සැමියාට මානසික වද දුන් බිරිඳට දිවියෙන් වන්දි ගෙවන්න වෙයි


අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.   

සැමියාට මානසික වද දුන් බිරිඳට දිවියෙන් වන්දි ගෙවන්න වෙයි 


සරසවි සිසුවකු වූ මුණසිංහට මාගරට් මුණ ගැසෙන්නේ ඔහු නැවතී සිටි ගංගොඩවිල බෝඩිමේදීය. උපාධියට අමතරව බෝඩිමේ ඇන්ටිගේ දියණියද හිමිකර ගැනීමට මුණසිංහ සමත් විය. කොටින්ම කිවහොත් ගම්බද අහිංසකයෙකු වූ මුණසිංහගේ ගතෙහි මාගරට්ගේ මව විසින් සටකපටකමින් සිය දියණිය එල්ලන ලද්දේය.   


මවට නොදෙවෙනි කට්ට සූත්තරකාරියක වූ මාගරට් ව්‍යාජ සෙනෙහසින් මුණසිංහ පමණක් නොව ඔහුගේ ඥතීන් ද දිනා ගත්තාය. ගමේ මහගෙදර කෙටි කලක් සාමකාමීව අන් අය සමඟ සහයෝගයෙන් විසූ මාගරට් කෙමෙන් සිය අධිකාරි බලය මුදා හරින්නට වූවාය. එහි අවසන් ඵලය වූ​යේ දෙදෙනාටම නිවසින් යාමට සිදුවීමයි.   


1976 දී රජය ලබාදුන් රු. 250/- ස්ථාවර මාසික වැටුප යටතේ උපාධි ගුරුපත්වීමක් ලබාසිටි හෙයින් මුණසිංහට පවුල නඩත්තු කිරීමට මව්පියන්ගේ සහාය තවදුරටත් අවශ්‍ය නොවීය. ඔවුහු අසල ගමක කුලී නිවසක පදිංචියට ගියෝය.   


මාගරට් සිය නැන්දණිය හමුවේ පරාජය පිළි ගැනීමට මැලි වූවාය. නැන්දණියට හා සෙසු සාමාජික සමාජිකාවන් එකිනෙකා විරසක කරවීමට විවිධ උපක්‍රම යෙදුවාය. කේළාම් කීවාය. ව්‍යාජ පුවත් මවා ගම පුරා ප්‍රචාරය කරවූවාය. මුණසිංහලාගේ පවුල සමඟ සමීප සබඳතා පැවැත් වූ පවුල් කීපයක්ම වෛරක්කාරයින් බවට පත් කිරීමට මාගරට් සමත් වූවාය. එපමණක් නොව, ලොකු නෑනා එනම් මුණසිංහගේ වැඩිමහල් සොහොයුරියගේ විවාහය කඩා විසිරී ගියේ ඇය අන්පුරුෂයෙකු සමඟ සබදතා පවත්වන බවට ඇයගේ සැමියාට තහවුරුවන ලෙස ඇට වූ උපක්‍රමයක් නිසාය.   


මාගරට් සිය සැමියා සම්බන්ධයෙන් ගෙන ගියේද අකාරුණික පිළිවෙතකි. උදේට පාසල් යාමට ප්‍රථම තරමක් දුරින් වූ ළිඳෙන් දිය ගෙනවිත් භාජන පුරවන හෙතෙම ඇළෙන් දරුවාගේ රෙදි ද සෝදා තබන්නේය. නගරයේ පොළ පැවැත්වෙන දිනයක නම් පොළට ගොස් එළවළු ආදිය ගෙනෙන්නේය. මේ සියල්ල කර පාසලට යාමට දවල්වෙයි. එම කාලය අවම කර ගැනීමට මාගරට්ගෙන් සහායක් නොලැබේ.   


කොටින්ම කිවහොත් කෑම බෙදා ගැනීමට පිඟාන සෝදා තැබීම තරම් දෙයක් පවා සිදු නොකරන්නීය. පාසල නිමවී පැමිණෙන විට උ​දේ අතහැර ගිය සරම ඒ අයුරින් එතැනමය. එය ගසා දමා නවා තැබීමටවත් මාගරට් උනන්දු නොවන්නීය. මුව දොවාගැනීමට වතුර ටික කළයෙන් තමාම බේසමට හලා ගත යුත්තේය. බොහෝ දිනවල ඔහු පැමිණෙනවිට බිරිඳ පුතු සමග නින්දේය.   


 හොදි කඳුළක්වත් නැති වෑංජන සමග හට්ටි පිටින් දවල් කෑම මේසය මතය.   


රූ නින්දට පෙර දොර අගුල් දමා තිබේද, දොර යටින් විසකුරු සර්පයෙකුට ගෙට රිංගීමට ඇති ඉඩ අසුරා තිබේද කියා මාගරට් නොසොයන්නීය. සමහර දිනවල දොර ජනෙල්වල ද අගුල් දමා නැති බව දැන දැනම මුණසිංහ සිය කාමරයට වැද නිදන්නේය. සොරෙක් ආවොත් උඹට නොවැ හිරිහැර කරන්නෙ? ඔහු එසේ සිතන්නේය. සමහර රාත්‍රිවල නැගිට ගොස් බිරිඳ නිදන කාමරයට එබී බලන මුණසිංහ ඇය තද නින්දේ පසුවන අයුරු දැක කලකිරුණු සිතින් ආපසු හැරෙයි. ඉදිරි දොර විවර කර මිදුලට බහින හෝ අරමුණකින් තොරව පාර දිගේ යයි. පාලම මත මඳක් රැඳී සිට බොහෝ ඈතින් පෙනෙන සිරිපාදෙ විදුලි බුබුළුවල දුබල එළිය දෙස බලා සිටී. නිවුණු සිතින් යුතුව ආපසු පැමිණ නින්දට පිවිසෙයි.   
මෙසේ සැමියාට ළතෙන් බවින් තොරව සැලකූ මාගරට්ට ගම එපා විය. කොළඹ තිබූ විනෝදය නැත. ඊටත් වඩා නිවස හිමි කත නිවස ආපසු ඉල්ලීම ගම එපා කරවීමට හේතුවක් විය. ඇය සැමියාගේ එකඟතාව මත පුතු සමග සිය මව වෙත ගියාය.   


පසුව මුණසිංහ ද ස්ථාන මාරුවක් ලැබ කොළඹ ගියේය. ඔවුහු කුලී ගෙයක පදිංචි වූහ. ගමේදී මෙන් සිය වැටුපෙන් පමණක් ජිවිකාව කරගෙන යාමට නොහැකි විය. ගෙන්ගෙට ගොස් ළමයින්ට උගන්වා අමතර මුදලක් උපයා ගත්තේය. යතුරු පැදියෙන් සිය ගමන් බිමන් ගියේය. බිරිඳගේ ගමන් අවශ්‍යතාව ද ඔහු ඉටු කළේය. ඇය හිස් ආවරණ පැලඳීමට නොකැමතිය සිය කොණ්ඩා මොස්තරයට ඉන් හානිවන බැවිනි. එහෙත් නීතියෙන් ගැලවීමට හෙල්මටයක් හිස මත තබා ගන්නීය. එය නිසි පරිදි පැලඳීමක් නොවේ.   
දිනක් හිතවතෙකුගේ නිවසේ පැවැති උපන් දින සාදයකට දෙදෙනා යැතුරුපැදියෙන් යමින් සිටියහ. ඒ සෙනග හා වාහන අඩු අතුරු පාරකි. කිලෝ මීටර පහ හයකට වඩා දුර නොගියේය. ඉදිරිපස රෝදයේ හුළං එකවර අඩු විය. යතුරුපැදිය ආ වේගයෙන්ම ඇඹරී ගොස් පෙරළුණි පසුපස සිටි මාගරට් විසිවී ගොස් බිම ඇඳ වැටුණාය. හරි හැටි නොපැලඳ සිටි හෙල්මටය ඈතට පෙරළී ගියේය. හිස පාරේ වැදුණේ හඬක්ද නංවමිනි. ඇයගේ ගත නිසලවීමට ගත වූ​යේ තත්පර කීපයකි.   


තමන්ගෙන් රටට ඥාතීන්ට, හිතවතුන්ට සැමියාට ඉටුවිය යුතු යුතුකම් පැහැර හරිමින් එකිනෙකා කොටවා වෛරය වපුරුවන එවැනි අයට තමන් කළ පාපයේ ප්‍රතිඵල මේ ලෝකයේදීම අත් විඳින්නට සිදු වන්නේද ඒ අයුරිනි.

 



කෑගල්ල බෙලිගල,මනහර මහින්ද වෑකඩ මහතා ලියා එවූ කතාවකි.   

මස් වැද්දා ගිනි බටය පෑගි මරුට


මරතේලිස් මැදිවියේ පුද්ගලයෙකි. වැස්සකටවත් පාසලට නොගිය මොහුගේ මිලේච්ජ ක්‍රියා කලාපය පිළිබඳව ප්‍රදේශවාසීන් තුළ තිබුණේ අප්‍රසාදයකි. මරතේලිස්ගේ ජිවනෝපාය වූයේ වන සතුන් දඩයම්කොට විකුණා මුදල් ඉපයීමයි.   


ඒ සඳහා උදව්වට පාපමිතුරන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ. දිනපතා වනගතවන මරතේලිස් ඇතුළු පිරිස සතුන් කිහිප දෙනෙකු දඩයම් කරගෙන රැගෙනවිත් විකුණා මත්පැනින් පදම්වී විනෝද වූහ. මේ සඳහා මරතේලිස්ට වෙඩි බෙහෙත් කොටන ලද ගිනි බටයක් තිබිණි. අහිංසක ඌරන්, හාවුන්, ඉත්තෑවන් ආදී සතුන් තමාගේ ග්‍රහණයට නතුකර ගත්හ.   
මරතේලිස් මෙම පාපතර මස් වෙළෙඳාමෙන් ලද මුදලින් පොහොසතෙකු බවට පත්විය. නමුත් මත්පැන් බීමනම් අතහැරියේ නැත. දිනක් මත්වූ මරතේලිස් තනිවම වනයට වැදුණේය. එදා තම පාපතර මිත්‍රයෝ ඔහු සමග සිටියේ නැත. එහෙත් මස්වලට තිබෙන ලොල් බව නිසා ඔහුට වනයට යාමට එඩිතරවිය. මෙසේ වනයේ ඇවිද යනවිට මරතේලිස්ගේ දෙපාවලට යම් කිසි පුද්ගලයෙකු විසින් අටවා තිබූ ගිනි බටයක් පෑගී පුපුරා ගියේය.   


බරපතළ තුවාල ලැබූ මරතේලිස් රෝහල් ගත කෙරිණි. ඔහුගේ දෙපාවලට හා පොදු ප්‍රදේශයට මහත්ලෙස හානිවී තිබුණි. දින කිහිපයක් රෝහල් ගතවී ප්‍රතිකාර ලැබූ මරතේලිස් මිය ගියේය. තමා විසින් කළකම් මේ ජිවිතයේදීම පලදී ඇති බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ. යම් නොමනා ක්‍රියා කළවිට මේ ජිවිතයෙදීම හෝ පරලොව ජීවිතයේදීම පලදීම සත්‍ය වශයෙන්ම සිදුවේ.



අම්පාර ගලපිටගල, ධනපාල කොඩිතුවක්කු මහතා ලියා එවූ කතාවකි.   

එළුවාගේ ​ෙබල්ල කැපූ සේපාලට අත්වූ ඉරණම   


ඒ අසූවේ දශකයේ අගභාගයයි. සිරිලක පැවති භීෂණ යුගයක ආරම්භයයි. මෙසිරිලක කිසියම් වූ අවාසනාවන්ත සිදුවීමක් නිතර වැකෙන කාලයක් විය. එතරම් උගත් තරුණයෙකු නොවූ සේපාල සතුන් මැරීම මුල් කාලයේ විනෝදයට මෙන් කළ ද පසු කාලීනව එය ඔහුගේ ආදායම් මාර්ගය බවට පත්විය. ළඳු කැලයට රිංගා හාවුන් මීමින්නන් වැනි කුඩා සතුන් මළ පුඩුවලට අසුකර ගන්නා අතර උෟරන් ආදී සතුන් මැරීමට කඳන් බැදීම සිදු කළේය. ප්‍රදේශවාසීන් මොහුගේ මෙම ක්‍රියාව නොදන්නවා නොවේ.   


මසට ලොල්වූවන් මතට ඇබ්බැහිවීම නිතැතින්ම සිදුවන්නකි. තවත් සගයන් කිහිප දෙනෙකු ඊට එකතුවීම නිරායාසයෙන්ම සිදුවිය.   


 ප්‍රදේශයේ උත්සව අවස්ථාවන්ට මස් සැපයීම බොහෝවිට ඔහු අතින් සිදුවිය.   


කොතෙක් මහන්සි වුවත් එදින නම් කිසිදු සතකු ඔවුනගේ ගොදුරක් වූයේ නම් නැත. සගයින් සමග තිප්පොළට පැමිණ කුමක් කරම් දෝයි සිතමින් සිටිනවිට එක් සගයෙකුගෙන් අදහසක් ලැබුණේ මෙසේය.   


ඒයි මචං දැන් කරන්න දෙයක් නෑ. අගෝනිස්ගෙ එළුපට්ටියෙන් එළුවෙක් උස්සමු.   


ටික වේලාවක් බලාසිටි සේපාල හරිනේ ඔය තියෙන්නේ බඩු. පසුදා දහවලට කෙසේ හෝ මස් සැපයිය යුතුය. සන්ධ්‍යාභාගයේ කතිකා කරගත් පරිදි අගෝනිස්ගේ එළුගාලට රෑ මැදියමේ සේන්දුවී බෑ බෑ කියා කැගසද්දී එළුවකු ඔසවාගෙන ගාලෙන් පිටතටවිත් කට හිරවන්නට ගැටගසා තිප්පොළට සේන්දු විය.   


දැන් මස්ගැන ප්‍රශ්නයක් නැත. ඇඟේ තෙහෙට්ටුවට මත් වතුරවලින් පදම්වී සියල්ලෝ නින්දට වැටුණහ. කුරුල්ලන්ගේ නාදය සිව් දෙසින් ඇසෙද්දී කලබලවී නැගිටුණ සේපාල ඒයි නැගිට පල්ලා එළිවෙලා ඉක්මනට මේක ඉවර කරන්න ඕන හරිද? කී සේපාල එළුවාගේ බෙල්ල හිරවනසේ කණුවේ ගැට ගසා තියුණු මන්නා පහරක් උගේ බෙල්ලට එල්ලවත්ම අවාසනාවක තරම බෙල්ල කඳින් වෙන්වූයේ ගැටගසා තිබූ ලණුවද කැපී ගෙනය. කඳකොටස ලේ විදිමින් බඹ 10 ක් පමණ ඉදිරියටගොස් බිම පතිත විය. පසුව සගයින් සමග වහවහා එළුවා මස්කොට තමන් බාරගත් දේ ඉටුකරන ලදී.   


අගෝනිස් උදෑසන එළුගාලටගොස් බලනවිට පට්ටියේ එකකු අඩු බව ඔහුට වැටහිණ. කුමක්හෝ දෙයක් සිදුවී ඇති බව තේරුම් ගියේය. නිතැතින්ම අත්දෙකෙන් පපුවට ගසමින් අනේ දෙවියනේ මගේ සතා, අනේ දෙවියනේ මගේ සතා අනේ දෙවියනේ මගේ සතා කියමින් අහසට දෙ අත දිගුකරමින් වැළපුණේය.   


ගත වූයේ දින කිහිපයක් පමණි. එදින උදෑසන ගමේ තැන්තැන්වල කසුකුසුවක් පැවතිරෙන්නට විය. අන්න අහවලා (සේපාල) බස් හොල්ට්එකේ කණුවක බැඳලා ඔළුව වෙනම හෝල්ට් එකේ තාප්පෙ උඩය යනුවෙනි. එම වකවානුවේ පැවති සංවිධානයට ඔහු අනුබල දුන් පුද්ගලයකු නොවුවත් එම ග්‍රහණයට අසුවිය. තමන් කරනා ක්‍රියාව මේ භවයේදීම පඩිසන්දීම, කෙතරම් දෛවෝපගතද? සතුන් දඩයම් කළත් අවසානයේ ඝාතනය කළ සතාගේ මරණය අනුව ඔහුටත් දඬුවම් ලැබිණ.



නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රි මහතා ලියා එවූ කතාවකි.

වල් චූටියා නැවතුණේ අංගොඩ  


වල් චූටියා යනුවෙන් හැඳින් වූ ඔහුගේ පෙළපත් නම කිසිවකු දන්නේ නැත. අතන මෙතන කුලී වැඩ කරමින් නෑදෑයෙක් හෝ අඹු දරුවන් ද නැති ගමටම පිළිලයක් වූ අයෙකි. වල් වැඩ කරන නිසා වල් චූටියා වූ අතර, ඔහු ගැන අසල්වැසි ගම්වල අය ද දැන සිටියහ.  


මත්වතුර, දුම් පානය, සූදුව, සොරකම, දුරාචාරයට කප් ගැසූ කෙනෙකු ලෙස රජ කරන්නට විය. හොර පොල් කැඩීම, ගොයම් කරල් කැපීම, එළවළු කොටු සුද්ද කිරීම සහ හරක් හොරකම, කුකුළු හොරකම ආදියෙහි ද යෙදුණු අමනයෙකි. කාටත් එපා වුණ එකෙකි.  


මත්වූ පසු මුළු ගමටම බනින විට කිසිවකු එයට එරෙහි නොවූයේ මෝඩයන් සමග පැටලීමෙන් කරදර වෙන නිසාය. සූදුපොළවල දී දිනුමට වඩා පැරදුම උරුම විය. දුම් පානය නිසා නොනවතින කැස්සක් ද සෑදුණි. සොරකම්වල දී දඬුවම් විඳ සිර ගෙදරින් එළියට ආවත් චූටියා හැදුණේ නැත. හිර බතෙහි රස වැටී යොමුවුණේ නරක දෙයටමයි. පන්සලේ පින් කැටය සොරකම් කළ ඔහු බණක් කියන පැත්ත පළාතකවත් සිටියේ නැත. අනුන් දෙන අවවාද වහ කදුරු විය.  


වැන්දඹු ස්ත්‍රීන් මෙන්ම බිරිඳ තනිකොට රාත්‍රියට හේනට යන පුරුෂයින්ගේ නිවෙස්වලට ද රිංගූ ඔහු සල්ලාලකමට ද හපනෙකු බව ගමේ සැවොම දැන සිටි අතර, මොහු නිසා සමහර ස්ත්‍රීන් ගැබ්ගෙන චූටියාට දාව දරුවන් වැදූ සැටි ද රහසක් නොවීය. විවාහ නොවූවත් චූටියාට දරුවන්ගෙන් අඩුවක් නොවීය. පවට බරවූ ජීවිතයක් ගත කරන මොහුගේ ග්‍රහයා නීච වූයේ ශරීරය වැහැරී සවිබල නොමැති වූ නිසයි. සිහියද විකල් වී තනිවම කියවමින් ඇවිදින්නට වූයේ ගොමස්කඩ වූ ඇඳුම් ඇඳගෙනය. සුව නොවන තුවාල සෑදී සැරව ගලන්නට වීම නිසා කිසිවකු ළඟට ගියේ නැත. කොයිකවුරුත් දොස් කියන්නට විය.  


සිහි විකල්වී නන් දොඩවන වල් චූටියාගේ කරදරය බලවත් විය. මිනිසුන්ට ගල්වලින් ගැසීම, දඬු මුගුරු ගෙන පහරදීමට යෑම නිසා කවුරුත් සිටියේ බියකිනි. මොහුගෙන් ගම්මුන්ට සිදුවන හිරිහැරය එන්න එන්නම වැඩිවීම නිසා සිද්ධිය ග්‍රාම නිලධාරි මහතාට දැන්වීය.  


වල් චූටියා නිසා සිදුවන කරදර ගැන සිතූ එතුමා ඔහු අංගොඩ මානසික රෝහලට බාර දුන්නේ රෝගය උත්සන්න වීම නිසාය. ඉන්පසු ගම්මු සැනසුම් සුසුම් හෙළු අතර, චූටියා ගැන සොයා බැලීමට කිසිවකු රෝහලට ගියේ නැත. මේ නිසා ඔහු මිය ගියා ද නැතිනම් තවමත් රෝහලේ ප්‍රතිකාර ගන්නවා දැයි කිසිවකු දැන සිටියේ නැත. දැන ගැනීමට වුවමනාවක් තිබුණේ ද නැත.  


මේබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්