සතුන් මැරූ මර උගුල මස් වැද්දාටත් ගැස්සෙයි


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මගපෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

 

අම්බලන්තොට හේමාල් ගමගේ මහතා ලියා එවූ කතාවකි.   

අන් පවුල් බිඳ වූ පවින් තම පවුලත් බිඳේ


ඛේමා පාසල් ගුරුවරියකි. ඇයගේ සැමියා ද රජයේ සේවකයෙකි. දෙදෙනාට දරු සෙනෙහස අහිමිය. තමන්ගේම දරුවෙකුගේ සුරතල් බැලීමට වෛද්‍යවරුන් පසුපස දිගුකලක් ගොස් ලක්‍ෂ ගණනින් ධනස්කන්ධය වැය කළෝය. යකැදුරන්, දේවාල කපුවන්ගේ සහාය ද ලබා ගත්හ. එහෙත් ඵලක් නොවීය. ඉන්පසු වෙනත් විකල්පයක් වෙත යොමු වූහ. කාගේ හෝ ළමයෙකු ගෙන හදාගන්නා විට, තම කුසෙහි ද දරුවෙකු පිළිසිඳ ගනිතැයි ඇය අසා තිබුණි. එම අරමුණ පෙරදැරිව ඛේමා, දියණියක තම දරුවෙකු සේ හදා වඩා ගන්නීය එහෙත් ඇයගේ පැතුම ඉටු නොවිණි.   


ඛේමා හා සැමියා තකට තක ගැළපුණේය. ඒ, ඔවුන් තුළ පවත්නා යහගුණ නිසා නොව විවිධ දුර්ගුණ අතින් දෙදෙනාම සමාන වූ හෙයිනි. ඔවුන්ට අසල්වැසි පවුල් සමගියෙන් සිටිනවා දැකිය නොහැක. ඇසේ උල්කටු අනින්නාක් මෙනි. එබැවින් කුමක් හෝ කේළමක් කියා එම දෙමහල්ලන් විරසක කරති. භේද කරති. නැතහොත් පවුල් විසුරුවාලීමට කටයුතු කරති. ඇය උගන්වන පාසලේ ගුරු ජෝඩුවලට ද එම කලදසාව උදා කළාය. තරුණ ගුරුවරු ගුරුවරියන් අතර ද පෙම් සබඳතා ගොඩනැගී තිබුණි නම්, ඒවා අවුල් කිරීමට ද ඛේමා අකාරුණිකව මැදිහත් වූවාය.   


සැමියා තරමක නෝංජල් ගති ඇත්තෙකු බැවින් බිරිඳගේ කටයුතුවලට විරුද්ධවීමට සවියක් නොවීය. එනිසා හරි හෝ වැරදි හෝ වේවා බිරිය ගහන පදයට නටන්නට ඔහුට සිදු විය.   
කල්ගත විය. හදාගත් දියණිය තරුණ වයසට එළඹියාය. මවගේ නොහොබිනා කටයුතුවලට දියණිය ද සහාය කර ගැනිණි. එහෙත් ඇය පියා තරම් මවට අවනත නොවුවාය. ඇය ද ගුරුවෘත්තියට පිවිසුනාය. ඇය ආවාහ කර ගත්තේ වෙනත් ප්‍රදේශයකින් පැමිණ අවට පාසලක සේවය කළ ගුරුවරයෙකි. විවාහ දිවිය සතුටින් ගත විය. සැමියා බිරිඳගේ ගෙදර නතර විය. කාලයාගේ ඇවැමෙන් දියණියක ද ලැබිණ.   


තම දියණිය විවාහයට පෙර තරුණයෙකු ඇසුරු කළ බව ඛේමා දැන සිටියාය. කුල ගෝත්‍ර ප්‍රශ්නයක් මත ඇය එම සබඳතාව විවාහය තෙක් ගෙන යාමට ඉඩ නොදුන්නාය. එහෙත් දියණිය අන් තරුණයෙකු හා විවාහ වුවද ප්‍රථම ප්‍රේමය අමතක නොකළාය. ඉඩ ලද හැම අවස්ථාවක්ම ඇය ඔහු හමුවීම පැහැර නොහැරියාය. එදින ද එබඳු ඉඩ ලද අවස්ථාවකි. හොරකම සැමදා සැඟවිය නොහැකිය යන කියමන තුළින් සත්‍ය බවට පත් කරමින් ඇයගේ හොරකම හෙළි විය. සැමියා වෙනදා පැමිණෙන වෙලාවට කලින් නිවසට පැමිණියේය. සිය බිරිඳ අන් පිරිමියෙකු සමඟ යහන්ගතව සිටින අයුරු දෙනෙතට හසු විය. නිදහසට කරුණු අනවශ්‍ය ඔහු ඉවසීමෙන් කටයුතු කළේය. තමාගේ ඇඳුම් කීපයක් පමණක් බෑගයක රඳවා ගත් හේ මෝටර් රථය ගේට්ටුවෙන් පාරට ගත්තේය. නඩුවක් උසාවියේ පවරා දික්කසාදය ලබා ගත්තේය. අද ඔහු වෙනත් කතක සමඟ යුග දිවියට එළඹ සතුටින් ගත කරයි. ඛේමාගේ දියණිය තනි වූවාය. ඇයගේ සිගිති දියණිය හදා වඩා ගැනීම ඛේමාට භාර විය. එය අමුතු බරක් වුවද එය සඟවා සිටීමට ඇය දක්ෂ වූවාය. ඛේමා හා සැමියා මත පැටවුණු බර විශාලය. දියණියට යළි විවාහයක් කර දීමට බොහෝ වෙහෙස වූහ. එහෙත් ඒ එකක්වත් සාර්ථක නොවිණි. ඇය​ගේ හෙට දවස අවිනිශ්චිතය. ඛේමාගේ සැමියාත්, ඇයත් අනුන්ගේ පවුල් විසුරුවා හැරීමේ පාපය ඔවුන්ගේ දියණියගේ විවාහය මතින් ගලා ගියේ ඒ අයුරිනි.   

 



හලාවත, ඉලිප්පදෙණිය තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවු කතාවකි.   

කුකුළු හොරාට රජ කාලේ දඩුවමක් 

 

දැනට වසර තිහකට පමණ පෙර කළ කෑලෑබඳ ගම්මානවල එකට යාබද ගෙමිදුලැති ගෙවල් තනාගෙන එකාබද්ධ මිනිස් ජීවිත ගත කළහ. එවිට පිරිස් බලය තහවුරුවීම නිසා වටින් පිටින් එන සතුරු කරදර අඩුවීමත් අලි කොටි වළස් ආදී රුදුරු සතුන්ගෙන් ආරක්ෂා වීමටත් ඔවුන්ට හැකි විය.   


මේ ගමේ එක ගෙදරක විසු ජේමිස් සහ ඔහුගේ බිරිඳ රොසලින් ගමේ කා අතරත් විශේෂ පිළි ගැනීමකට ලක් විය. ඒ ඔවුන් දෙදෙනා ගමේ හැම වැඩකදීම පෙරමුණ ගෙන ක්‍රියා කිරීම නිසා වෙනි.   


ගමේ ගෙදරක කොටහලු මඟුල් උත්සවයක් යෙදුණි. උදේ කාලේ ජේමිස්ගේ ගෙදරට පැමිණි දෙදෙනෙක් බුලත් පිළිගන්වා දෙදෙනාටම උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කළහ.   


‘රොසලින් නෝනේ උඹ අපේ රබානත් අරගෙන වේලපහම ගිහින් මඟුල් ගෙදර වැඩට උදව් දීපන්. මං රැවෙන කොට ඔහේට එන්නම්’ ජේමිස් කීය.   
 ඒ අනුව රොසලින් රබාන රැගෙන එහි ගියාය. ජේමිස් ගෙදර වැඩපළ අවසන් කර කුස්සියේ කාඩි ළිපට ගිනි පත්තු කර අරක්කු පෙරීමේ යෙදුණේය. ඒ අතර තුරේ රොසලින් තම සැමියාගේ දවල් කෑම පිඟාන රැගෙනවිත් ඔහුට බාර දී යළි ගියාය.   


මඟුල් ගෙදරට ඕඩර් කළ අරක්කු බුලිය ගේ අසල කසළ ගොඩක සඟවා තැබු ජේමිස් කළුවරේම සුපුරුදු කුකුළු සොරකමේ ගියේය.   
ඒ වන විටත් මඟුල් ගෙදර රතිඤ්ඤා සද්දේ සහ කොලු කෙල්ලන්ගේ ප්‍රීති විනෝද අත්පුඩි හඬ මුසුව රබන් පද නාදේ ගම පුර රැව් පිළිරැව් දුන්නේය.   
‘මේ තමා හොඳම වෙලාව’ එසේ සිතූ ජේමිස් අසල් වැසි ගෙදර ඉඩමක තනා තිබු කුකුළු කොටුවට රිංගා අතට අසුවුණු කීප දෙනෙකුගේ බෙලි මිරිකා උරේක දමාගෙන තම ගෙදරවිත් පිටුපස කුස්සිය ඇතුළේ සඟවා තබා යළි හැඳ පැළඳ ගෙන අරක්කු බූලිය කරට ගෙන ඉක්මන් ගමනින් කොටහලු මඟුල් ගෙදර බලා පා නැගුවේය.   
මුලින්ම අරක්කු බුලිය ගෙහිමියට බාරදී තමා ඉනේ ගසාගෙන ආ බෝතලෙන් කට පුරා අඩියක් ගැසුවේය. ගෙමිදුලේ අඹ ගස යට රබන් ගසන ගැහැනු සමග එකතු වූ ජේමිස් රබාන වටේ කැරකි කැරකී සුපුරුදු ඩාන්ස් රාජකාරිය ආරම්භ කළේය.   


ඒ අතරේ තමා අසල් වැසි එමානිස් අප්පු රෑ හත හමාරට පමණ ජේමිස්ගේ ගෙදරට පැමිණියේ ඔහුත් සමග එකතුවී මඟුල් ගෙදර යන චේතනාවෙනි. එහෙත් කිසිවකු නොසිටියත් කුස්සිය ඇතුළේ දැල්වෙන කුප්පි ලාම්පුව දැක එබී බැලීය. උරේකින් එළියට ආ කුකුළෙකු මරණාසන්නයේ ගැහෙනවා ඔහු දිටීය. මෙහොතකින් එමානිස් අප්පු මේ තමන්ගේ කොටුවේ කුකුළන් බව දැන ගත්තේය.   


වහා ක්‍රියාත්මකවූ ඔහු කුකුළු උරේ රැගෙන කුස්සිය මුල්ලක තිබූ කැත්ත අතට ගත්තේය. මඟුල් ගෙදර දිහාවට ළඟාවී බලද්දී ජේමිස් හා රොසලින් රබාන වටා ඩාන්ස් දමනවා පෙනුණි. අතේ උරේ පසක තැබූ එමානිස් රැගෙන ආ කැත්තෙන් ජේමිස්ගේ පිට කොන්දට එල්ල කර, වැරෙන් පහර කීපයක් ගසද්දී මඟුල් ගෙදර රැස්ව සිටි පිරිසත් ගමේ අනෙත් සියලු දෙනාත් එතැනට රැස් වූහ.   


ජෙමිස්ගේ අතක් කැපී වෙන්වී ඔහු ලේ ​ගොඩක් මත වැටී දඟළයි. සියල්ල සිදුවී ඇති සැටි අසා බලාගත් ගමේ විසුවන්ගේ මුවින් මෙසේ දෝෂාරෝපණ පිටවිණ.   
මෙතෙක් කල් ගමේ කුකුළන් කෑ ජේමිස් නරි උතුමාණන් අද නම් බඩුත් එක්කම අතට අසුවුණා. ජේමිස් ඊට පසු කාලේ දී සුවපත් වුවද මැරෙන තුරාම කොටවූ අත පෙන්නා සිගාකෑමේ යෙදුණේ මේ ජීවිතයේ දීම කළකම් පලදෙන හැටි ඇස් පනා පිට ඔප්පු කරමිණි.

 



 අකුරැස්ස පහළ මලිදුව විත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවු කතාවකි.   

සතුන් මැරූ මර උගුල මස් වැද්දාටත් ගැස්සෙයි


ඈත දුෂ්කර නියම් ගමක නමගිය දඩයක්කරුවෙක් විය. ගමේ මෙන්ම අවට ගම්වලද මස් මාංශ සපුරා දීමේ සැපයුම්කරුවා වූයේ ද ඔහුය. හේ නමින් උක්කු බණ්ඩා වුවත් ගම්මු ඔහු හැඳින්වූයේ දඩයම් උක්කුවා නමිනි. උක්කුවා මළපොතේ අකුරක් නොදත්තා සේම හොඳක් නරකක් පවක් පිනක් පිළිබඳව අවබෝධයක් ද නොවීය ඔහුගේ කාලය ගත වූයේ වනාන්තර තුළය. සතුන් මරා මස් විකුණා මුදල් ඉපයීම ප්‍රධාන ජීවනෝපාය විය. දිනපතාම පාහේ සතුන් දෙතුන් දෙනෙකු දඩයම් කරගැනීම ඔහුට එතරම් අපහසු දෙයක් නොවීය.   
උක්කුවාගේ ප්‍රියතම උපාය වූයේ උගුල් ඇටවීමයි. ඒ සඳහා උක්කුවා අති දක්ෂයෙකි. කැලෑව පුරා අටවා තබන උගුල්වලට අසුවන එම සතුන් මස් කර විකිණීමෙන් දිනෙන් දින ඔහුගේ අතමිට සරුවිය. නිතර ඇණවුම් ලැබීම නිසා ගතමනාවෙන්ද උක්කුවාට අඩුවක් ​නොවීය. 

 
සතුන් ඇල්ලීමට අටවන උගුල් අතර ගැස්සෙන උගුල නම් ඇටවුම උක්කුවාටම විශේෂ වුවක් විය. එයට හාවුන්, ඉත්තෑවන්, උගුඩුවන් වැනි කුඩා සතුන් ඉතා පහසුවෙන් හසුකර ගැනීමට හැකි විය.   


සවස් කාලයේ වනයට වදින උක්කුවාට මෙවැනි උගුල් කීපයක් ඇටවීමට​ මහ වේලාවක් ගත ​නොවේ.   
අවශ්‍ය වන්නේ ශක්තිමත් කෝටුවක් හා සිහින් කේබල් කම්බියක් හෝ ශක්තිමත් තංගුස් නුලක් පමණි. පොළොවේ කුඩා ගුලක් හාරා ඒ අසලින් කෝටුව සිටුවන උක්කුවා කෝටුව කෙළවර කම්බිය හෝ නුල තදින් ගැට ගසයි.   
නුලේ අනෙක් කෙලවර තොණ්ඩුවකි. සේ මළ පුඩුවක් සේ සාදයි. අනතුරුව කෝටුව දුන්නක් සේ නමා තොණ්ඩුව පොළොවේ හෑරු ගුලට ළං කර යාන්තමින් රඳවයි. එය සුළු සෙලවීමක දී වුවක් වේගයෙන් ඉහළට එසවෙන්නේ අසුරු සැණිනි.   


ගුල​යේ කට ප්‍රමාණයට තොණ්ඩුව සකසා යාන්තමින් එය බිම රඳවා සතුන් ප්‍රිය කරන කෑමක් ගුල තුළින් තබයි. රාත්‍රී කාලයේ කෑම සොයමින් එන, කුඩා සතුන් ගුල තුළ දී කෑම ඉව වැටි කෑම ගැනීමට ගුල තුළට හිස දමනවාත් සමගම උගුල ගැස්සී දුන්නක් සේ නැමී තිබු කොටුව ඉහළට එසවෙයි. කෑම කෙසේ වෙතත් හරියටම සතාගේ ගෙලට වැටෙන තොණ්ඩුව තද වී කෝටුවත් සමගම සතා ඉහළට එස වෙන්​නේ ගෙල වැලලාගත් පරිද්දෙනි. උගුලෙන් ගැලවීමට සතා දගලන විට සිදුවන්නේ තව තවත් මළ පුඩුවට ගෙල හිර වී සතා මිය යාමයි. රාත්‍රිය පුරාවම උක්කුවා තැබු මෙවැනි උගුල්වල පැටලි මිය යන්​නේ ඉතාමත් ඛේදනීය අයුරිනි.   


පසුදින හිමිදිරියේම වනය තුළට වදින උක්කුවාගේ සතුට නිම් හිම් නැති වන්නේ තමන් තැබු උගුල් වලින් කීපයකටම සතුන් හසුවී එල්ලෙමින් පැද්දෙමින් සිටිනු දැකීමෙනි.   
මහ හඬින් සිනා පහළ කරමින් උගුල් වලින් සතුන් ගලවා ගන්නේ මහා වීරකමක් කලාක් මෙනි.   


ඕනෑම දෙයකට සීමාවක් ඇති බව පෙන්වා දීමට මිනිසුන්ට නොහැකි වුවත් සොබා දහම එය නතර කරවීමට තීරණය කරන්නේය.   
රෝගී පුද්ගලයෙකු ලෙස මෙතෙක් කාලය ගත කළ උක්කුවාට හිටි හැටියේ තද බල හිසේ කැක්කුමක් හට ගත්​තේය.   
මෙම රෝගය සුව කර ගැනීමට නොකළ වෙදකමක් නොවීය. ඔහු එළිවන තෙක් වේදනාවෙන් කෑ ගසමින් ගත කළේ නින්දක් ද නොමැතිවය. මෙය නිවසට පමණක් නොව අසල්වාසීන්ට ද මහත් හිරි හැරයක් විය.   


දිනක් හිටි හැටියේම උක්කුවා අතුරුදන් විය නොපැමිණි තැන ගමේ සියලු දෙනා එක්ව සොයා බලන්නට වූහ. වනය තුළට ගිය අයෙකුට දැක ගත හැකි වූයේ ගසක අත්තක ගෙල වැලලාගත් උක්කුවාගේ මළ සිරුරය. ගැස්සෙන උගුලකට හසුවී පැද්දෙන සතෙකුගේ සිරුර මෙන් උක්කුවාගේ සිරුර ද පැද්දෙමින් තිබෙන අයුරු දැක ගත හැකි වූයේ කර්මයේ විපාක කාටත් සනිටුහන් කරමිනි.   

 

 

සැකසුම
ප්‍රසන්න සංජීව තෙන්කෝන්