වසුපැටියා මැරූ ගුණේරිස් කිහිලිකරුවලින් පොලීසියට යයි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

බිංගිරිය කොස්වත්ත ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.  

වසුපැටියා මැරූ ගුණේරිස් කිහිලිකරුවලින් පොලීසියට යයි  


වයඹ පළාතේ ජීවත් වූ ඔහු අපි ගුණේරිස් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. ගුණේරිස්ගේ පියා ජයනේරිස් ගොවිතැනින් හා බතබුලතින් ජීවිතය ගැට ගසාගත් ධර්මිෂ්ඨ පුද්ගලයකු වූ අතර ඔහුට දාව උපන් පිරිමි දරුවන් තුන්දෙනෙක් වූහ. ‘ගුණේරිස්’ පවුලේ බාලයා වූ අතර කුඩා කල සිටම නාහෙට නාහන දඩබ්බර දුෂ්චරිත පුද්ගලයකු විය. පියා මව ඇතුළු අනෙකුත් දරුවන් කෙතරම් දැනමුතුකම් ලබා දුන්න ද ගුණේරිස් ඒ කිසිවක් ගණනකටවත් ගණන් නොගත් අකීකරු අයෙකු වූ අතර හොර මැරකම්වලට ද තදින් ඇබ්බැහි විය. ප්‍රදේශයේ හරක් හොරකම්වලට ද තදින් ඇබ්බැහි වූ ඔහු ප්‍රදේශවාසීන් අතර නම ගිය හරක් සොරෙකු බවට පත්විය.  


බොහෝ ගම්වාසීන් උදෑසන නැගිට බලන විට ඒ ඒ අයගේ හරකුන් වරින් වර නැතිව ඇති බැව් දැනගත් ගෙහිමියන් ඒ පිළිබඳව සැක පහළ කළේ ගුණේරිස්ගේ මෙම හරක් සොරකම් පිළිබඳවය. මෙම හරක් සොරකම් නිසා දෙතුන් වරක් ඔහු හිරේ විලංගුවේ වැටුණ ද ඔහුගේ මෙම ක්‍රියාවලිය නතර නොවූයේ ඔහුට ඒ පිළිබඳව ඇති දක්ෂතාව නිසාය.  
මේ නිසා ගුණේරිස්ගේ මුහුණ බැලීමටවත් ඔහු සමග කතාබස් කිරීමටවත් ප්‍රදේශවාසීහු මහත් බියක් දැක්වූහ. පාපකාරී ක්‍රියාවල නිතරම යෙදුණු ඔහු පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ තිබුණේ දැඩි අප්‍රසන්නතාවකි.  


මේ අතර දිනක් වැවක් ඉස්මත්තේ වූ නිවසක ගෙහිමියන් විසින් ගසක බැඳ සිටි එළදෙනෙකු හා සෑහෙන නාම්බන් වසු පැටියකු දුටු ගුණේරිස් ඉන් ගව පැටියා හොර රහසේ රැගෙන ගියේ වැව් ඉස්මත්තේ වූ කැලෑබද ප්‍රදේශයකටය. එහි වූ රූස්ස ගසක දෙබලයකට තබා බෙල්ල තදවෙන සේ බැඳගත් ගවයා එකම එක පොරෝ පහරකින් බිමහෙළුවේ කිසිම සිතක් පපුවක් නැති අධම පාපකාරී පුද්ගලයකු විලසිනි. පොරෝ පහරින් මරු වසඟයට පත් වසු පැටියාගේ පස්සා ගාතය කපාගෙන මස් කර රැගෙන ගියේ ඉතිරි කොටස කොළ අතුවලින් වසා දෙවනුව පරිභෝජනයට ගනු පිණිසය.  


වසු පැටියා නොමැති බැව් දැනගත් ගව හිමියා ඒ ගැන සොයාබැලීමේ දී පස්සා ගාතය නොමැති වසු පැටියා ඔහු දුටුවේ අහම්බෙනි. මේ පිළිබඳව මහත්සේ ශෝකයට පත් ඔහු වහා පොලීසියට ගොස් ගුණේරිස්ට විරුද්ධව පොලීසියේ සටහනක් තබ්බවා ගෙදර ආවේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද සමගිනි. ගුණේරිස්ගේ නිවසට හදිසියේ කඩා වැදුණු පොලිස් නිලධාරින්ට දැකගත හැකි වූයේ වළං කිහිපයක උයා පිහා තිබූ හරක් මස් ව්‍යාංජන කොටසක්. මේ වනවිට පොලිසියෙන් පැමිණෙන බැව් දැනගත් ගුණේරිස් තම යතුරුපැදිය පණගන්වාගෙන අධික වේගයෙන් ඉතා දුරබැහැර පළාතක නෑදෑ ගෙදරකට ගොස් සැඟවී සිටි අතර ඔහුව සොයා ගැනීමට ඒ අවස්ථාවේ පොලිසියට නොහැකි විය. ටික දිනකට පසු ඔහු තම නිවසට ඒමේ අරමුණින් තම යතුරු පැදියේ නැගී එනවිට හදිසියේ ලොරියක ගැටී පාද දෙකම කැඩී බිඳී ගිය ඔහු රෝහල් ගතවීමෙන් පසු ශල්‍ය කර්මයකින් පසු දණහිසෙන් පහළ කොටස කපා ඉවත් කළේ ඔහුගේ පණනල බේරාගැනීම පිණිසය. පාදවල තුවාල සුවවූ ඔහු තම නිවසට පැමිණියේ කිහිලිකරු දෙකක ආධාරයෙනි. නිවසට පැමිණි ගුණේරිස් නැවත පොලිස් අත්අඩංගුවට පත්ව පොලිසිය වෙත රැගෙන ගියේ පාද දෙකම අහිමිව කිහිලිකරු ආධාරයෙන් ආබාධිතයෙකු ලෙසය. මාස කිහිපයක් ප්‍රතිකාර ලැබුව ද ඔහු අදටත් පාද නොමැතිව කිහිලිකරු දෙක ආධාරයෙන් ඔබ මොබ යමින් ජීවත් වන්නේ ඉතාමත් අසරණවය.  


මෙම සිද්ධිය ‘මේ ජීවිතයේදීම කලකම් පළදෙන හැටි’ යසරඟට විදහා පෙන්වන්නක් බැව් ප්‍රදේශවාසීහු පවසති.

 



මල්වාන, කළුකොඳයාව කේ. නදීෂා කල්‍යානි මහත්මිය ලියා එවූ කතාවකි.  

ජිනාගේ සහ සිරාගේ ඉරණමට වුණ දේ


  මෙය දැනට අවුරුදු 40 කට පමණ පෙර ගඟක් අසබඩ නොදියුණු ගමක සිදුවුවකි.  


ඔවුන් දෙදෙනා අපි ජිනා සහ සිරා යන නම්වලින් හඳුන්වමු. ජිනා එම ගමේ මහ ගෙදර නමින් හඳුන්වන නිවසෙහි පවුලේ දූ දරුවන්ගෙන් හය වැන්නාය.  


දෙමාපියන් මොහු උසස් තැනකට ගෙන එ්ම පිණිස කොළඹ නගරයේ පුද්ගලික පාසලකට ඇතුළුකර නේවාසිකව අධ්‍යාපනය ලැබීමට කටයුතු සැලැස්විය. ඉගෙන ගැනීම වෙනුවට මොහු කළේ මිතුරන් සමග කල්ලි ගැසී ඇවිදින්නට යාම හා පිංතූර බැලීම වැනිදේය. එමනිසා ඔහුට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි විය. අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තේය.  


මෙයින් කලකිරුණු දෙමාපියන් ඔහුව ගමට ගෙන්වා ගත්හ. දෙමාව්පියන් සතු ගඩොල් නිපදවීමේ ව්‍යාපාරය ඔහුට බාර දුන්නේය. එතැන් සිට ඔහු ජිනා මුදලාලි නමින් හැඳින්විය.  
උදෙන් ගෙදර තිබෙන කරත්තය දක්කා ගෙන ගඩොල් වැඩ පළට යන ඔහු ආපසු නිවසට එන්නේ අඳුර වැටී ගෙන එන විටය. ඔහු උදේ ආහාරය දහවල් ආහාරය හා තේ ලබා ගන්නේ දුප්පත් අම්මා කෙනෙකුගේ තේ කඩයකිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට වඩා ලාබාල ආප්ප අම්මාගේ දියණිය තමාගේ සහකාරිය කර ගැනීමේ වාසනාව ද උදාවිය. ජිනා මුදලාලිට තම දියණිය විවාහ කර දීම භාග්‍යයක් ලෙස ඔවුහු සැලකූහ.  


ජිනා මුදලාලිගේ ගඩොල් ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු විය. ගඟබඩ පිහිටි ඔහුගේ ඉඩම් වැලි ගොඩ දමන අයට බදු දීමෙන් මාසිකව විශාල මුදලක් ලබා ගත්තේය. මේ නිසා මොහු ප්‍රදේශයේ ධනවතකු ලෙස සැලකුම් ලබන්නට විය.  


මේ වෙනවිට ඔහුට දේශපාලනඥයන්ගේ බැල්ම ද එල්ලවිය. එවකට ඡන්දය ආසන මට්ටමෙන් පැවතුන බැවින් එක්තරා දේශපාලන පක්ෂයක සමිතියේ සභාපති බවට පත්විය.  
ඔහු සහයෝගය දක්වන ලද දේශපාලන පක්ෂය ජය ගැනීම ද ඔහුගේ බලය තවත් වැඩිවීමට හේතු විය.  


මෙම බලය ඔහු යොදන ලද්දේ ගමේ දියුණුවට නොව පරිහානියටය. තමාට වඩා උසස් තත්ත්වයට යම් කෙනෙක් පත් වෙනවාට ඔහු අකමැති විය. ගමේ එකම බලවතා ඔහු යැයි සිතුවේය. තමා සහයෝගය දක්වන ලද දේශපාලන බලවතා මගින් රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන් රවටා මුදල් ලබා ගත්තේය. ඔහුගේ දේශපාලන ශක්තිය යොදාගෙන ගමේ ඉගෙන ගන්නා අයට හිරිහැර කළේය. නැගී එන පවුල් විනාශ කිරීමට හූනියම් කිරීම ද කරන ලදී. රැකියා සොයාගත් හෝ සොයා ගැනීමට උත්සාහ කරන තරුණ තරුණියන්ගේ රැකියා දේශපාලන බලධාරීන්ගේ උදව්වෙන් නැති කළේය. කෙටියෙන් කියහොත් ගමේ නැගී එන කිසිවෙකුට නැගී සිටීමට ඉඩ නොදුන්නේය. මේ සඳහා ඔහුට මැරවර පිරිසගේ හයිය, මුදල් බලය හා දේශපාලන ශක්තිය නොඅඩුව ලැබුණි.  


සිරා යනු දුප්පත් පවුලක අයෙකි. පිට ගමකින් පැමිණි ඔහු එම ගමේ ගඩොල් මුදලාලි කෙනෙකුගේ දියණියක විවාහ කරගෙන එම ගමේ පදිංචි වූවෙකි. ඔහු ද නාහෙට නාහන පුද්ගලයෙකු වුවද ගමේ කිසිම කෙනෙකුට ඔහුගෙන් කරදරයක් නොවීය. තම උත්සාහයෙන් තම බිරිඳට ලැබුණ ගඩොල් ව්‍යාපාරය සහ වැලිගොඩ දැමීමේ ව්‍යාපාරය දියුණු කරගෙන යන්නට විය.  


සිරාගේ මෙම දියුණුව ජිනාට අස්වැසිල්ලක් නොවීය. ඇසට ඉදිකටු අනින්නාක් මෙන් විය. එම නිසා සිරාගේ දියුණුව වැළැක්වීමට ජිනා අදිටන් කර ගත්තේය. මේ සඳහා සිරාගේ වැලි ගොඩ දමන පාරු ජිනාගේ මැරවරයන් යොදවා සොරකම් කර විනාශ කරන ලදී.  


මෙය ජිනාගේ වැඩක් යැයි සහසුද්ධයෙන් දැනගත් සිරා ඔහුගෙන් පළිගැනීමට අවස්ථාව බලා සිටියේය. ජිනා කරත්තයේ බඳින පෘෂ්ඨිමත් ගොන් නාම්බෙක් විය. වාහන නොමැති එම කාලයේ ගඩොල් වැඩපලේ සියලුම වැඩ කරනුයේ මෙම ගොන් නාම්බා බඳින කරත්තයෙනි. මේ නිසා ජිනා ඌට තම පණට මෙන් ආදරය කළේය. ඔහු ගාල් කරන ලද්දේ තම ගෙයි ඉදිරිපිටය.  


සිරා අවස්ථාවක් බලා තමාගේ ගෝලයන් යොදවා ජිනාගේ ගවයා හොරකම් කරන ලදී. හොරකම් කරන ලද ගවයා මරා කෑලිවලට කපා මස් මුදලාලි කෙනෙකුට දෙනලදී.  
සිරා තමාගේ ගවයා පැහැර ගෙන ගොස් ඇති වග ජිනා දැනගත්තත් එයට විරුද්ධව නීතිමය ක්‍රියාවන් හෝ වෙනයම් දෙයක් කිරීමේ හැකියාවක් නොවුනි. ගවයා ද ඔහුට ආපසු ලැබුණේ නැත.  


මෙයින් ටික කාලයකට පසු ජිනා රෝගී තත්ත්වයට පත් විය. කතා කිරීමට හා නැගිටීමට නොහැකිව ඇඳට වැටුණි. කරන ලද ප්‍රතිකාරවලින් ගුණයක් නොවීය. කෑමක් බීමක් හෝ කිසිදු ආහාරයක් නැතිව සති ගණනක් දුක් විඳ මියගියේය. ජිනා කළ අපරාධ මෙලොව දී පල දුන් බව ගම්වැසියෝ අදත් පවසති.  


ජිනාගේ මරණින් ටික කලකට පසු සිරාගේ අභාවය ද සිදු වූයේය. එය සිදු වුනේ කිසිම හේතුවක් නොමැතිව සිරා දුම්රියට පැන සියදිවි නසා ගැනීමෙනි. ගවයා කෑලි කෑලිවලට කැපුවාක් මෙන් ඔහුගේ සිරුර කෑලිවලට වෙන්වී ගොස් තිබුණි. ඔවුන් කරන ලද කර්මයන් මෙලොවම ඔවුන්ට පල දුනි. 

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.  

ගමට කොඩිවිනයක් වූ පල් හොරුන් චණ්ඩින්, බේබද්දන් අකාලයේ මරු තුරුලට  


දැනට දශක හත අටක පමණ කාලයක සිට ගමේ වාසය කළ ගැමි ජනතාව අතර හොරුන්, බේබද්දන්, සූදු අන්තුවන්, සල්ලාලයින්, වංචාකාරයින්, දූෂිතයින්, අදමිටුවන් ඇතුළු කාම අපරාධ කරන වනචරයින් ද සිටි බව පැහැදිලි කරුණකි.  


උපතේ සිට මරණය දක්වා ගෙවන්නා වූ මෙම අවිනිශ්චිත සුළු කාලය තුළ දී ගුණ දහමින් යුතුව ජීවත්වෙන අතර සුලබ වුවත් දවස තිස්සේම බණ කිව්වත් නොමහැදෙන එකා ගුණ දහමින් වෙලුවත් උගේ ගතිය අත් නොහරියි මැරූවත් යන උපදේශ කියමන සේ ඒකා යහමගට ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවන බව සත්‍යයකි.  


ගම් දනව්වල හොරුන්, චංඩින්, පමණක් නොව සෑම දුසිරිතේ යෙදෙන්නෙක්ම බෝ කරන්නේ ජනතාව බව පැහැදිලි කරුණකි.  


නිය පොත්තෙන් කඩා දැමිය යුතු පැළෑටියක් පොරොවෙන් කපා දමන තත්ත්වයට විශාල වෙන තෙක් බලා නොසිට කුඩා කාලයේදීම එය වනසා දැමිය යුතුවේ. ළමා කාලයේ සිටම හොරකමට පුරුදු පුහුණුවෙන තැනැත්තා ලොකුවීමේ දී පල්හොරෙකු දාමරිකයෙකු වන්නේ ද නිරායාසයෙනි. චණ්ඩින්ද එසේමය.  


අසරණ උදවිය තළා පෙළා වීරයෙක්වීමට තැත්කරන පුද්ගලයා ඉදිරියේ දී මිනීමරුවෙක් වීම කිසිම ජගතෙකුට කෙසේවත් වළක්වාලීමට නොහැකි බව පැහැදිලි කරුණකි.  
සමාජය විසින් මිනිසා වරදට පොළඹවනු ලැබේ. එහෙත් සමාජය හැදෙන්නේ ද මිනිසුන් මගින් වීම නිසා මෙයට වරදකරුවා සමාජය ද නැත්නම් මිනිසුන් ද යන්න ගැටලුවකි. පළමුව ලොව පහළ වූයේ කිකිළිය ද නොඑසේ නම් බිත්තරය ද යන පැණය මෙන් ඒ ව්‍යාකූල සහගතය.  


කෙසේ වෙතත් අදහමෙන් ජීවිතය පවත්වාගෙන යන්නාට වැඩිකාලයක් එසේ ජීවත් විය නොහැකි බව පැහැදිලිව පෙනෙන කරුණකි. ගින්නේ, ජලයෙන්, රෝග පීඩාවලින්, කල කෝලාහලයකදී වැදුණ පිහිපාරකින් හෝ පොලු පහරකින් ඔහුගේ ජීවිතය කෙලවර වෙන බව සක්සුදක් සේ පෙනේ.  


එදා මෙදා සිට ගමේ සිටියා වූ අදමිටුවන් සියලු දෙනාගේම ජීවිත අකාලයේ වැනසී ගියේය. ඔවුන් ගමේ වාසය කළ බවක් මේ වෙනවිට දක්නට ලැබන්නේ මතකයේ පමණි. සෑම මොහොතක් පාසාම සියල්ල වෙනස්වී යනු ලැබේ.  


අද හොඳ දේ හෙට වැරදි බව පෙනෙන්නේ එබැවිනි. ගහකොළ සතා සීපාවාට කරුණාව දක්වමින් සොබාදහම අනුව ජීවිතය ගෙන යන යුක්තිගරුකව හා දහමට හිතැතිව මනා ලෙස සිහි නුවණින් දිවි පවත්වාගෙන යන්නාට එලොව මෙලොව ජයගත හැකි අතර ඔහුට අකල් මරණයක් කිසිදාක සිදුනොවෙනු ඇත. 

 
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්