රජුගේ ආභරණ සොයා සිදුකරන නිදන් කොල්ලයක්


වැව් කණ්ඩිය කපාදමා ඇති අයුරු.

 

කෝට්ටේ රාජධානියට අයත් උප රාජධානියක් වන උඩුගම්පල රජකම්කළ සකළකලාවල්ලභ රජු විසින් තැන්පත් කරන ලදැයි කියන රජුට අයත් රාජාභරණ හා වස්තුව සොයා මිනුවන්ගොඩ අස්වාන ප්‍රදේශයේ පිහිටි වැව් කන්දක් පාතාල නායකයෙකු හා  ඔහුගේ සහචරයින් පිරිසක් විසින් විනාශ කරමින් සිටිති. 


උඩුගම්පල රාජධානියට අයත් ප්‍රදේශ ගොවිතැනින් සශ්‍රික කිරීම සඳහා සකලකලාවල්ලභ රජු විසින් ප්‍රදේශයේ වාරිකර්මාන්ත ආරම්භ කර විශාල වැව් කීපයක්ද ප්‍රදේශයේ  කරවන ලදී.


 මෙම වාරිකර්මාන්තයේ මුලස්ථානය ලෙස සැලකෙන ආස්වාන ප්‍රදේශයේ පිහිටි වැව් කන්දක එහි ප්‍රධාන සොරොව්ව පිහිටා ඇති අතර ඒ ආසන්නයේ පිහිටි ගල් තලාවක් යට සඟවා ඇති බවට සැලකෙන රජුගේ වස්ත්‍රාභරණ හා වස්තුව සොයා මෙම නීතිවිරෝධී මෙහෙයුම ආරම්භ  වූයේ මීට මාස දෙකකට පමණ පෙරදීය.


 ප්‍රදේශයේ පස් ජාවාරමට සම්බන්ධ පාතාල නායකයකු විසින් දැනටමත් වැව් කන්ද අක්කර ගණනක් කපා විනාශ කර දමා ඇති අතර නිධානය සොයා මෙහෙයුම් කිරීමට අමතරව එම කන්ද කපා පස් හා වැලි ජාවාරමක්ද පාතාල නායකයා විසින් ආරම්භ කර තිබේ. කාලයක සිට පැවත එන වැලි නිධියක්ද වැව් කන්ද  අසල පිහිටා තිබේ.


 රජයේ ව්‍යාපෘතියක් සේ ජනතාවට පෙන්වා මෙම නිධන් හෑරීම සිදුකරනු මෙම ස්ථානයේ පස් කැපීමට හෝ නිදන් හැරීමට නොමැති වුවත් පාතාල නායකයා ඒ වෙනුවෙන් මාර්ගයක් සකසා ඇත්තේ අවට කුඹුරු බලහත්කාරයෙන් පස්දමා ගොඩ කරමිනි.


 තම කුඹුරු පස්දමා ගොඩකිරීමට එරෙහිව අවට ගොවිහු රාජ්‍ය ආයතන  ප්‍රධානින් දැනුවත් කළත් කිසිදු පියවරක් ගෙන නැත.


වසර ගණනක් පැරණි තම ගොවිබිම් විනාශ කිරීමට එරෙහිව ගොවීන් සිය විරෝධය පළ කළත් පාතාල නායකයා අදාල ගොවීන්ගේ නිවෙස්වලටම ගොස් තර්ජනය කර තිබේ. පසුව පාතාල නායකයා විසින් ප්‍රදේශයේ පෝස්ටරයක් අලවා ඇති අතර එහි සඳහන්ව තිබුණේ “මේ සඳහා එරෙහි වන්නන් කට කපා මරා දමන බවය.”

කුඹුරු ගොඩ කරමින් මාර්ග සාදා ඇති අයුරු.

 


කිලෝමීටරයකට ආසන්න දුරක කුඹුරු ගොඩකරමින් මාර්ගයක් සෑදීම පිළිබඳව නිලධාරීන් මේ පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තමන් තව  තවත් අසරණ කරවන බව ගොවීහු  පවසති.


 වැව් කන්ද කපා දමා අවට  කුඹුරු ගොඩකිරීම නිසා ගංවතුර පාලනය, ගොවිබිම් සඳහා ජලය ලබාදීම හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා සකලකාවල්ලභ රජු විසින් නිර්මාණය කරන ලද සියලු සැලසුම් විනාශ වී ඇති බවත් ගොවීහු සඳහන් කරති. පාතාල නායකයාගෙන් එල්ල වී ඇති මරන තර්ජන නිසා තමන් තවදුරටත් මේ සඳහා එරෙහිව කටයුතු නොකරන බවද ඔවුහු පවසති.


 මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමට අප ඒ ප්‍රදේශයට ගියත් එම ස්ථානය හා අවට පාතාල නායකයාගේ සහචරයින් විසින් මුරකාවල් දමා තිබෙනු දක්නට ලැබිණි. අසාධාරණයට ලක්වූ ගොවීහු හමුවී කරුණු විමසුවද ඔවුන් අදහස් පළ කිරීමෙන් වැළකී සිටියේ තම ජීවිතයට ඇති ආදරය නිසාය.


 උඩුගම්පල රාජධානියට අයත් වටිනා පුරාවිද්‍යාත්මක සාධක මේ ප්‍රදේශවල බොහෝ  විට දක්නට ලැබේ. ඒවා මතු පරපුරට ආරක්‍ෂා කිරීම වෙනුවට පුරාවස්තු විනාශ කිරීම මෙන්ම නිදන් හෑරීමද පසුගිය කාලයේද සිදුවූ බව ජනතාවගේ අදහසයි.


 ඒත් ඒවා බොහෝ විට  සිදුකරන ලද්දේ හොර රහසේය. එහෙත් අස්වාන වැව් කන්ද කපා දමමින් ප්‍රසිද්ධියේ සිදුකරනු ලබන මෙම මහා කොල්ලයට වැට බැඳීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව ජනතාව පවසති.

විශේෂ වාර්තාකරු විසිනි