මීයන් තම්බන සුරුට්ටු සීයා


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

කඩවත, මහර, නුගේගොඩ ජයසේන හේවාපාත මහතා ලියා එවු කතාවකි.   


ළමා මනසක තැන්පත් වන සමහර ප්‍රසන්න හෝ අප්‍රසන්න සිද්ධීන් අප මතකයෙන් කිසි දින මැකී නොයයි. අප පාසල් ගිය හැටේ දශකයේ අප නිවස පිහිටා තිබුණේ දකුණේ ප්‍රසිද්ධ නගරයකට ආසන්න සශ්‍රීක ගමකය. ගමේ ගෙවල් එකිනෙකට බොහෝ දුරස්ව පිහිටියද, ගම්වැසියන් සෑම කෙනෙක්ම ඉතාමත් සමගි​ෙයන් හා සහයෝගයෙන් එකිනෙකාට උදවු උපකාර කරමින් ගොවිතැන් වැඩ හෝ දෑතේ කර්මාන්තයක් කරමින් බොහෝ සතුටින් විසූහ.   


නිතරම කළු සුරුට්ටුවක් උරමින් සිටින සුරුට්ටු සීයාගේ පුතා චන්දන මාගේ පන්තියේ යහළුවෙකි. නමුත් චන්දන අප නිවසට එනවාට අපේ අම්මා කැමති නැත. මට එහි යාම සම්පුර්ණයෙන්ම තහනම්ය. ඒක ගෙයක් නෙවී අපායක්. මහ මිනිහා දවල් තිස්සේ බීගෙන සතුන් පස්සේ පන්නනවා. හරියට ඇඳුමක් වත් නැතුව, දත කට හෝදන්නේ නැතුව කොණ්ඩේ පීරන්නේ නැති කෙල්ලෝ දෙන්නෙක් ගෙයි මුල්ලේ ඉන්නවා. මහ ගෑනිවත් ඔය කෙල්ලොවත් මාසයකට සැරයක් වත් නාන්නේ නැහැ. ඔය චන්දන ස්කෝලේ යන්නෙත් මාම කෙනෙක් උදව් කරන හින්දා. අම්මා සතියකට දෙපාරක් වත් මේ කතාව කියයි. ඔවුන්ගේ අපිරිසිදු කමත් කුළෑටි කමත් ඔවුන් ගමෙන් ​ෙකාන් කර ඇති අතර ඔවුහු කිසිවෙකුට මුණ දීමට කැමති නොවුහ.   


අපේ ගමේ වෙලෙන් එගොඩ කොටසේ පවුල් දෙකක උදවිය සීනි කරිඤ්ඤන් නමැති බාල මත් පැන් වර්ගය සාදා විකුණති. ගමේද නගරයේද බොහෝ පිරිමි ඉර අවරට යත්ම බොහොම සන්සුන්ව ඉක්මන් ගමනින් මෙම මත් පැන් බීමට යති. නමුත් අඳුරු වැටීමෙන් පසු මොවුන් ආපසු යන්නේ, කවි සීපද කියමින් හෝ එකිනෙකාට පරුෂ වචනයෙන් බැණ ගනිමින් කලකෝලාහල කරමින්ය. මේ හඬට කුලප්පු වන ගමේම බල්ලන් බුරන්නට පටන් ගත් විට ගම පුරා මහා ඝෝෂාවක් පැතිරී යයි.   


සුරුට්ටු සීයාගේ ජීවනෝපාය මෙම සුරා සොඬුන් හට කට ගැස්ම සාදා විකිණීමය. ඊට වුවමනා මස් හෝ මාළු ඔහු ගමෙන්ම සපයා ගනියි. බඩ මැදින් බඳින ලද කොහු ලණුවකට හිර කර කම්බි ලේන්සුවකින් අමුඩයක් ගසාගෙන පන් මල්ලක් කූඩයක් පිහියක් එක අතකින් එල්ලා ගෙන උදේ පාන්දරම කළු සුරුට්ටු දුම හිසට උඩින් යවමින් තම බල්ලන් දෙදෙනා ද ඉස්සර කරගෙන තම දෛනික රාජකාරිය අරඹයි. ඇනිකට් වලට මොනවාදෝ ගෙඩි වර්ගයක් තලා දැමී​ෙමන් පසු මත් වී උඩ පාවෙන මාළුන් කූඩයෙන් අල්ලා ගනියි. ඇළ පාර දිගේ දෙපයින් මඩ තලමින් ගොස් ඉබ්බන් අල්ලා ගනියි. කුඹුරේ ඉස්මත්තේ ඇති දෙණියේ ඔහුම සාදාගත් මැලියම් වර්ගයක්  ගාන ලද දෙබල සිටුවා තැබීමෙන් කුඹුරු යායට එන ගිරවුන් පරවියන් එම දෙබල මත වැසු පසු ඉගිළී ගත නොහැකිව දඟලන විට සුරුට්ටු සීයා උන් අල්ලා මල්ලට ඔබා ගනියි. බල්ලන් සමග අසල පොල් වත්තට ගොස් උන් උසි ගන්වා සාවුන් තලගොයින් අල්ලා ගනියි. මේ මොන ක්‍රමයකට හෝ දවසට අවශ්‍ය මස් හෝ මාළු සපයා ගෙන කපා ශුද්ධ කර දුන් විට මැගී ආච්චී බිරිඳ කට ගැස්ම හට්ටියක් සාදා දෙයි.   
අමුඩයට උඩින් සරම් කඩ මාල්ලක් දවටා ගෙන කට ගැස්ම හට්ටියද, හබරළ කොළ මිටියක් ද ගෙන කරිඥ්ඥයන් පළට යන සුරුට්ටු සීයා මුදල් ලැබෙන ප්‍රමාණය කට ගැස්ම හබරළ කොළ වලට බෙදා දෙයි. මොහුගේ කට ගැස්ම නිසා වෙළෙඳාම සරුවන කරිඥ්ඥන් වෙළෙන්දෝ සුරුට්ටු සීයාට ඇති වනතුරු බොන්ට දෙති. සෑහෙන්න වෙරි වු පසු හට්ටියේ ඉතිරි කට ගැස්ම ටික ඔහුම කා කවි සීපද හෝ කුණු හරුප කියමින් ගෙදර පැමිණ පිට මැස්සේ ඇලවෙයි. ඒ ඔහුගේ දින චරියාවයි.   


දිනක් චන්දන ඉල්ලා ගත් පොතක් මට අවශ්‍ය විය. අම්මාට හොරෙන් මම චන්දන ගේ ගෙදර යාමට ගියෙමි. ගේ පෙනෙන මිදුලේ මායිමට පමණක් යත හැක. අවට මහා දුර්ගන්ධයක් පැතිරේ. මෙම නිවසට වැසිකිළියක් නොමැත. තණකොළ හා කටු පඳුරු වලින් ගේ අවට සම්පූර්ණයෙන්ම වැසී ඇත. තඩි බල්ලන් දෙදෙනෙක් මා දෙසට පැනගෙන එන විට මැගී ආච්චී පැමිණ උන් පලවා හැර මට ඉක්මණින් ආපසු යන ලෙස බල කළේය. මා ආපසු ඒමට හැරෙත්ම සුරුට්ටු සීයා අසල කොස් ගස යට මොනවාදේ මුට්ටියක තම්බනවා දුටුවෙමි. මුට්ටියෙන් නිරන්තර ඩොක, ඩොක හඬක් නිකුත් වෙයි. කොස් ඇට පුච්චනවා යයි සිතූ මා ඔන්න සීයේ කොස් ඇට පුපුරනවා යැයි කී​ෙවමි. එවිටම මැගී ආච්චී මල්ලක දැමු මොනවදෝ ගෙනවිත් සුරුට්ටු සීයාට දුන්නාය. මුට්ටියේ පියන ඇර සුරුට්ටු සීයා ඇතුළට දැමුවේ මීයන් දෙදෙනෙකි. මා දෙස බැලු මැගී ආච්චී මොන දෙයක් වත් තියා ගන්න බැහැ. මේ හැතිකරේ කනවා. රෑට ඇඟටත් උඩින් පැන පැන යනවා. මම හට්ටියක් අටවලා තියලා. ඊයේ රෑ හතර දෙනෙක් අහු වෙලා තිබුණා. දැන් ඔය තව දෙන්නෙක් අහු වෙලා. ඈතකට ගිහින් දාන්න කීවම ඔය කරණ වැඩේ තමයි කීවේ කිසිම විස්සෝපයක් නැතුවය.   


මේ ගොල්ලා කොච්චර දුර ගෙනිහින් දැම්මත් ආපසු එනවා මෙහෙම තම්බලා දැම්මම මේ කුයිලට අනිත් ඈයොත් එන්නේ නැහැ යැයි සුරුට්ටු සීයා කීවේ දුම්ගුලියක් අහසට පිට කරමිනි.   


දිනක් සුරුට්ටු සීයා කට ගැස්ම විකුණා හොඳටම වෙරි වී කුණු හරුප කියමින් අඳුරේ එනවිට සර්පයකු කකුල දෂ්ට කර ඇත. විලාප දිදී ගෙදර පැමිණ මැස්සේ වැටී කොතෙක් හඬ ගෑවත් මැගී ආච්චි නැගිට්ටේ නැත. උදේ කකුල හොඳටම ඉදි මී රතු වී තිබෙනු දුටු මැගී ආච්චී දෙදෙනාම දන්නා සර්ප විෂට සුදුසු බෙහෙතක් සාදා කකුල සෝදා ගෑවාය. සවස් වනතුරුම දනවෝ දනවෝ වතුර දාපන් යැයි කෑ මොර දෙමින් උන්නද ගුණයක් නම් නොවීය. සවස් වරුවේද කකුල සෝදා බෙහෙත් ගෑමට මැගී ආච්චි සූදානම් විය. ඔහොම නෙවෙයි බෙහෙත් හට්ටිය රත් කරලා අරගෙන බුලත් කොළේක හොඳට ගාලා තියලා බඳපන් යයි සුරුට්ටු සීයා කෙඳිරි ගාමින් පැවසීය. මැගී ආච්චි ද එලෙසම කළාය. එළි වනතුරු දනවෝ දනවෝ වතුර දාපන් යයි කොතෙක් මොර දුන්නද මැගී ආච්චි නැගිට්ටේ නැත. පසු දින පාන්දර නැවතත් කකුල සෝදා බෙහෙත් දැමීමට මැගි ආච්චි සුදානම් විය. තුවාල කකුලම ඉඳි මී රතු වී ඇත. තුවාලයෙන් කුණු ලේ සැරව සමග සුදු පාට හීන් පණුවන් ද පිට වෙයි.   


වතුර දමා කකුල සෝදා බුලත් කොළය ඉවත් කිරීමට මැගී ආච්චී උත්සාහ කළද එය කකුලටම ඇලී ඇත. සිතට සැකයක් ආ බැවින් මැගී ආච්චි නැගිට ගෙට ගොස් ඊයේ සවස රත් කළ බෙහෙත් හට්ටිය ගෙන බැලුවාය. ඇයට දෙවියන් සිහි විය. බෙහෙත් වෙනුවට රත් කර ගා ඇත්තේ කුරුල්ලන් ඇල්ලීමට ගානා මැලියම්ය. ඒ බවක් නොහඟවා, බුලත් කොළය ඇද ඉවත් කිරීමට සිතූ මැගී ආච්චි මැස්සේ කොණක අඩමානෙට වාඩි වී ටිකක් අත තදින් බුලත් කොළය ඇද්දාය. ඇති වු තද වේදනාවත් කෝප්පයත් සුරුට්ටු සීයා පිට කර ගත්තේ අනිත් පයින් තද පහරක් මැගී ආච්චිගේ මුහුණට එල්ල කිරීමෙනි. බලාපොරොත්තු නොවු එම පහරින් උඩින් විසි වී ගිය මැගී ආච්චී ගෙට ගොඩ වීමට තබා තිබු ගල උඩට උඩු අතට වැටුනේ ​ෙකාන්දද කඩා ගෙනය. දෙදෙනාම ඊට පසුවදා වන තුරුම විලාප දිදී සිටියද ඒ හඬ කිසිවෙකුට ඇසුණේ නැත. දින දෙක තුනක්ම කට ගැස්ම නොලැබීමෙන් වෙළෙඳාම පාඩු වු කරිඥ්ඥන් වෙළෙන්දෙක් සුරුට්ටු සියා සොයා එන විට ඔහුගේ ඉරණම විසඳී අවසානය. කරිඥ්ඥන් වෙළෙන්දා ගමේ රාලහාමිට මේ බව පැමිණිලි කළ පසු රාලහාමි නගර සභාවෙන් මිනිසුන් ගෙන්වා සුරුට්ටු සීයාගේ භූමදාන කටයුතු කළේය. මැගී ආච්චි රෝහල් ගත කළ ද ඇය නැවතත් ආවේ නැත. පොලිසිය මැදිහත් වීමෙන් ගැහැනු ළමයින් දෙදෙනා පරිවාස ගත කළ ද, වන්දනට වු දෙයක් මෙතෙක් කිසිවකු නොදනි.   
ධර්මය අනුවද කළ පවු පසුවට ද පළ දේ. එවෙලේමද පළ දේ. මෙය එවැනි සිද්ධියකි.   

 



පැල්මඩුල්ල තිලක් රත්නායක මහතා ලියා එවු කතාවකි.   

මිතුරාට හතුරු වීමේ ආදීනව  


මීට දසක කිහිපයකට පෙර සිදු වු අපුරු සිදුවීමකි මෙය. මේ ව්‍යාපාරිකයන් දෙදෙනා යහළුවන් වගේම දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවෝ වෙති. ව්‍යාපාරිකයන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ රියදුරන් දෙදෙනා ද සමගින් සෑම දිනකම සවස් යාමේ මධුවිත මොවුන් පානය කිරිමට පුරුද්දකි. 

 
කොයිතරම් මිල මුදල් තිබුණත් එක් ව්‍යාපාරිකයෙකු කුඹුරු ගොවිතැන් කිරීම පුරුද්දක් කරගෙන තිබු අතර ගොයිම් පැළ සමයේ සිටම පුදිනතුරුම කුඹුරට ජලය සැපයීමට රාත්‍රී කාලයේ විදුලි පන්දමත් රැගෙන යාම ඔහු නිරතුරුවම කර ගෙන යන්නේය.   


මේ අතර එක් ව්‍යාපාරිකයෙකුට ගොවිතැන් කරන තම මිතුරු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ වුවමනාවක් ඇති විය. ඒ සඳහා තම රියැදුරා ලව​ා ඔහු කුඹුරට වතුර හැර වීමට එන රාත්‍රියක වෙඩි තැබීමට සැලසුම් කළේය.   
සුපුරුදු පරිදි එදින සවස් යාමේ සිව් දෙනා එකතුව මධුවිත පානය කර රාත්‍රී කාලයේ පිටත් වීමට සූදානම්ව කුඹුරට ජලය සැපයීමටට යාම සඳහා ව්‍යාපාරිකයා තම රථයෙන් බැසීමට සූදානම් විය. තම රියදුරා නෑ නෑ හාමුනා යන්න එපා. මම හාමුනා ඇරලවා එන ගමන් වතුර හරවා ගෙදරට යන්නම් කියා රියදුරා කීය.   


කුරුමානම එනතුරු බලා සිටි රියදුරු විදුලි පන්දම් එළිය දුටුවේය. කුඹුරට ජලය සපයන දරාඩ ළඟ විදුලි පන්දම් එළිය පහත් වනවාත් සමග වෙඩි උණ්ඩය නිකුත් විය. ඉලක්කය වැරදුණි. රියදුරු අතින් හිතවත් රියදුරු ඝාතනය විය. නීතිය ක්‍රියාත්මක විය. ඔහුට දඬුවම් ලැබුණි. ඔහු හිතින් දුක් වින්දේය.   


ප්‍රසිද්ධ ආයතනයක මේ අතර ඔහුට රැකියාවක් ලැබුණි. ඔහු රථය ධාවනය කරන හැම විටම තමා අතින් ඝාතනය වු හිතවත් රියදුරු මිතුරා වාහනයක් තමා ඉදිරි පිටට ධාවනය කර ගෙන එන ආකාරය මැවී පෙනේ. එම නිසා ඔහු ධාවනය කරන රථය වෙනත් රථයක ගැටේ. එ්ත් නැතිනම් වෙනත් අනතුරකි. එම නිසා ආයතනයෙන් ඔහු ඉවත් කරන ලදී. අවසානයේ ඔහු රියදුරු රැකියාව අත් හළේය. රෝගාතුර වී එක්තැන් වී තමා අතින් ඝාතනය වු මිතුරා ගැන සිතාම මිය ගියේය.   

 


​ෙමබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

 

 

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්