මාර බඩූවක් මාර කෙළියක්


අලුත් පරපුරේ කතාබහ  

සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක   

 

මාර   
නූතන සිංහල බස් වහර පරිශීලනය කරන වර්තමානික තරුණ ප්‍රජාව අතර සුලභව භාවිත වන යෙදුමක් හැටියට මාර යන්න දැක්විය හැකිය. එය ඇතැම් විටෙක හොඳ යන අර්ථය ලබා දීමටත් තවත් සමහර අවස්ථාවල පුදුම සහගත යන්න ඇඟවීමටත් ව්‍යවහාර වෙයි.   


පරිගණකය කියන්නෙ මාර බඩුවක්   
මේක මාර කෙළියක්නෙ   


මේ ආදී වශයෙන් විවිධාකාරයට මේ මාර යන්න ව්‍යවහාර වන අවස්ථා අපි දකිමු. මේ මාර යන යෙදුම බුදුදහමේ ආභාෂයෙන් සකස් වී ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම බෞද්ධ පොත පතේ විස්තර වන මරණයේ සංකේතය වන මාරයා, මාර සෙනඟ, මාර යුද්ධය වැනි යෙදුම් එහිලා ඉවහල් වන්නට ඇත. ඒ අනුව මාර යන්න කිසියම් විස්මය ජනක, විශිෂ්ට දේවල් ගැන ප්‍රකාශ කරන්නට වර්තමානිකයා යොදා ගනියි. 

 
බම්බුව 

 
මෙයද වර්තමානිකයා අතර සුලභව භාවිත වන යෙදුමකි. විශේෂයෙන්ම කෙනෙකු කෝප ගත් විට කියනු දක්නට ලැබෙයි.   


ඕන බම්බුවක්   
බම්බු ගහගනින් 

 
ආදී වශයෙන් එය යෙදෙනු දැකිය හැකිය. බම්බුව සාමාන්‍යයෙන් හිස් දෙයක් නිසාත් වැඩි වටිනාකමක් නැති නිසාත් මේ වදන භාවිත වනවා වන්නට පුළුවන. 

 
මළ කෙළියයි   


මළ යන්නෙහි තේරුම මැරුණු යන්නයි. කෙනෙකු මළ පසු ඔහුගේ සිරුර මළ සිරුර වන්නා සේම එය අවසන් කටයුතු සඳහා තැන්පත් කරන ගෘහය හෝ ස්ථානය හෝ මළ ගමයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී අප අහවලාගේ මළ ගම යන්නේ දැයි හිතමිත්‍රාදීන්ගෙන් විමසන අවස්ථා එමටය.   


ඉංග්‍රීසී භාෂාවෙන් ගත් ඇතැම් වචන ඒවායෙහි සැබෑ අර්ථවලට හාත්පසින්ම වෙනස් අර්ථ දෙන පරිදි භාවිත වන අවස්ථා කීපයක් ගැන අපි පළමු ලිපියෙන් තොරතුරු ගෙනාවෙමු. එවැනි තවත් යෙදුම් කීපයකට උදාහරණ පහත පරිදිය.   


අයිස් 

 
අයිස් යනු ශීතකරණයෙහි තබන පානයන් සීත කිරීම සඳහා යොදා ගන්නා දෙයකි. එය ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයකි. නමුත් සිංහල භාෂාව භාවිත කරන අපි කන්තෝරුවල අයිස් ගසනවා යැයි කියමු. එයින් අදහස් කරන්නේ කිසිදු කාර්යයක් නොකර කාර්යාලවල ඔහේ සිටින බවය.   


ඉංග්‍රීසි භාෂාවෙන් ගත් කොමිස් යන වචනය අපි කොමිස් ගසනවා යනුවෙන්ද ව්‍යවහාර කිරීමට පුරුදුව සිටිමු.   
බයිට්   


බයිට් යන යෙදුම ද ඉංග්‍රීසි භාෂාවෙන් පැමිණියෙකි. එහි අර්ථය හපනවා යන්නයි. නමුත් අප එය මත්පැන් පානය කරන විට අතුරුපස වශයෙන් යොදා ගැනෙන ආහාර වර්ග හැඟවීමට යොදා ගනියි. බයිට් එකට මොනවාද තියෙන්නෙ යනුවෙන් මත්පැන් පානයට හුරුව සිටින අය නිතර කියන යෙදුමකි. 

 
බයිට් යන යෙදුම තවත් අර්ථයකින් අපි භාවිත කරමු. එනම් කිසියම් කාරණාවකට වස්තු විෂය වන අර්ථයකිනි. යමෙකු විහිළුවට ලක්කරනවාය යන අදහසින් බයිට් එකට ගන්නවා යැයි සමහරු කියති. ඇතැම් අමාත්‍යවරුන්ද මේ දිනවල ජනතාවගේ බයිට් එකක් බවට පත්ව සිටිනු දැකිය හැකිය.   


පාට් එක දානවා   


පාට් යන්න ද ඉංග්‍රීසී භාෂාවෙන් ව්‍යවහාරයට පැමිණි වචනයකි. එහි අර්ථය කොටස යන්නය. නමුත් තරුණ ප්‍රජාව අතරේ ඒ යෙදුම විවිධ අර්ථ ජනනය වන අයුරින් භාවිත වනු දැකිය හැකිය. ඒ අනුව තරුණයෝ   


පාට් දාන්න එපා   
පල් පාට්   


ගොන් පාට් යනාදී වශයෙන් එය වහරති.   


ෆ-ප වීම   


ඉංග්‍රීසී භාෂාවේ එන ඇතැම් වචනවල නිතරම ෆ ශබ්දය ඇසෙන්නට ලැබෙයි. එම ශබ්දය ඇතුළත් ඉංග්‍රීසි වචන සිංහලයට පැමිණිමේදී අපි ෆ ශබ්දය වෙනුවට ප ශබ්දය උච්චාරණය කිරීමට හුරුවුණෙමු. සිංහල අපි ද දැන් බහුල ලෙස ෆ ශබ්දය නැගෙන ඉංග්‍රීසි යෙදුම් වහරමු. කැෆේ බුෆේ ෆැක්ස් ෆෑන් යන ඉංග්‍රීසි යෙදුම් ඇතැම් සිංහලයන් වහරන්නේ කැපේ බුපේ පැක්ස් පෑන් යනාදී වශයෙනි. ෆොටෝ පොටෝ බවට පත් විය. මුදල් කටයුතු සම්බන්ධව සිටි ෆිස්කල් නිලධාරියා පිස්කල් මහත්තයා බවට පත් විය. ඔෆිසර් යන ඉංග්‍රීසි වචනය ඔපිසර මහත්තයා ලෙසටද අප වෙනස් කර ගෙන ඇත.   


මේ ක්‍රමයම අනුව යමින් ෆ්‍රැන්සිස් යන ඉංග්‍රීසි නාමය පුරැන්සිස් ලෙස උච්චාරණය කිරීමද සිදු වෙයි.   


මෙම්බර්-මැම්බර්   


මෙම්බර් යන ඉංග්‍රීසි වචනයෙහි අර්ථය සාමාජිකයා යන්නයි. ඔහු හෝ ඇය කිසියම් සභාවක හෝ ආයතනයක හෝ සාමාජිකයකු විය හැකිය. නමුත් අපේ ගැමියා මෙම්බර් යන ඉංග්‍රීසි වචනය මැම්බර් ලෙස උච්චාරණය කරයි. ඔවුහු මැම්බර් මහත්තයා වශයෙන් නිතර කියති.   
  

සටහන - උපුල් වික්‍රමසිංහ