මාතර භීෂණය


ජවිපෙ දෙවැනි  කැරැල්ලෙන්

ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන දකුණු පළාතට මාතර දිස්ත්‍රික්කය අයත් වේ. වර්ග කිලෝමීටර් 1,247ක භූමියක් පුරා පැතිරී ඇති මාතර දිස්ත්‍රික්කය උතුරින් සිංහරාජ කඳුවැටියද දකුණින් මුහුදද බටහිරින් ගාල්ල දිස්ත්‍රික්කය සහ නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්‍රික්කයටද මායිම්ව පිහිටා ඇත.   


දිස්ත්‍රික්කය තුළ වෘක්ෂලතා ප්‍රධාන කලාප 2ක් වූ අර්ධ සදාහරිත වනාන්තර සහ කඳුකර සෞම්‍ය වනාන්තර වශයෙන් බෙදා වෙන්කළ හැකිය. දෙනියාය, අපරැක්ක, මුලටියන, කිරින්ද, මහයාය ඇතුළු රක්ෂිත වනාන්තර කිහිපයක්ම මාතර දිස්ත්‍රික්කයට අයත්ය. මාතර දිස්ත්‍රික්කයේ ඉතිහාසය විජයාවතරණයට පෙර කාලය දක්වා දිවයන බව කියවේ.   


කෝට්ටේ රජකළ දොන් ජුවන් ධර්මපාල රජු විසින් කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකින් පෘතුගීසින් වෙත ලබාදුන් අතර එයට මාතර දිස්ත්‍රික්කයද අයත් විය. පෘතුගීසි සමයේ සිංහල රජු විසින් මාතර බලය ලබාගත්තද යළි 1596දී මාතර නැවත යටත් කරගත් පෘතුගීසිහු 1597දී එහි බළකොටුවක්ද ඉදිකරන ලදී. පසුව ලන්දේසින් විසින් 1645දී මාතර බලය අත්පත් කරගනු ලැබූවද 1760දී සිංහලයින් විසින් කැරැල්ලක් ගසා යළි බලය අත්පත් කරගනු ලැබීය. නැවත වරක් ලන්දේසින් විසින් මාතර බලය ලබා 1762දී මාතර කොටුව ඉදිකර ඇත. බ්‍රිතාන්‍යයට යටත් වූ පසුව මාතර වෙනම දිසාවක් ලෙස පාලනය කරන ලදී.   


වසර 1983 ජූලි ජවිපෙ පක්ෂ තහනමත් සමඟ ජවිපෙ මාතර දිස්ත්‍රික් කමිටුව අක්‍රීය තත්ත්වයට පත්විය. ඒ වනවිට දිසා කමිටුවේ අවසානයේ ඉතිරිව සිටියේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, තල්පාවිල ධර්මේ සහ රණවක ඇතුළු කිහිප දෙනෙකි. එසේ අක්‍රීය වූ දිසා කමිටු සාමාජිකයින් අතර විජේවීර ගේ කලක් ආරක්ෂකයෙකුව සිටි මාතර මැදවත්තේ අමරේ, පොල්හේනේ හසන්ත, අකුරැස්සේ උපාලි, පෝරඹ රත්නායක, කිරින්ද ගාමිණී එදිරිසිංහ, වටගෙදර රපියෙල්, කඹුරුපිටියේ රාමනායක, හක්මන පතිරණ, බටඅදුර වෙල්ලප්පිලි, කළුබෝමිටියන වෙත්තසිංහ, 71 අප්‍රේල් කැරලිකාරියක් වශයෙන් අගමැතිනිය පැහැර ගැනීමේ රොස්මිඩ් නඩුවට අසුව සිටි පසුව පහළ මලිදුව කණිෂ්ඨ විද්‍යාලයේ උපාධිධාරි ගුරුවරියක වූ බැරගම ආරච්චිගේ හේමශ්‍රියා ඇතුළු කිහිප දෙනෙක් වූහ. 

 
ජවිපෙ යළි 1984 වැඩ ආරම්භ කිරීමෙන් පසු වඩාත් අවධානය යොමුකළ දිස්ත්‍රික්ක අතරට මාතරද ඇතුළත් විය. ඒ අනුව දේශපාලන සභික සුමිත් අතුකෝරල සහ නන්දතිලක ගලප්පත්ති යටතේ මාතර, ගාල්ල, අම්පාර, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක ක්‍රියාත්මක වූ අතර මාතර දිසා ලේකම් වූයේ ඩී.එම්. ආනන්දය. මාතර දිස්ත්‍රික්කය රටේ දිස්ත්‍රික්ක අතරින් ජවිපෙ ක්‍රියාකාරිත්වය අතින් ඉහළම ස්ථානයකට ගෙන ඒමට ඩී.එම්. ආනන්ද හෙවත් අමල් සමත් විය. පක්ෂයෙන් ඉවත් වූ අයගෙන් බොහෝ දෙනෙකු යළි ජවිපෙ වෙත දිනාගැනීමට සහ නවකයින් විශාල පිරිසක් පූර්ණකාලීන් බවට පත්කිරීමටද ඔහු සමත් විය.   


එමෙන්ම මාතර දිස්ත්‍රික්කය ගොඩනැගීමෙන් පසු දිස්ත්‍රික් නායක ඩී.එම්. ආනන්ද විසින් දෙනියායේ විහාරහේනේ සුරේෂ් සහ විජේ, බෙරලපනාතර සිරිසේන හෙවත් සිරි ඇතුළු කිහිප දෙනෙක්ම කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ ප්‍රවර්ධනය සඳහා යොමු කරන ලදී. දෙනියායේ සුරේෂ් සන්නද්ධ අංශයේ පුහුණුකරුවෙක් මෙන්ම කරාතේ උපදේශකයෙකි. වසර 1989 අවසානයේදී කැරැල්ලෙන් ඉවත්ව අතුරුදන් වූ සුරේෂ් පසුව විදේශගත විය. මාතර දිස්ත්‍රික්කයේ කලක් කටයුතු කළ චන්ද්‍රසේන විජේසිංහ හෙවත් ගුණවර්ධන වැනි අය රත්නපුර දිස්ත්‍රික්කයට මාරුකරන ලදී.   

 

ආරක්ෂක අංශ විසින් ඝාතනය කළායැ’යි කියන සිය වැඩිමහල් සොහොයුරා පිළිබඳව සොවින් තැවෙන බාල සොහොයුරෙක්.   

පාර්ලිමේන්තු මැතිවරණය පැවති 1989 පෙබරවාරි 15 ඡන්ද දායකයෙකුට අත්වූ ඉරණම.   

දෙනියායේ කොටපොල මරා පුළුස්සා දමා තිබූ කැරලිකරුවෙකුගේ යැ’යි කියන සිරුරක්   

 

 

 

 


මාතර දිස්ත්‍රික්කයේ 1985 දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ මාතර තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේය. ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් 1976 එක්වූ තල්පාවිල ධර්මේ ජවිපෙට අරමුදල් රැස් කිරීමේදී 1985 මාර්තු ගුරු වැටුප් මංකොල්ලයකදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට ලක්විය. ඔහුගෙන් පසුව මාතර දිසා ලේකම් වූයේ 71 අප්‍රේල් කැරලිකරුවෙකු වූද කඹුරුපිටිය ආසනයේ 1982 ජවිපෙ මැතිවරණ අපේක්ෂකයා වූද අකුරැස්ස ඇල්ගිරියේ උපන් ප්‍රේමචන්ද්‍ර මුණසිංහය.   


ඔහු ඇල්ගිරියේ මුණසිංහ, ජයතිලක, අජන්ත සහ වික්‍රම ලෙසද හැඳින්විණි. මුණසිංහගේ බිරිඳ වූයේ 71 අප්‍රේල් කැරලිකාරිනියක වූ දෙනියායේ උපන් පසුව මාතර දිස්ත්‍රික්කයේ ජවිපෙ නායිකාවක් වූ කුසුමා බුද්ධිකෝරාලය. ජවිපෙ 2 වැනි කැරැල්ලේ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ නායකයෙකු වූ මුණසිංහ 1988 නොවැම්බර් 17 රත්මලානේදී ආණ්ඩුවේ අතුරු හමුදා කණ්ඩායමක් මගින් ඝාතනයට ලක්විය. කුසුමා සිය එකම පුතු සමගින් වර්තමානයේ ජීවත් වේ.   


මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 7කි. ඒවා නම් මාතර, දෙවිනුවර, හක්මන, කඹුරුපිටිය, දෙනියාය, අකුරැස්ස සහ වැලිගමය. එම ආසන 7 කලාප 4කට බෙදා තිබිණි. එක් කලාපයකට හක්මන, දෙනියාය, ඌරුබොක්ක සහ මාවරල කොට්ඨාස අයත් විය. අකුරැස්ස සහ කඹුරුපිටිය කොට්ඨාස තවත් කලාපයකි. වැලිගම සහ මාතරද එක් කලාපයකි. දෙවුන්දර කලාපයට දික්වැල්ල අයත්ය. ඒ අනුව කඹුරුපිටිය කොට්ඨාසයට මුලටියන, විටියල සහ සපුගොඩ/හොරපාවිට ප්‍රදේශ අයත් විය. අකුරැස්ස කොට්ඨාසයට වැලිකැටිය, විල්පිට සහ මාලිම්බඩ ප්‍රදේශ අයත් වේ. දෙනියාය කොට්ඨාසයට අයත් වූයේ දෙනියාය, වරල්ල සහ පිටබැද්දර ප්‍රදේශයන්ය.   


 ජවිපෙ මාතර දිසා කමිටුවේ 1985/86 වන විට සාමාජිකයන් වූයේ කඹුරුපිටියේ රණවක, ඇල්ගිරියේ මුණසිංහ, පොල්හේනේ හසන්ත, දෙනියායේ වෙල්ලප්පුලි, අකුරැස්සේ රත්නායක (වර්තමානයේ කුලියාපිටියේ ව්‍යාපාරිකයෙකි), අකුරැස්සේ උපාලි (වර්තමානයේ අකුරැස්සේ සිල්ලර කඩ හිමියෙකි), නාඳුගල වටගෙදර රාමනායක, හක්මන පතිරණ, මාතර වටගෙදර රපියෙල්, කාන්තා අංශය භාරව මලිදුව හේමශ්‍රියා (ගුරුවරියක් වූ ඇය 2014දී ජීවිතයෙන් සමුගත්තාය) සහ කම්කරු අංශය භාරව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ මාතර දිස්ත්‍රික් ලේකම් කඹුරුපිටියේ ගමගේ (පසුව අකුරැස්ස සමූපකාර සමිතියේ හිටපු උපසභාපති) යන අය වේ.   


මින් බොහෝ දෙනෙකු 1987 අගෝස්තු වන විට ජවිපෙ සමඟ අමනාප නොවූවද නිහඬ විය. එයට ප්‍රධාන හේතුවක් වූයේ 1986 සිට ජවිපෙ වෙත බැඳුණු නව පරම්පරාව වඩාත් රැඩිකල් සහ සටන්කාමී අදහස් දැරූ බැවින් ජවිපෙ වැඩිහිටි සාමාජිකයින්ට පසුපසට තල්ලුවීමට සිදුවීමය. එම වැඩිහිටි සාමාජිකයින් මාක්ස්වාදය පිළිබඳව බුද්ධිමය අවබෝධයක් ඇති, දේශපාලන වශයෙන් පරිණත සහ අත්දැකීම් සහිත අය විය. ඔවුන්ගේ නිහඬවීම තුළ ජවිපෙට බැඳුණු අලුත් පරපුරට සිය ක්‍රියාකාරකම් අපරිනත අන්දමින් මෙහෙයවීමට ඉඩ ප්‍රස්ථාව විවර විය. ඒ වන විට ජවිපෙ විසින් ගොඩනඟාගෙන තිබූ යම් දේශපාලන බලයක් තිබුණේ නම් අලුත් පරපුර විසින් එය අධිතක්සේරු කිරීමත් ජනප්‍රියතාවාදය හඹායාමක් දක්නට ලැබිණි.   


මාතර දිස්ත්‍රික්කය තුළ කැටන්විල, කනංකේ, වැලිකැටිය, ඇල්ලේවෙල, බංගම, කියන්දූව, පෑනේගම ඇතුළු ගම්මාන ගණනාවක පීඩිත කුලවලට අයත් ජනයා කැරලිකරුවන් සමඟ ඉදිරියෙන්ම කටයුතු කළහ. කැරලිකරුවන් අතර රණකාමීත්වය විදහාපාමින් විනාශය සහ පරාජය පෙනි පෙනී සටන්වැදි මරුමුවට පත් වූ ආරියසිරි, ප්‍රියන්ත, ගුණපාල, කරුණාපාල, රෝහිත, කිත්සිරි, ජයසේකර, ඩෙන්සිල්, රාජපක්ෂ, ප්‍රදීප්, මුනින්ද්‍රදාස, පතිරණ, අබේවික්‍රම, ඉන්දික, ආනන්ද, බුද්ධදාස, ජීවරත්න සහ ගුණවර්ධන ඇතුළු කැරලිකරුවන් රැසක් 2 වැනි කැරැල්ලේදී මාතර දිස්ත්‍රික්කයේ මතක සටහන් අතර වෙති.   


දිස්ත්‍රික්කයේ කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු වධබන්ධනවලට මුහුණදුන් ප්‍රධාන හමුදා කඳවුරු ලෙසින් මාතර එළියකන්ද, තෙලිජ්ජවිල ජොනිfඬ්ල්, උරුබොක්ක - හෑගොඩ, වැලිගම, මාතර සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රචලිත විය.   


තල්පාවිල ධර්මේ ගේ ඝාතනයෙන් පසු මාතර දිසා ලේකම් ලෙස ඇල්ගිරියේ මුණසිංහ කටයුතු කළ අතර පසුව 1986/87 මාතර දිසා ලේකම් වූයේ හක්මන තිහගොඩ කඩවැද්දුව ගල්ගොඩ ගමේ එස්.කේ. ජයතිලක හෙවත් විජිතය. ඔහු සිරිවර්ධන නමින්ද හැඳින්වූ අතර කලින් වෘත්තියෙන් කරණවෑමියෙකි. ඩී.එම්. ආනන්ද මගින් 1984 ජවිපෙට පූර්ණකාලීනව එක්වූ විජිත ඔහුගේ හොඳම මිත්‍රයා සහ කරණවෑමි රැකියාව කළ අපරැක්කේ උපන් සේකරද ජවිපෙට සම්බන්ධ කරවන ලදී.   


මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ ලේකම් වශයෙන් 1988දී කටයුතු කළ සේකර පසුව කළුතර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්ව සිටියදී 1989 අගෝස්තු බණ්ඩාරගමදී අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්විය. සේකර හැඳින්වූ වෙනත් නම් වූයේ ප්‍රියන්ත හෙවත් බැටීය. රත්මලාන බෙලෙක්කඬේ හන්දියේදී 1989 දෙසැම්බර් 28 වැනිදා විජිත අත්අඩංගුවට පත්වන විට කොළඹ දිසා ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.   


පසුව විජිත විසින් ආරක්ෂක හමුදා සමඟ හබරාදූවට ගොස් දේශපාලන මණ්ඩල සභික ගාමිණී ගුණසේකරව 1990 ජනවාරි 1දා අත්අඩංගුවට ගැනීමට මඟ පෙන්වන ලදී. අනතුරුව මාතර තෙලිජ්ජවල ජොනිfඬ්ල් යුධ හමුදා කඳවුරේ තිබූ වධ කඳවුරේ විජිත රඳවා සිටි අතර 1990 පෙබරවාරි 27 ඝාතනය කර බෙලිඅත්ත ගලගම තවත් කැරලි නායකයින් සිව් දෙනෙකුගේ සිරුරු සමඟ විජිතගේ සිරුරද පාළු ළිඳකට දමා තිබිණි.   


මාතර දේශපාලන අංශය භාරව යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ දෙවුන්දර අතුල හෙවත් ප්‍රේමරත්නද (පසුව සන්නද්ධ නායකයෙකු විය), ප්‍රචාරක අංශය භාරව අකුරැස්සේ මාරඹ ප්‍රදීප්ද (පසුව තෙලිජ්ජවල දම්පැල්ලේදී අත්අඩංගුවට පත්විය), ශිෂ්‍ය අංශය භාරව වැලිගම මිදිගම උපන් රුහුණු සරසවියේ විද්‍යා පීඨයේ සිසු ධර්මසිරි හෙවත් ප්‍රසන්න (වර්තමානයේ ගුරු උපදේශකයෙකි), කාන්තා අංශය භාරව රුහුණු සරසවියේ සිසු අකුරැස්සේ කැකුණවල ජයනිද කටයුතු කළේය. සන්නද්ධ අංශයේ මාතර දිස්ත්‍රික් නායකත්වය සේකර විසින් දරන විට එහි කලාප සන්නද්ධ ලේකම්වරුන් වූයේ දෙනියාය සහ හක්මන කලාපයට වික්ටර්ද, අකුරැස්ස/කඹුරුපිටිය කලාපයට වික්‍රමසිංහ හෙවත් සරත්ද, වැලිගම/මාතර කලාපයට හක්මන දෙනගම පදිංචි දහම්පාසල් හිටපු ගුරුවරයෙකු වූ සුන්දරද (පසුව ලොකුගේද), දෙවුන්දර කලාපයට දික්වැල්ලේ පහත්ගාව වඩු කාර්මිකයෙකු වූ ගාමිණී හෙවත් සිල්වා/හේමන්ත ද විය.   


ගාමිණී හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණික විහිදුම් බලකායේ භටයින් 4 දෙනෙකු සමඟ 1990 පෙබරවාරි 22 බෙලිඅත්ත ගලගමට රැගෙන ගිය විට ගලගම සුනිල් ඇතුළු කැරලිකරුවන් විසින් හමුදා භටයින්ට ප්‍රහාරයක් එල්ලකර ඔවුන් 4 ඝාතනය කර දික්වැල්ලේ ගාමිණීද බේරාගෙන හමුදා භටයින් 4ගේ සිරුරු පාළු ළිඳකට දමා තිබිණි. දෙදිනකට පසු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන කඳවුරේ රඳවාගෙන සිටි දෙවුන්දර අතුල ඇතුළු කැරලි නායකයින් 4 ඝාතනය කර සිරුරු එයටම දමා තිබිණි.   


වසර 1988 මාතර දිසා ලේකම් වූයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ ගාමිණී ගුණසේකරය (විජේවීර ඝාතනයෙන් පසුව නායක සමන් පියසිරි විසින් දේශපාලන මණ්ඩලයට පත්කර දකුණු පළාත් නායකයා ලෙස වගකීම් පැවරීය). ඔහු අතුරලිය සහ රිචඩ් නමින්ද හැඳින්විණි. දේශපාලන කලාප ලේකම්වරුන් වූයේ දෙනියායට මොහොට්ටිද (වර්තමානයේ පුත්තලමේ කඩ හිමියෙකි), අකුරැස්සට රඹුක්වැල්ලද, මාතර සහ වැලිගමට පරණමානද, කඹුරුපිටිය සහ හක්මනට ගමගේ හෙවත් රණතුංගද, දික්වැල්ලට දෙවුන්දර බතීගම ගුණවර්ධනද (1989 දෙසැම්බර් ඝාතනයට පත්විය) වේ. පසුව 1989 අවසානයේදී මාතර දිසා ලේකම් වූයේ තිස්සමහාරාමයේ සුබසිංහගේ පුන්‍යදාස හෙවත් පරණමානය (කැරැල්ලේ පරාජයෙන් පසු අත්අඩංගුවට පත්ව ඔහු රජයේ අනුග්‍රහයෙන් විදේශගත විය). 

 
එම වකවානුව තුළ මාතර සන්නද්ධ ලේකම්වරුන් වූයේ තිස්සමහාරාමයේ නාත්, හක්මන දෙනගම වික්ටර් (සුන්දරගේ වැඩිමහල් සොහොයුරාය), කළුආරච්චි ටී.එස්. දේවානන්ද හෙවත් වික්‍රමසිංහ සහ දික්වැල්ලේ පහත්ගාව ගාමිණී හෙවත් හේමන්තය. කලාප සන්නද්ධ ලේකම්වරුන් ලෙස කටයුතු කළේ අකුරැස්සට මෙන්ඩිස්, කඹුරුපිටියට ගමගේ සහ හක්මනට තෙලිජ්ජවල නාපේ සිරිල් හෙවත් මෙන්ඩිස්ය. හිටපු නාවික භටයෙකු වූ නාපේ සිරිල් මාවරල පොලිසියෙන් 1989 නොවැම්බර් 09 ආයුධ පැහැරගැනීමේ ප්‍රහාරයෙන් මරුමුවට පත්විය.   


අකුරැස්ස ඉහළ කොටසේ සන්නද්ධ ලේකම් ලෙස කටයුතු කළ වැලිකැටියේ පියරත්න සහ තවත් කැරලිකරුවෙකු වන සරත් 1988 ජුනි 09 පස්වරු 2.30ට කැටන්විල හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගත් අතර පසුව එදිනම රාත්‍රියේදී ඝාතනය විය. එමෙන්ම අකුරැස්ස/වැලිගම කොට්ඨාසයේ සන්නද්ධ ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටියදී රුහුණු සරසවි විද්‍යාපීඨ සිසු කුරුණෑගල නාගාල්ලාගොඩ මිදිවලාන උපන් ලේකම්ගේ වික්‍රමසිංහ හෙවත් සරත්ද 1988 ජුනි 09 වැනිදා ඡන්දපොළකට ආරක්ෂාව ලබාදුන් හමුදා භටයින් 5 දෙනෙකු යටත්කර ඔවුන්ගෙන් අවි ලබාගැනීමෙන් පසු කැරලිකරුවන්ගේ අරමුණ පිළිබඳව විප්ලවීය දේශනයක් ලබාදෙමින් සිටියදී එහිදී යටත්ව අවි රහිතව සිටි කෝප්‍රල් මෙන්ඩිස් විසින් සිය ඉනේ සඟවා ගත් බෝම්බයක් දමා ගැසීමෙන් ලේකම්ගේ එතනම මරුමුවට පත්විය. 

 
දකුණු පළාතේ අන් දිස්ත්‍රික්කවල මෙන් මාතරද ආරක්ෂක හමුදාව සහ එමගින් මෙහෙයවන ලද අතුරු හමුදා කණ්ඩායම් මගින් තරුණයන්ද කැරලිකරුවන් විසින් තම ප්‍රතිවිරුද්ධ පිරිස්ද මරා දැමීම් 1987 සිට 1989 අවසානය දක්වා තරගයට සිදුවිය. මාතර නගරාධිපති ජිනදාස හේවාමාන්න කැරලිකරුවන් විසින් 1989 මාර්තු 20 වැනිදා ඝාතනය කරන ලදී. එමෙන්ම ජනාධිපති ප්‍රේමදාස ගේ ජනාධිපති ජංගම සේවය පැවැත්වීමට පෙර එයට සෘජුවම දායකත්වය දුන් මාතර කිතලගම විහාරාධිපති වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමි කපා කොටා සිවුර සිරුර මත තබා ගිනි තබා තිබිණි. මාතර දිස්ත්‍රික්කය පුරා වෙනත් දිස්ත්‍රික්කවල මෙන් රජයේ ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර නිරතුරුවම ගැටුම් ඇති වූ අතර එම කාලය තුළ විශාල පිරිසක් මියගොස් තිබිණි.   


හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රිකයන්හි හමුදා සම්බන්ධීකරණ නිලධාරින්ට නායකත්වය දෙමින් දකුණු පළාතේම අණ දෙන්නා ලෙස 1988 ජූලි සිට කටයුතු කළේ කර්නල් ලක්ෂ්මන් අල්ගමය. මාතර දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් එල්. විජේරත්නය. මෙම පත්වීම් සමඟ කැරලිකරුවන්ට එරෙහි මර්දන ක්‍රියාවලිය ඉතා සැලසුම් සහගතව ක්‍රියාත්මක විය.   


දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලින් ආරක්ෂක හමුදාවන්ට එරෙහිව චෝදනා එල්ල වූවද දෙනියාය භාරව සිටි කපිතාන් එල්.සී. පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු කැරලිකරුවන්ට එරෙහිව ආරක්ෂක මෙහෙයුම් සිදුකළේ හමුදාවේ විනයට යටත්වය. විශේෂයෙන් අත්අඩංගුවට ගෙන දෙමාපිය භාරයට පත්කරන ලද පාසැල් ශිෂ්‍ය ක්‍රියාකාරින් පිළිබඳව ඔවුහු පසු විපරම් ක්‍රියාවලියක්ද සිදුකරන ලදී.   


මාතර දිස්ත්‍රික්කයේ කැරලිකරුවන්ගේ ක්‍රියාකාරකම් 1990 මාර්තු මුල් සතිය වනවිට මුළුමනින්ම වාගේ නතර විය. එයට හේතුව වූයේ ඉතිරිව සිටි කැරලිකරුවන් 100කට ආසන්න පිරිසක් ජීවිතාරක්ෂාව සඳහා පසුබසිමින් වනගත වීම නිසාය. ජවිපෙ 2 වැනි කැරැල්ලේ පරාජයෙන් පසු වැඩිම කැරලිකරුවන් පිරිසක් වසරකට අධික කාලයක් මුළුල්ලේ වනගතව සිටි දිස්ත්‍රික්කය ලෙසට මාතර දිස්ත්‍රික්කය පිළිගැනේ.   


වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙ​ෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි. ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011-5234384 ලබාගත හැකිය.   

 

හක්මන පොලිසිය මගින් 1988 අප්‍රේල් 01 වැනිදා අත්අංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්වූ දික්වැල්ල බතීගම විල්බට් සිල්වා නොහොත් සුමිත්, හක්මන පොලිසිය මගින් 1988 පෙබරවාරි 08 අත්අඩංගුවට ගෙන 1988 මාර්තු 13 ඝාතනය කළායැ’යි කියන රදාවල කන්දකැටියහේනේ එල්.ටී.ජී. සිරිසෝම, උරුබොක්ක පෙළපාලියට ආරක්ෂක අංශ වෙඩිතැබීමේදී මියගිය මාතර මහා මන්තින්ද පිරිවෙනේ සමන් පෙරේරා, ඝාතනයට ලක්වූ චන්ද්‍රසිරි කඩවැද්දුව සහ කිරින්ද හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු 1988 ජුලි 28 ඝාතනයට පත්වූ ගැටමාන්න ඇල්දෙනියේ ඩබ්. කේ. රත්නවීර මෙහි වමේ සිට.   

මාතර දිස්ත්‍රික් දේශපාලන ලේකම්ව සිටි ප්‍රේමචන්ද්‍ර මුණසිංහ: ජයතිලක අජන්ත වික‍්‍රම කඹුරුපිටිය කලාප සන්නද්ධ ලේකම් කේ. ජේ. ගමගේ හෙවත් රණතුංග, අකුරැස්ස වැලිගම කොට්ඨාසයේ සන්නද්ධ ලේකම්ව සිටියදී 1988 ජුනි 09 ඝාතනයට පත්වූ රුහුණු සරසවියේ විද්‍යා පීඨ සිසු ලේකම්ගේ වික‍්‍රමසිංහ, මාතර දිසා කාන්තා නායිකාවක් වූ මලිදුවේ බැරගම ආරච්චිගේ හේමශ‍්‍රියා, අන්තරේ මාතර දිසා ලේකම්ව සිටියදී 1989 ඔක්තෝබර් වැලිගමදී ඝාතනය වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු සුගත් අශෝක ද සිල්වා හෙවත් ප්‍රියන්ත.   

 ඌරුබොක්ක පොලිසිය 1988 ජූනි 24 විසින් අත්අඩංගුවට ගෙන ජුනි 28 ඝාතනය කළායැ’යි කියන ඌරුබොක්කේ එස්. ජී. ජයසිංහල ඝාතනයට ලක්වූ තිහගොඩ උඩුදමන ප්‍රේමදාස මාවරල පොලිසිය මගින් 1988 දෙසැම්බර් අත්අඩංගුවට ගෙන 1988 පෙබරවාරි 20 ඝාතනය කළායැ’යි කියන අකුරැස්ස ගොඩපිටිය සරත්චන්ද්‍ර ප‍්‍රනාන්දු අකුරැස්ස පොලිසිය මගින් 1988 මාර්තු 15 පන්නේගමුවේදී අත්අඩංගුවට ගෙන පසුව අතුරුදහන් වූ අකුරැස්ස පෝරඹ එච්. වයි. සේපාල සහ ඝාතනයට ලක්වූ සමන් ජයවර්ධන මෙහි වමේ සිට වේ.   

මෙහි වමේ සිට හක්මන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන 1988 මාර්තු 15 ඝාතනයට ලක්වූවායැ’යි කියන දෙයියන්දර පරපාමුල්ලේ මුණසිංහ ආරච්චිගේ විමලසේන හෙවත් සේන, මාතර සම්බන්ධීකරණ මූලස්ථානය මගින් 1988 මාර්තු 22 අත්අඩංගුවට ගෙන ඊට පසුදින ඝාතනයට ලක්වී පාලටුව වේල්ලේ දමා තිබූ අකුරැස්සේ ජී. අමරතුංග, වැලිගම නිව් රෙස්ට්හවුස් හමුදා කඳවුරේදී 1988 අගෝස්තු 28 ඝාතනයට ලක්වූවායැ’යි කියන මිදිගම ජී.ටී. හරිලාල් ධර්මසිරිල ඝාතනයට ලක්වූ අංකොක්කාවල සමන් කුමාර මේරුසිංහ සහ මොරවක පොලිසිය මගින් 1988 මාර්තු 27 කොටපොලදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය වූවා යැයි කියන දෙයියන්දර දොඩම්ගහවත්තේ ටී.පී. ඩයස් පහලගම්මැදගම වේ.   

මෙහි වමේ සිට කැරලිකරුවන් විසින් 1989 අගෝස්තු 30 ඝාතනය කරන ලද මාතර වැල්තොට පඤ්ඤාදස්සි නාහිමි සහ 1988 දෙසැම්බර් 12 ඝාතනය කළ 71 අප්‍රේල් කැරලිකරුවෙකු වූ කරගොඩ උයන්ගොඩ පදිංචි සිව්දරු පියෙකු වූ ඊ.ජී. කරුණාදාසද කැරලිකරුවන්ට එරෙහිව අවි අමෝරාගත් මාතර එජාප නායකයින් වූ අකුරැස්ස මන්ත‍්‍රී සහ මිනිස්‌ සම්පත් ඒ්කරාශී කීරීමේ:ව්‍යාපෘති ඇමති දයානන්ද වික‍්‍රමසිංහ සහ දෙවිනුවර එච්.ආර්. පියසිරිද කැරැල්ලේ පරාජයෙන් පසු 1990දී වනගත කඳවුරුවල සිටි කැරලිකරුවන්ට නායකත්වය දුන් තිදෙනා ගෙන් එක් අයෙකුවූ රුහුණු සරසවි සිසු බූස්ස පරණවත්තේ දේව මයිකල් ද සිල්වා හෙවත් ස්ටැන්ලි