සල්ලාලයාට දේව දඬුවමක්


 

ඉඟිනියාගල ජයසෝම ගෝනපිනුවල මහතා ලියා එවූ කතාවකි.   

සතුන් මැරූ ගිනිබටය තමන්ටම පත්තුවෙයි


මැදරට සුඛෝපභෝගී නගරයකට ආසන්නව අක්කර 3-4 ක පමණ තේවත්ත අයිති කරුවූ ඔහු කවුරුත් හැඳින්වූයේ ‘රීඩ්’ මහත්මා යනුවෙනි. උස හීන්දෑරී අවිවාහකයෙකු රීඩ් මහතා එහි වත්ත සැදූ නිවසේ ජීවත් වූයේ තමාගේ සහෝදරයෙකුත් සමගය. කෑම බීම සාදා ගැනීමට වයසක සේවකයෙක් ද සිටියේය.   


තේවත්ත මැදින් ගම්මානයට යාමට පාරක් තිබුණ ද එහි යන එන්නන් සමඟ ඔහුගේ වැඩි කතාබහක් නොතිබුණි. එහෙත් ගම්මුන්ට කරදරයක්ද නොවුණි. රීඩ් මහතාගේ විනෝදාංශය වූයේ සවස් ජාමයට හාවෙකු හෝ කොකෙකු දඩයම් කිරීමයි. ක්‍රිස්තියානි ලබ්යිකයෙකු වූ මොහු මෙසේ කරන්නේ විනෝදයට මෙන්ම කෑමට අවශ්‍ය මස් සපයා ගැනීමටයි.   


සුපුරුදු පරිදි දිනක් සවස් යාමයේ තම පතරොම් තුවක්කුවත් දඩයම් බල්ලන් දෙදෙනාත් සමග සතෙකු දඩයම් කිරීමට වත්තේ එහේ මෙහේ යමින් ගල්කැට කීපයක් රැගෙන තේ ගස් උඩින් ගසා ඒ දෙසට බල්ලන් උසිගන්වන විට බුරාගෙන දුවන බල්ලන්ට බියේ සැඟවී සිටින හාවුන් මීමින්නු පණ බේරා ගැනීමට වල් පඳුරු කානු උඩින් ඒමේ අත දුව යති.   
ඔහුගේ උකුසු ඇසට අසු උන හාවාට හරියටම එල්ලය අල්ලා කොකා ගැස්සීම ඔහුගේ දක්ෂතාවයයි. මරු විකල්ලෙන් පැන පැන ටික දුරක් ගොස් මිය යන හාවා ‘රීඩ්’ මහතාගේ දෙපතුළ ළඟටම දඩයම් බල්ලන් කටින් එල්ලාගෙන ගෙනවිත් දීමට පුරුදු කර තිබිණි.   


වෙඩි හඬ ඔස්සේ හඹායන දඩයම් බල්ලන් තම රාජකාරිය ඉටුකළ පසු ඔවුන්ගේ හිස අතගා ඇඟ අතගා ඔවුන් සුරතල් කරන්නේ ඔවුන්ගේ දක්ෂතාවය අගය කිරීමටයි.   
මෙම දසුන් මග යන එන්නෝ නිසොල්මනේ බලමින් සිතින් දුක්වෙමින් යති. කිසිවෙක් කිසිවෙකුට මුවින් කිසිවක් නොකියති.   


සමහර දිනක සන්ධ්‍යා යාමයේ රංචුකරා පියඹා යන කොක් රෑනකට එල්ලය අල්ලා එකෙක් බිම දමා ගැනීම ද කරයි. මීටර් 100-200 දුරින් ඉගිලීයන කොකාට වැදුණු වෙඩි පහරින් බිම ඇද වැටෙන කොකා ද ළඟට ගෙන ඒම බල්ලන්ගේ රාජකාරියයි. ‘රීඩ්’ මහතාගේ රාජකාරිය සතාට වෙඩිතබා බලා සිටීම පමණි. තමන්ටත් ගොදුරින් සෑහෙන මස් ව්‍යාංජන කොටසක් බල්ලන්ට ද ලැබෙනබව ඔවුන් ද දන්නා හෙයින් ඔවුහු ද තම රාජකාරිය හරියටම ඉටු කරති.   


දිනක් සන්ධ්‍යා යාමයේ ‘රීඩ්’ මහතා කොක් දඩයමට සූදානම්ව වත්ත ඉහළට ගොස් හරියටම එල්ලය අල්ලා රංචුවේ කෙනෙකුට ගිනි බිඳිනවාත් සමගම ගැස්සී පය ලිස්සා වැටෙන්නට ගියේය. ‘රීඩ්’ ගේ පපුව මතටම උණ්ඩය පත්තු වී අසල ළඳු පඳුරකට විසිවූයේ ‘මයිගෝඩ්’ ‘මයිගෝඩ්’ මං ඉවරයි. මං ඉවරයි. යනුවෙන් කෑ මොර ගසමිනි.   
මේ වෙලාවේ වැඩ රාජකාරි නිමවූ ගම්මුන් තේවත්ත මැද පාරෙන් යනවිට ‘රීඩ්’ මයාගේ විලාපය ඇසී එතැනට ගොස් බලනවිටත් ඔහු ලේ විලක් මැද අවසන් හුස්ම හෙළන්නට සූදානම් බව පෙනුණි.   


​මොකද මහත්තයා උණේ‍ යයි ගම්මුන් ඇසුවිට ඔහුගේ මුවින් අවසානයට පිටවුණේ සත්තු මරපු තුවක්කුවෙන් මටත් මැරෙන්න වුණා. අනේ මම හරි පවු වැඩක් කළේ. උඹලනම් සත්තු මරන්න එපා කියාය.   


අවමංගල්‍යය කටයුතු ගමේ මිනිසුන් එකතුවී කළ අතර කාගේත් මුවිනුත් පිටවූයේ රීඩ්ටත් කළකම් පළදුන් බවයි.  

 



දැරණියගල යටිවල එන්.ජී. ලලිතා රත්නසීලි මැණිකේ මහත්මිය ලියා එවූ කතාවකි.   

සල්ලාලයාට දේව දඬුවමක්   


​ඔහු දඩබ්බරයෙකි. මව්පියන් ඔහුට පෙළවහක් කර දුන්නේ දැන්වත් හැදේවි යැයි කියාය. එහෙත් බිරිය කැන්දාගෙන විත් සුමානයකින් ඇය පන්නා දැමීය. ඊට පසු කැලය කොටා පැලක් සාදා එහි මඤ්ඤොක්කා හේනක් සෑදුවේය.   


මොහුගේ මවගේ නැගණිය දිනක් පුතාත් සමග මඤ්ඤොක්කා ගේන්නට මොහුගේ හේනට ගියාය.   


ඔවුන් දුටු ඔහු තම මව තරම් වයසැති ඇයට ‘පුංචි අම්මේ කාල යන්න මේ අල ටික තම්බන්න’ කියමින් මහා අල ටිකක් ගෙනත් දුන්නේය.   


අනතුරුව දසහැවිරිදි පුතාව ඇමතුවේ මල්ලිය කියාය.   


මල්ලියේ අර පහළ ගෙදරින් හුණු ටිකක් ඉල්ල ගෙන වරෙන්. ආ...... ඊට පල්ලෙහා ගෙදරින් බුලත් කොළ ටිකකුත් අරන් වරෙන්, කියමින් රුපියල් සියයේ කොළයක් කොලුවා අතට දුන්නේය.   


ඉතුරු සල්ලි උඹම තියාගනින් යැයි කීවේ කපටි හිනාවක් ද පාමිනි.   


පුංචි අම්මේ අල ටික තම්බලා හොඳවයින් ලුණු මිරිසකුත් හදපන් කියමින් ඔහු හේන පැත්තට ගියේය.   


හේනට ඇතුළුවන කඩුල්ල වසා මහා අකුළක් ගෙනැවිත් දැමුවේය.   


එරමිණියා - කහඹිලියා අතු වලින්ද, කඩුල්ල වසා දැමුවේය. ඊට පසු අමුඩයකුත් ගසා ගෙන පැලට ගියේය.

   
පුංචි අම්මා තවමත් අල සුද්ද කරන්නීය. ඊළඟට ඔහු ඇය අල්ලා ගත්තේය.   


ඇයි බුදු පුතේ? ඇයි මේ..? යනුවෙන් ඇය කෑ මොර දුන්නාය. පැල ඇර තිබූ බැවින් පිටවී යන්නට වෙර දැරුවාය.   


හ්ම් මගෙන් බේරිලා යන්න හිතුව මදි. ඔහු අමුඩයත් ගැලවුවේය. ගණදෙවි නුවණ පහළවූ ඇය ළඟම තිබුණු පිහිය අමෝරා හැකි වැරෙන් දමා ගැසුවාය.   


ඊට පසු ළිපෙන් ගිනි පෙණෙල්ලක් ගෙන මූණට දමා ගසා කඩුල්ල පැත්තට දිවුවාය.   


දෙවියනි... කඩුල්ලෙන් යන්න බැරිය. ඇය හේනපුරා පැන යා හැකි තැනක් සෙවුවාය.   


වෙඩි කෑ ඌරකු මෙන් නිරුවතින් ලේ පෙරාගෙන යකෙකු මෙන් එන මොහු දුටු ඇය වැට අල්ලා දේව පිහිට ඉල්ලුවාය. එවිටම ‘අම්මේ අම්මේ..’ යන හඬක් ඇසිණ.   
පුතේ මම බේරාගන්න. දුවලා ගිහින් කාව හරි එක්ක එන්න. කියමින් ඇය කෑ ගැසුවාය.   


එවේලේම මහ හඬින් වෙඩි ශබ්දයක් නිකුත් විය. මරු වැලක් පෑගී මොහුගේ කකුලට වෙඩි පත්තු විය. ඒ අවසරයෙන් ඇය කඩුල්ලෙන් රිංගා ගත්තාය.   


ගෙදර පැමිණි ඇය මේ විස්තරය හැමෝටම කීවාය. ටික කලක් යන තෙක් මොහු පෙනෙන්නට නො සිටියේය.   


පසුගිය භීෂණ සමයේ මොහු ගමට පැමිණියේය. දිනක් රෑ ත්‍රස්තවාදීන්ගේ ගෙවල් ගිනිබත් කරන ලදී. එදා මොහු ආගිය අතක් නොවීය. එක ගෙදරක නිවුණු ගිනිදැල් මත බල්ලන් කපුටන්ගේ ඝෝෂාවක් ඇසුණෙන් ගම්මු එතැනට එක් රැස් වූහ. මොහුගේ ඇඳුම් පසෙක පොල් ගසක් මුල තිබුණු අතර බලු කපුටන්ට ආහාරයක් වූ මොහුගේ සිරුරට අවසන් කටයුතු සිදු කරන්නට පවා කිසිවෙක් ඉදිපත් නුවූහ.   


මරණයට හේතුව ලියූ දිග පෙත්සමක් විය. එහි හැම ගෙදරකම තරුණ තරුණියන්ට විරුද්ධව ගොනු කළ පෙත්සමේ ඔවුන් ත්‍රස්තවාදීන්ට සම්බන්ධයැයි සඳහන් විය. ඒ පෙත්සම ගසා තිබුණේ ඔහුය.   


මේ පෙත්සමත් දෝතින් අරන් ගෙවල් පුච්චන අය ඉදිරියට එනවිට අමුවෙන්ම ගෙට දමා ගිනි තියා ඇත. 

 
කළ කම් පල දෙන්නේ එසේය. හැම ගමකම මෙවැනි අය සිටී. අනුන්ගේ දේපළ බලෙන්ම තනියෙන්ම භුක්ති විඳින අය සිටිති. ඔවුන්ටද කළකම් පළදෙනු නොඅනුමානය.   

 


 
රිකිල්ලගස්කඩවල - ටී.එම්. සෝමපාල මහතා ලියා එවූ කතාවකි.   

ව්‍යාජ දේශප්‍රේමියාගේ දෙපා අප්‍රාණික වෙයි


පසුගිය සමයේ රටේ පැවැති අයහපත්කාරී යුද කාලය තුළ දසනායක ලෙසින් පමණක් හඳුනන පොලිස් නිලධාරියෙක් අප හා මිත්‍රව සිටියේය. උතුරුකරයේ සහ නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි කළ ඔහු කිහිප වරකදීම වෙනත් පොලිස් ස්ථානවලට සේවා ස්ථාන මාරුවීම් ලැබූ නමුත් ඔහු එය අවලංගු කරවා ගනිමින් යළි යළිත් එම සේවා ස්ථානයටම සිය පත්වීම හදාගත් අයෙකි.   


බොහෝ පොලිස් නිලධාරීන් යුද සමයේ උතුර නැගෙනහිර සේවයට යාම ප්‍රතික්ෂේප කර කෙසේ හෝ ස්ථාන මාරුව අවලංගුකරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටිය දී ඔබ පමණක් මේ අයුරින් එම පෙදෙස්වලට යන්න විශේෂ හේතුව කුමක්දැයි විමසූ විට පවසා සිටියේ දේශප්‍රේමී නිලධාරියෙකු නිසාවෙන් එය සිදුකරන බවකටය.   


ඉඳහිට හමුවන දසනායක පොලිස් නිලධාරියා සමග ඇතිවන සුහද හමුවීම්වල දී අවංකත්වය, ගුණකරුක භාවය, රාජ්‍ය පක්ෂපාතීත්වය, කෘතවේදී බව, ජාත්‍යානුරාගය, මිනිස්කම හා සංවේදී බව ඔහු විසින්ම මතුකරගන්නා කරුණකි. ඔහු නිතරම අවවාද අනුශාසනා කරන්නේ මේ කරුණු මුල් කර ගනිමිනි. එහෙත් ඇසුරේ දී දැඩි අවංකවත්යක් කාරුණිකත්වයක් පැවැසුවත් ගුණයහපත වචන මාත්‍රායෙන් පමණක් ඔහු සතු බව හොඳින් පෙනී ගිය අතර කිසිවිටකවත් අඩුම තරමින් හෝටලයක තේ බිලක් ගෙවා දැමීමටවත් ඔහුගේ පොකැට්ටුව විවෘත නොවූ හෙයින් සමීපතම ඇසුරකට අපි පත් නොවී ටිකෙන් ටික දුරස්තවීමි.   


කැසැට් යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, සහ විවිධ ඉලෙක්ට්‍රොනික් උපකරණ සුළු අලුත්වැඩියාවක් කර සකසා ගත හැකි හෙයින් පැමිණ අඩු මිලට ගන්නා ලෙසින් දැන්වීම අනුව මහනුවරට නුදුරු කුලී නිවසක රැඳී සිටි ඔහු සොයා ගිය වාර බොහෝය. මගේ මිතුරන්ද එහි ගොස් විවිධ උපකරණ වෙළඳපළේ මිලට අඩුවෙන් ලබාගෙන තිබුණි. ඒ සඳහා රිසිට්පතක් ඉල්වා නොසිටියේ ඔහු හා පැවැති සුහදතාවය හේතුවෙනි. 

 
එම පොලිස් නිලධාරියා පිළිබඳව පැහැදිලිව තතු දත් අය සමඟ හෝ දන්නා අයගෙන් ඔහු ගැන අගයමින් කතා කළ අවස්ථාවල එම පිරිස් සිනාසුනා මිස ඔවුන්ගෙන් පිළිතුරක් නොලැබුණි. ලංකාවේ බැංකු කොහෙ ද තියෙන්නේ. හැම බැංකුවක්ම පාහේ රන් භාණ්‍ඩ උකස් කරනවා. සින්න වෙන්න දෙනවා මිස බේරාගැනීමක් නම් ඔය රාළහාමිගෙන් හෝ එම පවුලේ අයගෙන් නම් සිදුවෙන්නෑ. හැම තැනින්ම ලියුම් එනවා කියා තැපැල්කරු කීවා. අයෙකුගෙන් දැන ගන්නට ලැබුණි.   


පසුගිය මාසයක ප්‍රදේශයෙන් පිටත එක්තරා පෙදෙසක මළ ගෙදරකට සහභාගීවීම පිණිස අපි යමින් සිටිය දී අත්වාරු දෙකකින් දැඩි අපහසුතාවෙන් ප්‍රසිද්ධ දේවාලයකට යමින් සිටි අයෙක් දැක අපි උදව්වක් කරමුයි කියා ඔහු වෙත ළඟාවෙත්ම ඒ කවුරුත් නොව ඉහතකී පොලිස් රාළහාමි බව හඳුනාගැන්ම අපහසු නෙවීය. උතුරු කරයේදී කොටින්ගේ බිම් බෝම්බයකින් එක් පාදයක් අහිමිවුණු බවත් දියවැඩියාව හේතුවෙන් අනෙක් පාදයේ තුවාලය සුව නොවුණු හෙයින් එම පාදයත් කපා දැමීමට වෛද්‍යවරු කියා ඇති නිසා දේවාලේ පූජාවට යන්න හරි අමාරුවෙන් වුවත් මේ කන්ද නගිනවා ඔහුගේ පිළිතුර විය.  


වැඩි යමක් විමසා නොසිටියත් මහත්තයෝ ඉඩමක් අරන් ලස්සනට ගේකුත් හැඳුවා පදිංචිවෙන්න තිබ්බේ දින දෙකයි. පසුගිය කාලේ ගෙදරත් සේසතත් සියල්ල නායට ගොදුරුවුණා. වාසනාවකට අපේ ජීවිත බේරුණා කීවේ කඳුළු බිඳු කිහිපයක්ද පිටකරවමිනි. ඒ අතරේ සිටි එකදු දුවත් අපට නොගැලපෙන මිනිහෙක් එක්ක පැනලා ගියා. මොනවා කරන්නද? මා පළමුවරට ඔහුගේ දෙනෙතේ කඳුළු දුටුවේ එදාය.  

 


මෙබඳු කතා ඔබටත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න 

සකස්කලේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්