරුණයකු වූ අතර, හමුද‌ා පාසලකින් පවා අධ්‍යාපනය ලැබීය. එකල සිටම ජාත්‍යන්තරය හා බැඳී තිබුණු සංවිධාන සමග ක්‍රියාකාරීව කටයුතු කළ තරුණයකු වූ කොන්රඩ් ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකයකු ලෙසද කටයුතු කළේය. පළමු ලෝක යුද්ධය ඇරඹි සමයේදී තම වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම අරමුණු කරගෙන දෙවසරක් පමණ ඇමරිකානු හමුද‌ාවට බැඳී කටයුතු කළ කොන්රඩ්, නැවත ගෙදර පැමිණියේ පියාගේ හදිසි අභාවය සැලවීමත් සමගය. ඒ වෙන විට ඔහු ඇමරිකානු හමුද‌ාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියේ ප්‍රංශයේය. පියාගේ මරණය ඔහුට ගෙන දුන්නේ එක්තරා විදියක කම්පනයකි.   
‘‘අයියේ, ඔයා මානසිකව වැටෙන්නට එපා. අපි පවුලක් විදියට නැගී සිටීමට උත්සාහ ගනිමු’’ කොන්රඩ්ගේ හිත හැදීමට සහෝදරියන් කියා සිටියේ එලෙසිනි. කොන්රඩ් යනු බොහොම සංවේදී හිතක් තිබූ අයෙක් විය. කුඩා කාලයේදී වතාවක ඔහු ඇති කළ ‘‘පෝනියා’’ අහිමි වීමත් සමග ඔහු දැඩිලෙස කම්පාවට පත් වී දහ අතේ බලාගෙන කල්පනාවේ නිමග්නව සිටියේය. එකල ඔහුගේ මානසික තත්ත්වය - යහපත් අතට ගෙන ඒමට පුරෝගාමී වූයේ ආදරණීය මෑණියන්ය. පල්ලියේ ආගමික කටයුතුවලට මෙන්ම අනෙකුත් කටයුතු හා බෙහෙවින් බැඳී වෙලී සිටි පවුලක් ලෙස මෙම ‘‘හිල්ටන්’’ පවුල නම් කළ හැකිවේ.  


‘‘කුඩා කාලයේදී මම මුහුණ දුන් යම් - යම් සිදුවීම් හමුවේ හිත කලකිරී මානසිකව වැටුණාම මාව ඉන් මුදවා ගත්තේ අම්මා. ඉන්පසුව, තාත්තාගේ අහිමි වීම නිසා මම වැටුණේ දැඩි මානසික පීඩනයකට. එවිට මගේ හිත හැදුවේ ම​ගේ සහෝදරියන්. එයාලා නිසා මාත් කතෝලික පල්ලියේ වැඩවලට සහ ආගම දහමට බෙහෙවින් සමීප වුණා. ඒ නිසා ජීවිතයට ආ ප්‍රශ්න හමුවේ මට ධෛර්යවන්තව මුහුණ දීමේ ශක්තිය ලැබුණා.’’ පසු කාලීනව කොන්රඩ් හිල්ටන් පවසා තිබුණේ එලෙසිනි. 

 
තරුණ අවදියේ සිටම තාත්තාගේ ව්‍යාපාරික ආයතනයට ගොස් කටයුතු කරමින් සිටි නිසා ඔහු හා පියා අතර ලොකු බැඳීමක් ඇති වී තිබිණි. ඒ හැරත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රථම වරට රස්සාවක් කළේ නම්? ඔහු එය කළේ තාත්තාගේ සාප්පුවේය. කොන්රඩ්‍ ප්‍රංශයේ සිටියදී, ඔහුගේ පියා රිය අනතුරකින් මියගිය බව දැන ගත් පසු ඔහු සිතුවේ එය බොරු අාරංචියක් කියාය. එහෙත් එද‌ා ඔහු වඩාත් කම්පනයට පත්වූයේ එය සත්‍යයක් වග දැනගත් පසුවය. 

 
හිල්ටන් ආරම්භයට මුල පිරීම 

 
ව්‍යවසායකත්වයේ ආභාෂය ඔහු හට ලැබුණේ යෞවනයේ සිට පියාගේ ව්‍යාපාරික කටයුතු හා එක්වී කටයුතු කළ බැවිනි. 1919 දී කොන්රඩ් හිල්ටන්, ප්‍රථම වතාවට හෝටලයක් පටන් ගත්තේ පියාගේ ව්‍යාපාරික ස්ථානයේ බඩු ගබඩා කර තිබූ තැන කාමර 10 කින් යුතු හෝටලයක් බවට එය පරිවර්තනය කරමිනි. මුල්ම කාලයේදී ඔහු තමා ජීවත් වූ පළාතේදී ප්‍රාදේශීයව ක්‍රියාකාරී දේශපාලනයටද එක්වී සිටි චරිතයක් විය. බැංකු ක්ෂේත්‍රයට අවතීර්ණ වීමේ අරමුණ ඔහුට ඇතිවූයේ එකී කාලයේදීය. එහෙත්, ප්‍රථම වතාවට කාමර 10 කින් යුතු හෝටලයක් පවත්වාගෙන යමින් සිටි නිසා එම අංශයේ අත්දැකීම් රැසක් වෙතින් ඔහුගේ ජීවිතය අලුත් මගකට කැඳවාගෙන ගියේය. එහි ඵලය වූයේ කාමර 40 කින් සමන්විත, හෝටලය ටෙක්සාස්හි සිස්කෝ හිදී ආරඹීමට කොන්රඩ් හිල්ටන් හට හැකිවීමය.  


1919 දී හිල්ටන් නාමය යටතේ එලෙසින් සත්කාරක සේවා සපයන හෝටල ක්ෂේත්‍ර ද‌ාමයට එක් වූ ටෙක්සාස්හි ‘හිල්ටන්’ හෝටලයේ කාමර සඳහා නිරන්තරයෙන්ම ලැබුණේ ඉහළ ඉල්ලුමකි. ඉල්ලුම කොතරම් වීදයත්, කෑම ගන්නා ස්ථානය සඳහා වෙන්කර තිබූ තැන පවා කාමරයක් බවට පරිවර්තනය කිරීමට ඔහුට සිදුවිණි.  
එලෙසින් ටෙක්සාස් වෙතින් සලකුණු වූ ‘හිල්ටන්’ නාමය යටතේ ඇමෙරිකාවේ තවත් තැන් වලදී එකිනෙක හෝටල් විවෘත කිරීම එතැන්සිට ඇරඹිණි. ඩලස් හිල්ටන්, 1925 දී විවෘත වූයේ සුඛෝපභෝගී තත්ත්වය රැගෙනය. 1927 වැකෝ හිල්ටන්, එල්පාසෝ හිල්ටන් සියල්ල අයත් වූයේ ටෙක්සාස් ප්‍රාන්තයටය.   


ඉන් පිට ප්‍රාන්තයක ‘හිල්ටන්’ ස්ථාපිත වූයේ නිව් මෙක්සිකෝහි, අල්බකර්කි නගරයේදීය. වත්මනෙහි එය හැඳින්වෙන්නේ අන්ඩලුස් යන නාමයෙනි. මෙලෙසින් ලෝක තරු හෝටල සංස්කෘතියට ‘හිල්ටන්’ යන නාමය ව්‍යාප්ත වෙමින් තිබියදී, එවකට ලෝකයේ හටගත්, දරුණු ආර්ථික අවපාතය හමුවේ ‘‘හිල්ටන්’’ හෝටල් ගොන්න, බංකොලොත් තත්ත්වයට පත්වීමේ අවද‌ානමකට නතුවිණි. එකී ස්වභාවය හමුවේ හිල්ටන් නාමය යටතේ පවත්වාගෙන ගිය හෝටල කීපයක් විකුණා දැමීමටද කොන්රඩ් හිල්ටන් හට සිදුවිණි. පසුව ඔහු සතු වූ ශූර කළමනාකාරිත්වයේ හැකියාව නිසා අහිමි වූ හෝටල අටක් පමණ නැවත තමාගේ හිල්ටන් නාමය යටතට ගැනීමට කොන්රඩ් හට හැකිවිණි.  

 


හිල්ටන් ඇමෙරිකාව ජය ගැනීම  


ආර්ථික අවපාතය සහ දෙවැනි ලෝක යුදමය තත්ත්වය හමුවේ ඊට සාර්ථකව මුහුණ දුන්, කොන්රඩ් ඊළඟ දශකයේ නැගී සිටියේ උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර සහ මධ්‍යම ඇමෙරිකාවේ හිල්ටන් ජාලය ව්‍යාප්ත කරමිනි. එවකට ඇමෙරිකාවේ චිකාගෝහි තිබූ විශාලතම තරු හෝටලය වූ ස්ටීවන්ස් හෝටලය පවා හිල්ටන් යටතට පත්ව තිබූ අතර, එය පසුව ඔහු විසින් කොන්රඩ් හිල්ටන් නමින්, නම් කරන ලද්දේය. නිව්යෝර්ක් නගරය හිල්ටන් ආක්‍රමණය කළේ ‘වුල්ඩ්ඔෆ් ඇස්ටෝරියා’ සුපිරි හෝටලය හිල්ටන් නාමය යටතට රැගෙනය. 1946 දී හිල්ටන් හොටෙල්ස් කෝපරේෂන් එහිදී ස්ථාපිත වූවේය. ඉන් දෙවසරකට පසුව ‘හිල්ටන්’ තව තවත් බැබලෙමින් තිබූ අතර, 1948 දී හිල්ටන් ජාත්‍යන්තර සංස්ථාව ලෙස ස්ථාපිත විණි. 1950 දශකය මෙන්ම 1960 දශකයේදී හිල්ටන් ලෝකය අල්ලා ගැනීම හෙවත් ලෝක ව්‍යාප්තවීම සිදු වූයේය.  


ඒ අනුව ලෝකයේ ප්‍රථම වරට ජාත්‍යන්තරයේ ස්ථාපිත වූ තරු හෝටල් ජාලය හෙවත් දාමය වෙන්නේ මෙම හිල්ටන් නාමයයි. හිල්ටන් එලෙසින් ලෝක ව්‍යාප්ත වූ පසුව ඇමෙරිකාවට ගෙන දුන් විදේශ විනිමය සුළුපටු නොවේ. ඇමෙරිකානු ‘‘සංචාරක’’ ක්ෂේත්‍රයට ‘‘හිල්ටන්’’ නාමය මහත් ආලෝකයක් වූ බව කිව හැකිය. එහි නියමුවා වූයේ, මේ කොන්රඩ් හිල්ටන්ය. මෙම හෝටල් ජාලය වෙතින් සංචාරක ක්ෂේත්‍රයට කෙතරම් සේවයක් වීදයත්, ඒ වෙනුවෙන් ප්‍රකට සරසවි ගණනාවක් වෙතින් ‘හිල්ටන්’ හට ගෞරවනීය උපාධි සම්මාන පිරිනමා තිබේ.  

 


කොන්රඩ් හිල්ටන්ගේ පුද්ගලික ජීවිතයේ තරම  


කොන්රඩ් හිල්ටන්ගේ ප්‍රථම විවාහය සිදුවූයේ ඔහුගේ වයස අවුරුදු 38 දීය. 1925 දී ඔහු විවාහ වූයේ මේරි ඇඩිලේඩ් බැරන් සමගය. එය 1934 දී දික්කසාදයෙන් හමාර වුණි. ඉන්පසු 1942 දී හංගේරියානු සහ ඇමෙරිකානු සුරූපී නිළියක වූ ෂා - ෂා ගැබෝ(ර්) සමග කොන්රඩ් විවාහ වූවේය. එම විවාහය පැවැතියේ පස් වසරක් පමණි. ඒ වෙන විට මුල් විවාහයේ මේරි සහ කොන්රඩ් යුවළහට කොනාර්ඩ් (නිකී) නිකොල්සන් හිල්ටන්, විලියම් සහ එරික් මිෂල් නමින් පිරිමි දරු තිදෙනෙකු වූහ.  


දෙවැනි විවාහයේ ෂා - ෂා හට කොන්ස්ටන්ස් ෆ්‍රැන්සෙස්කා දියණිය වූ අතර, ඇය නිළියක මෙන්ම ප්‍රකට ඡායාරූප ශිල්පිනියක වූවාය. හිල්ටන්ගේ දෙවැනි විවාහයේ ‘ෂා - ෂා’ යුගදිවිය ගැන එතරම්ම තෘප්තියක් නොදැක්වූ බව සඳහන් වේ. කොන්රඩ් හිල්ටන්ගේ සුපිරි හෝටල ව්‍යවසායකත්වය තරමට යුග දිවිය එතරම්ම ශාස්ත්‍රීය නොවූ බව විටෙක සඳහන් වේ. කෙසේ වුවද දෙවැනි දික්කසාදය 1947 දී සිදුවීමෙන් අනතුරුව යළිත් කොන්රඩ් හිල්ටන් විවාහ වී ඇත්තේ 1976 දීය.  


‘‘මේරි ෆ්‍රැන්සිස් කෙළී’’ ඔහුගේ බිරිඳ වූවාය. ‘කොන්රඩ් හිල්ටන්’ නමැති පරාර්ථකාමී හිතක් තිබූ සොඳුරු මිනිසා මියයනතෙක් ජීවිතය ගත කළේ මේරි සමගය. 1979 දී මේ මහා හෝටල් නාමයේ ජාත්‍යන්තර ව්‍යවසායකයා මියගිය අතර, බිරිඳ මේරි මියගියේ 2006 වසරේදී යැයි වාර්තාවල සඳහන් වේ.  
මේ ලෝ ප්‍රකට හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයා දිවියේ අවසන් සමය ගත කළේ ලොස් ඇන්ජලීස් හි ‘බෙල් එයාර්’ නම් සුපිරි මන්දිරයේය. දිවියේ උපරිම ආයු වළඳා කොන්රඩ් හිල්ටන් මියගියේ වයස අවුරුදු 91 දීය.
‘කොන්රඩ් හිල්ටන්’ ජීවත්ව සිටියදී බොහෝ සමාජ සත්කාරක සේවා සඳහා යහමින් ධනය පරිත්‍යාග කළ සහ වෙන්කළ අයෙක් වීය. ‘කොන්රඩ් හිල්ටන් පදනම’ හෝටල් සහ සත්කාරක සේවයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා වූ ‘සරසවි’ ස්ථාන පවා පිහිටුවීමට මූලිකත්වය ගෙන තිබිණි. ඔහුගේ පළමු විවාහයේ දෙවැනි පුතු වූ බැරන් හිල්ටන් පියාගේ පරාර්ථකාමී ජීවිතයට අරුතක් දීම වෙනුවෙන් ‘‘හිල්ටන්’’ නාමය යටතේ සමාජ සත්කාරයන් සඳහා බොහෝ දේ කර තිබේ. අනෙක් පුතුන් ද ඊට විශාල සහායක් ලබා දී ඇත.  
‘‘ෆෝචූන්’’ සඟරාව කළ සමීක්ෂණයකට අනුව සමාගම් 100 ක් අතර සේවක තෘප්තිමත්බව උදෙසා කරන ලද සමීක්ෂණයකදී අංක එකට පත්වී ඇත්තේ මෙම ‘‘හිල්ටන්’’ නාමයයි.  


‘‘කොන්රඩ් හිල්ටන්’’ බොහෝ දෙනා අතර ප්‍රකටව සිටියේ හිල්ටන් නම් නාමයට වඩා ‘‘කොනී’’ යන ආදරණීය නාමයෙනි. එද‌ා මෙලෙසින් හෝටල් ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වයේ ගමනක් යාමට පෙර ‘‘කොනී’’ සංගීත කණ්ඩායමක කළමනාකරුවකු ලෙසද ටික කලක් කටයුතු කර ඇති වග සඳහන් වේ. කලාවට හිතැතියෙකු මෙන්ම හොඳ කලා රසිකාමියකු වූ ‘‘කොනී’’ හෙවත් කොන්රඩ් හිල්ටන් හෝටල් ජාලයෙහි වඩාත් ප්‍රකට සුපිරි තරු හෝටලය වන්නේ නිව්​ෙ‌යා්ර්ක් නගරයේ පිහිටි Waldrof Astoria හෝටලයයි. එමෙන්ම වැඩිම මිලකට අලෙවි වූ හෝටලය ලෙස සඳහන් වෙන්නේද එයයි.  

 


‘‘කොන්රඩ් හිල්ටන්’’ ගේ ජීවිතයේ ජයග්‍රහණයට හේතු වූයේ ඔහු අනුගමනය කළ ‘‘රීති’’ කීපයක් නිසාය.  


• ඔබ හොඳින් සිටින විට පමණක් යම් කිසි දෙයක් ගැන සිතන්න. ඉලක්ක කරන්න යොමුවෙන්න.  
• නිතරම තමා ගැන ලොකුවට හිතන්න. හැබැයි ඊටත් වඩා අවංක වෙන්න.  
• ඔබ මුහුණ දුන් ප්‍රශ්න ගැන පසු තැවීම් ගැන හිත හිතා සිටීමට කාලය වෙන් නොකරන්න.  
• ද්‍රව්‍යමය දේ පමණක් රැස්කර නොගන්න.  
• මිනිසුන් දිහා පහත්ව නොසිතන්න.  
• නිතරම අධිෂ්ඨානශීලීව සහ විශ්වාසනීයව සිතන්න.  
• වගකීම භාර ගැනීම සහ ඒවා භාර ගන්න මැළි නොවන්න.  
• උද්යෝගිමත්ව ජීවිතය නිතරම ගෙවා දමන්න හුරු වෙන්න.  


එසේ අදහස් දැරූ කොන්රඩ් හිල්ටන් සහ හිල්ටන් පවුල වෙතින් ලොව හෝටල් ක්ෂේත්‍රය සහ සත්කාරක සේවා අංශය උදෙසා ඉගෙනුමට සරසවි මට්ටමින් ඇති කළ අධ්‍යාපනික ආයතන වෙතින් නැණ ලබා සමාජයට බිහිවන පිරිස බොහෝ වෙති.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ