යකාටවත් බය නැති යකාටවත් බය නැති මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ


  • ‘මහත්තයෝ ඒ වැඩේ වැරදීනේ....’ යැයි ඕනෑම බලවතෙකුගේ මූණටම කියාපාන ආනන්ද හිමියන්ගේ සුවිශේෂ චරිත ලක්ෂණය වන්නේ යකාටවත් බය නැතිවීමයි.  

 

 

වර්තමානයේ වෙසෙන බොහොමයක් වෘත්තීය සමිති නායකයන් හොස්ස ළඟින් මැස්සෙකු ගියත් කලබල වී රජයට එරෙහිව උද්ඝෝෂණ කරන, පෙළපාළි පවත්වන හෝ ඊටත් එහා ගොස් වැඩවර්ජන කිරීමට පවා පෙළඹෙන මූලග්ගිනිකාරයන් බව ප්‍රකට කරුණකි. අප එසේ කියන්නේ වර්තමානයේ වෙසෙන ඇතැම් වෘත්තීය සමිති නායකයන් විසින් සංවිධානය කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ගැන සැලකිල්ලට ගැනීමෙනි. කෙසේ වෙතත් එවැනි වෘත්තීය සමිති නායකයන්ගේ ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් නිසා බොහෝ විට සිදුවන්නේ ජනතාව අපහසුවට පත්වීමය. එසේත් නැතහොත් අද‌ාළ වෘත්තීය සමිති සාමාජිකයන්ගේ රැකියාව පවා අහිමි වී යාමය.  


 බොහෝ විට ඊට හේතුවන්නේ අපේ ඇතැම් වෘත්තීය සමිති නායකකාරකාදීන් වෘත්තීය සටනක දී අවසානයට ගත යුතුව තිබෙන ක්‍රියාමාර්ග ආරම්භයේදීම ගැනීමය. එසේ වුවද මෙරට තිස්දහසකට ආසන්න සාමාජික පිරිසකගෙන් සමන්විත රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහසකි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකදී උද්ඝෝෂණ, විරෝධතා, පිකටින් සහ වැඩ වර්ජන වැනි තීරණාත්මක තීරණවලට එළඹිය යුත්තේ අවසාන ක්‍රියාමාර්ගයක් වශයෙන් පමණයි. සේරටම වඩා වැදගත් වෙන්නේ සාකච්ඡා මාර්ගයෙන් තමන්ගේ වෘත්තීය ප්‍රශ්න විසඳා ගැනීමයි.  


 උන්වහන්සේ එසේ කියන්නේ තමන් නායකත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ද මීට වසර 35 කට පෙර එනම් 1986 ජූලි මාසයේදී දීප ව්‍යාප්ත හෙද වැඩ වර්ජනයක් පවත්වා එවකට පැවැති අතිබල සම්පන්න ජේ.ආර්. ආණ්ඩුව දණගැස්වූ බව ආවර්ජනය කරමිනි. ආනන්ද හිමියන් සඳහන් කරන අන්දමට ඒ වෙන විට මෙරට රාජ්‍ය සේවයේ නියැලි හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 6909 ක් විය. ඒ අතරින් හෙද සේවක සේවිකාවන් 6683 ක්ම අයත් වූයේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයටය.  
මෙරට සමස්ත හෙද සංහතියම ඒ වන විට බරපතළ වෘත්තීය ප්‍රශ්න රැසකටම මැදි වී සිටියේය. ඒ අතරින් ප්‍රධානම ප්‍රශ්නය වූයේ හෙද සේවාවේ නිරතවන හෙද සේවිකාවන් පිරිස අනිවාර්යෙන්ම පැලඳිය යුතු නිල ඇඳුම් සඳහා වසරකට රුපියල් 450 ක් වැනි ඉතා සොච්චම් දීමනාවක් ලැබීමයි.  


 ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡා වට කීපයක්ම අතරමග බිඳවැටී තිබුණේ රජයේ පාර්ශ්වය ඒ පිළිබඳව දැඩි ස්ථාවරයක් දැරූ බැවිනි. අන්තිමේදී ප්‍රශ්නය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දක්වාම දුරදිග ගියේය. එහෙත් ඔහු එම සංගමය සමග සාකච්ඡා කිරීම පවා ප්‍රතික්ෂේප කර තිබුණේ හාමුදුරු කෙනෙක් කොහොම ද හෙදියන්ගේ සංගමයක නායකත්වය දරන්නේ? යි යන ප්‍රශ්නය අසමිනි.  
 එවකට අති බල සම්පන්න තත්ත්වයක සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාට එතුමාගේම පක්ෂයේ ඇතැම් වෘත්තීය සමිති නායකයන් විසින් ඒ තරමට විෂ පොවා තිබුණේය.  
අපේ ගෞතම බුදුහාමුදුරුවොත් රෝගීව සිට පූතිගතතිස්ස ස්වාමීන් වහන්සේට තමන්ගේම දෑතින් කවා පොවා උපස්ථාන කර තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා රෝගීන්ට ඇප උපස්ථාන කරන කවරෙකු වුවත් එවන් බුදුවරයෙකුට කරන උපස්ථානයක් ලෙස සැලකෙනවයි කියලා. එහෙම නං බුද්ධ පුත්‍රයෙකු වන මට ඇයි හෙද වෘත්තීය සමිතියක නායකත්වය දරන්න බැරියි විමසූ උන්වහන්සේ නොබියව එද‌ා අති බලසම්පන්න ජේ.ආර්. ආණ්ඩුවෙන් සති හතක් ඇතුළත තමන්ගේ ඉල්ලීම් දිනා ගත්තේ ආණ්ඩුවේ මැරයන්ගේ තාඩන පීඩනවලට නොබියව මුහුණදෙමිනි.  


‘හැබැයි අපි ඒ වැඩ වර්ජනය කෙරුවේ අවසාන පියවරක් වශයෙනුයි. ඒ වගේම හදිසි අනතුරු වාට්ටුවල, ශල්‍යාගාරවල, ප්‍රසූතිකාගාරවල, ළමා වාට්ටුවල සහ පිළිකා රෝහලේ සේවය කළ කිසිම සේවකයෙකු වැඩ වර්ජනයට ඈඳ‌ා ගත්තේ නැහැ. ඉතාමත් මානුෂික මුහුණුවරකිනුයි ඒ වැඩ වර්ජනය සිදුකළේ’ යි කියමින් 1986 ජූලි මාසයේ පැවැති හෙද වැඩ වර්ජනය ගැන සඳහන් කරන ආනන්ද හිමියන් අදටත් සිහිපත් කරන්නේ එවකට හෙදි නේවාසිකාගාරවලින් දොට්ට දමන හෙදියන් 1000 ක් පමණ තාවකාලිකව රැඳී සිටි තම විහාරස්ථානයට සපයා තිබූ ජලය සහ විදුලිය ද රජයේ නියෝගය යටතේ විසන්ධි කර තිබුණ බවය.  
ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1966 මාර්තු මස 24 ද‌ා කොළඹ නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණු හෙද සමිතියට සහභාගි වී තිබුණේ ඉතාමත් සුළු පිරිසකි. එසේම එද‌ා මෙරට හෙද සේවය පවත්වාගෙන ගොස් තිබුණේ වහල් මෙහෙයකට සමානවය. ඔවුන් දිනකට සේවය කළ යුතු කාලය පැය 15 කටත් වඩා දීර්ඝ වූයේ ඊළඟ වැඩ මුරය භාර හෙද සේවිකාව සේවයට පැමිණීමට ප්‍රමාද වීමෙනි. හෙද සේවිකාවක වශයෙන් සේවයට බැඳී වසර 5 ක් යනතුරු ඔවුන්ට විවාහ වීම නීතියෙන්ම තහනම් කර තිබුණේය.  


 එවකට කොළඹ මහ රෝහලේ සේවය කළ නෙල්සන් කරුණාගම නමැති හෙද නිලධාරියෙකුගේ ඇරයුමෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පිහිටුවා ගත් ආනන්ද හිමියන්ට එම නිසා අහිමි වූ දේ බොහෝය. ලැබූ නින්ද‌ා අපහාස අපමණය. වෙනතක් තාබ හිරබත් කෑමට ද උන්වහන්සේට සිදු වී තිබුණේය.  
එකල ද මෙරට හෙද සංහතිය වෙනුවෙන් පිහිටුවා ගත් හෙද සංගම් කීපයක් තිබුණ ද ඒ සියලු වෘත්තීය සමිති සීමා වී තිබුණේ නාම පුවරුවට පමණි. එම ඊනියා හෙද සංගම් නායකයන්ගේ අරමුණ වී තිබුණේ හෙද සංහතියේ නාමයෙන් ලැබුණු මුට්ටි කාසිවලින් යැපීමය.  
 වත්මන් හෙද සංහතිය බුක්ති විඳිමින් සිටින වාත්තීය අයිතිවාසිකම්වලින් සියයට 95 ක්ම ලබා දෙන ලද්දේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මැදිහත් වීමෙනි.  
 70, 80 සහ 90 දශකවල හෙද සේවයේ යෙදී සිටි හෙද සේවයේ පැරැන්නෝ මේ ගැන ඉතා හොඳින් දැන සිටිති. එසේ වෙන්නේ 60 දශකයේ මුල සහ මැද භාගයේ සේවයේ නිරතව සිටි එම පිරිස එකල තමන්ට විඳීමට සිදුවූ දුක් ගැහැට සහ වද වේදනා ගැන අත්දැකීමෙන්ම දැන සිටින බැවිනි. එහෙත් වර්තමානයේ හෙද සේවයේ නිරතව සිටින පිරිස ඒ පිළිබඳව දැන සිටින්නේ ඉතාමත් මද වශයෙනි. නැතහොත් ඒ ගැන නොදන්නා තරම්ය.  
එසේම වත්මන් හෙද සේවක පිරිසට මාණ්ඩලික ශ්‍රේණියේ ඉහළ තනතුරුවලට උසස්වීම් ලබා ගැනීමට හැකි වී ඇත්තේ ද ඔවුන්ට විශ්වවිද්‍යාලයන් හි දොරවල් විවර කරදී පශ්චාත් උපාධිධාරීන් බවට පත්වීමට පවා ඉඩ ලැබී ඇත්තේ ද ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් ගෙනගිය වෘත්තීය අරගලයන් හි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ බව දන්නෝ දනිති.  


එසේම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ස්වභාවයෙන්ම නිර්පාක්ෂිකයෙකි. එහෙත් උන්වහන්සේගේ ප්‍රතිවාදීහු 1966 වසරේ සිටම ආනන්ද හිමියන් විටින් විට බලයට පත් වූ හැම ආණ්ඩුවකටම හේත්තු කර කොතෙකුත් අවලාද නගා තිබුණහ.  
ජේ.ආර්. පාලනයේ අවසාන භාගයේ එම පිරිස ආනන්ද හිමියන් හේත්තු කර තිබුණේ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවටය. එසේ වුව ද 1987 වසරේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත්, ඉන්දියාවේ රජීව් ගාන්ධි අගමැතිවරයාත් අතර අත්සන් කෙරුණු ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය පාමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කළ සත්‍යග්‍රහයට සහභාගි වීමේ වරදට පිටකොටුවේදී පොලිසියේ බැටන් ප්‍රහාරයකට මුහුණ දුන් ආනන්ද හිමියන් එදින වෙඩි නොකා බේරුනේ හාස්කමකිනි. එහෙත් උන්වහන්සේ පමණක් නොව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ද හරි හරියට පොලිසියේ බැටන් ප්‍රහාරයට ලක්වී තිබුණේය.  
 තවත් අවස්ථාවක නාරාහේන්පිට අභයාරාමයට කඩාවැදුනු පොලිසිය උන්වහන්සේ කුදලාගෙන ගොස් දින කීපයක් කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන පසුව රිමාන්ඩ් භාරයට පත්කළේය. තවත් එවැනිම අවස්ථාවක හදිසි නීති බලතල යටතේ රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබියදී අභයාරාමයේ මැයි දින සමරු උළෙලක් පවත්වන බවට චෝදනා කරමින් ජීව උණ්ඩ යොද‌ාගෙන වෙඩි තබා තරුණයන් දෙපළක් ඝාතනය කර තිබුණි.  
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොතරම් සටන්කාමී වෘත්තීය සමිති නායකයෙක් වුව ද එමගින් තමන්ගේ භික්ෂූත්වයට හානියක් සිදුකර නොගත් සුපේෂල ශික්ෂාකාමී භික්ෂුවරයෙකි. මේ වන වට උන්වහන්සේ හැත්තෑපස් වැනි වියත් පසුකර ඇතත් තවමත් උදෑසන 4.00 නින්දෙන් පිබිදී ස්නානය කරන්නේ නව යොවුන් තරුණයෙකු මෙනි. අනතුරුව බුදුන් වැඳ භික්ෂු වතාවත් සිදුකරන ආනන්ද ස්වාමීන් වහන්සේ දවසේ වැඩ කටයුතු අරඹන්නේ දිනපතා පුවත්පත් කියවීමෙන් හෝ විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ විකාශය කෙරෙන පුවත්පත් විස්තර ප්‍රචාරයන්ට සවන් දීමෙන් පසුවයි.  


 ආනන්ද හිමියන්ගේ සුවිශේෂත්වය වෙන්නේ ඕනෑම බලවතෙකු අතින් සිදුවන කවර අන්දමේ වැරැද්දක් හෝ අඩුපාඩුවක් වුව ද අද‌ාළ බලවතාගේ මූණටම ඒ බව කියා පෑමයි.  
උන්වහන්සේ විසින් පවත්වනු ලබන විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවලින් මෙන්ම පුවත්පත්වලට ලියනු ලබන විශේෂ ලිපි සහ තීරු ලිපිවලින් ද ඒ බව පැහැදිලි වේ.  
‘මහත්තයෝ ඒ වැඩේ වැරදීනේ....’ යැයි ඕනෑම බලවතෙකුගේ මූණටම කියාපාන ආනන්ද හිමියන්ගේ සුවිශේෂ චරිත ලක්ෂණය වන්නේ යකාටවත් බය නැතිවීමයි.  
 ‘1988 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන අයට මරණය...’ යනුවෙන් සඳහන් පෝස්ටර් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් පිරිසක් මගින් රට පුරා අළවා තිබුණේය. එහෙත් එම මරණ තර්ජන කෙරෙහි තුට්ටුවක් තරම්වත් සැලකිල්ලක් නොදැක්වූ ආනන්ද හිමියන් විහාරස්ථානයේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානයට මුලින්ම ගොස් ඡන්දය ප්‍රකාශ කර තිබු​ෙණ් ‘මහත්තයෝ මේක අපි හැමෝගෙම මානුෂීය අයිතියක්’ යයි කියමිනි. ඒ ගැන ඇසූ ඊනියා දේශප්‍රේමීන්ට කටඋත්තරත් නැති විය.  
 එවර උන්වහන්සේ ඡන්දය ප්‍රකාශ කර තිබුණේ විරුද්ධ පක්ෂයේ අපේක්ෂිකාව වෙනුවෙනි. එහෙත් ජයගෙන තිබුණේ රණසිංහ ප්‍රේමද‌ාස මහතාය. කෙසේ වෙතත් ප්‍රේමද‌ාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ එම උත්සාහය පරාජය කිරීම සඳහා ආනන්ද හිමියෝ බැඳගෙන වැඩ කර තිබුණි.  
තවත් අවස්ථාවකදී උන්වහන්සේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආරාධනාවකට අනුව එතුමිය සමග සාකච්ඡාවකට සහභාගි වීම සඳහා ජනාධිපති කාර්යාලයට වැඩම කළේය. එදින උදෑසන 9.30 ට එම සාකච්ඡාව ඇරඹීමට නියමිතව තිබුණ ද චන්ද්‍රිකා ජනාධිපතිනිය පැමිණ තිබුණේ මධ්‍යහ්නයත් පසුවීය.  
 ආනන්ද හිමියන් දත මැදගෙන බලා සිටියේ ඇයට ලුණු ඇඹුල් සහිතව වචන දෙකක් කතා කිරීමට වුවද එය වෑයමෙන් යටපත් කර ගත්තේ චන්ද්‍රිකා මැතිනිය තමන්ගේ ප්‍රමාදය ගැන දුරතියාම තමන් වහන්සේගෙන් සමාව ගත් බැවිනි. කෙසේ වෙතත් උන්වහන්සේ තමන් පැමිණ සිට වෘත්තීය සමිති ප්‍රශ්නය ගැන තරමක් වේගවත්ව කරුණු දක්වද්දී චන්ද්‍රිකා මැතිනියට පිටුපසින් අසුන්ගෙන සිටි එතුමියගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු සිය දඹර ඇඟිල්ල තම දෙතොල් මත තබා නිහඬ වන්නැයි සංඥ‌ා කළේය.  
ඔහු දෙස අවඥ‌ා සහගත බැල්මක් හෙලූ ආනන්ද හිමියන් ‘ගරු ජනාධිපතිතුමියනි, ඔබතුමියගේ නිලධාරියෙක් අපට කට වසා ගන්නා ලෙස අණ කරනවා. එවැනි තකතීරු නිලධාරීන් මේච්චල් කරගැනීමට නොහැකි නම් ඔබතුමිය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නෑ’යි උස් හඬින් ප්‍රකාශ කළ ආනන්ද ස්වාමීන් වහන්සේ තම කුඩය ද අතට ගෙන ආපසු යාමට සූද‌ානම් වූහ. අන්තිමේදී සිදුවූයේ තම කාර්ය මණ්ඩල නිලධාරියා විසින් සිදුකළ අනිසි ක්‍රියාව පිළිබඳව උන්වහන්සේගෙන් සමාව ගත් චන්ද්‍රිකා මැතිනිය අද‌ාළ නිලධාරියාට එම ස්ථානයෙන් ඉවතට යන ලෙස අණ කිරීමය.  


 මේ වෙන විට ආනන්ද හිමියන්ගේ වයස අවුරුදු හැත්තෑපහකටත් වැඩිය. එසේ වුව ද උන්වහන්සේ අදටත් තරුණයෙකු මෙන් කඩිසරය. ‘මම කොරෝනා වෛරසයට බය නෑ. මොකද මැරෙන්නේ එක සැරයයි. ඒත් කොරෝනාව හද‌ාගෙන එක තැනකට වෙලා උඩ බලාගෙන ඉන්න මම කැමැති නෑ’යි කියන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අභිප්‍රාය වෙන්නේ මෙරට වැඩකරන ජනතාවගේ සුබසිද්ධියට අද‌ාළව තම අවසන් මොහොත දක්වාම කැපවීමෙන් කටයුතු කිරීමයි.  

 

 

 පුෂ්පා රම්‍යානි ද සොයිසා