මංගල භෝජනයට ගෝනෙකු මස් කරද්දී දඩයක්කරුවා වලහෙකුට බිලි


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. 

 

අලව්ව, රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය. 


මංගල භෝජනයට ගෝනෙකු මස් කරද්දී දඩයක්කරුවා වලහෙකුට බිලි 


වැව් බැඳි රාජ්‍යයේ වනසතුන් ගහන වනාන්තරයකට ආසන්නව වැවක් හා වැව්තාවුල්ලක් හිමි කැලෑ ගම්මානයක් පිහිටා තිබුණි. එසේ වනාන්තරයකට මායිම්ව පිහිටීම නිසාම වනසතුන් බොහෝ විට ගම්වැදීම සිදුවූ හෙයින් දඩයක්කරුවන් ද බිහිවීම සිදුවිය. ගැමියෝ ගම තුළ මෙන්ම වනය තුළද එළිපෙහෙළි කර වී, කුරක්කන්, තල, මුං, බඩඉරිඟු ආදී දෑ වැපුරූහ. ඔවුහු වන සතුන්ගෙන් ගොවිතැන් රැක ගැනීම සඳහා හේන් තුළ රූස්ස ගස් දෙබල් මත පැල් කොට තනා තුන්යම පැල් රැක්කාහ. 



එකල මෙකල මෙන් මගුල් තුලා සිදු කළේ හෝටල්වල නොව තම තමන්ගේ නිවෙස්වලය. නිවසට යාව හෝ නිවස ඉදිරිපිට මිදුලේ අතු සෙවිලි කළ ගෙයක් සාදා ගත්හ. එම ගෙය සාදා ගන්නේද සුබ යැයි සැලකූ දිනකය. මගුල් මඩුව නමින් හැඳින්වූ මෙය අවශ්‍ය වූයේ මගුලට පැමිණෙන ආරාධිත ඥාති මිත‍්‍රාදීන්ට සංග‍්‍රහ කිරීමට ඉඳුම් හිටුම් දීම සඳහාය. 


මෙකල මෙන් එකලද ආවාහ-විවාහ මංගල්‍යයකදී මස් මාංශ අවශ්‍ය දෙයක් විය. එදා කුකුල් කොටු නොතිබුණි. කුකුල් මස්, එළු මස්, ඌරු මස් එදා තොග වශයෙන් ලබාගැනීම අසීරු විය. ඇරත් කැලයට ගිය සැනින් දඩමස් සොයා ගත හැකි විය. වියදම්ද නොවන තරම්ය. මංගල උත්සවයකට ගත්තේ මුව මස් හෝ ගෝන මස්ය. කිලිටි වගේම නීච සතෙකු සේ සලකා එකල වල් ඌරු මස් ගත්තේ නැත. 


මේ ගම්මානයේ අති දක්ෂ දඩයක්කාරයෙක් සිටියේය. ඔහු ජෙමා නමින් හඳුන්වමු. ජෙමා ජීවත්වූයේ දඩමස් විකිණීමෙනි. රෑ දවල් වනාන්තරයට රිංගා මුවන්, ගෝනුන්, ඌරන් මරාගෙන ගම්වලට විකුණුවේය. 


ගම්මැද්දේ මගුලක් නියම කරගත් පසු වෙඩික්කාර ජෙමා ද අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් විය. මගුලට දඩමස් සපයන්නේ ඔහුය. පිටගම්වල ගැමියන් පවා දඩමස් ලබාගත්තේ මොහුගෙනි. ජෙමා සොයා විත් අසවල් දින තමාගේ නිවසේ මංගල්‍යයක් පැවැත්වෙන හෙයින් එදිනට පෙර දින මෙපමණ සෙනගකට හා මෙපමණ කෑම වේල් ගණනකට දඩමස් එනම් ගෝන මස් හෝ මුව මස් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි. ඒ ඉල්ලීම ආවාට ගියාට කළ එකක් නොවේ.

චාරිත‍්‍රයකට අනුව බුලත් හුරුල්ලක් පිරිනැමීමෙනි. එම ඉල්ලීම ඉටුකර දුන් පසු මංගල්‍යයට පිළියෙල කළ කැවුම්, කොකිස්, මුං, කෙසෙල් හා සහල් ආදී කැවිලි පෙවිලි පෙට්ටියක් ගෙනැවිත් ජෙමාට පිරිනැමීම එකල සිදුවිය. 


ගමේ එක්තරා නිවසක විවාහ මංගල්‍යයක් නියමවී දඩ මස් සපයා දීමට නියමිත දිනය එළඹී එක් රාත‍්‍රියක ජෙමා කැලයට රිංගුවේය. වෙනදා මොහු කැලයට පා තැබූ සැනින් සතුන් මුණ ගැසෙන නමුත් එදින පාන්දර වෙන තුරුත් බොහෝ දුර ඇවිද්දේ කලකිරුණු සිතකිනි. හදිසියේ වේගයෙන් නොනැවතී දුවන ගෝනෙකු දැක දැඩි ආයාසයකින් බිම එළා ගත්තේය. එලාගත් දඟලන ගෝනනාම්බා දැක දෙඅත් ඉහළට ඔසවා මහ හඬින් සිනාසුනේ ජෙමාගේ සතුට ඉහවහා ගොසිනි. 


ටික වේලාවකින් ගෝනා හම ගැසීමට පටන් ගත්තේය. අවට විසිරී ගිය ලේවලින් හා මස්වලින් වහනය වූ කුයිලයට ඉව වැටුණු දැවැන්ත වලසෙක් හදිසියේ පැමිණ ජෙමා සමග පොර බැදීය. ජෙමාගේ සිරුර දැඩි ලෙස සපා කෑ වලසා හම ගසා තිබූ මස්ද ඇදගෙන කැලයට රිංගීය. 


පෙර දින රාත‍්‍රියේ වනයට ගිය ජෙමා පසුදා උදේ වෙනතෙක් නිවසට නොපැමිණි හෙයින් අසල්වාසීහු වනය පීරා සොයා ගියහ. ඔහු ලේ විලක් මැද වැටී සිටිනු දැක රැගෙන විත් ප‍්‍රතිකාර කළත් දිගු කලක් ඌරන්ගේ ගෝනුන්ගේ හඬින් කෑගසමින් බොහෝ දුක්විඳ අකාලයේ මරුමුවට පත්විය. 

 


බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි. 


අනුනට කළ විපත් තමන්ටම පඩිසන් දුන් අන්දම 


මෙය එක්තරා මැතිවරණ සමයක සිදුවූ සිද්ධියකි. මෙම මැතිවරණයෙන් බලයට පත් ප‍්‍රධාන දේශපාලන පක්ෂයක ආධාරකරුවන් හා පාක්ෂිකයින් පරාජිත දේශපාලන පක්ෂයට අයත් පාක්ෂිකයින් හා ආධාරකරුවන් මහත්සේ තාඩන පීඩනවලට ලක් කළ කාලවකවානුවක් විය. ඔවුන් පරාජිත දේශපාලන පක්ෂවල අයවලුන්ගේ ගෙවල් දොරවල් හා දේපල ගිනිබත් කළ අතර ජයග‍්‍රාහකයින් පෙළපාලි යමින් විරුද්ධ පාක්ෂිකයන්ට මැර බලය යොදා බොහෝ සෙයින් හිරිහැර, තාඩන පීඩන කළහ. විරුද්ධ පාක්ෂිකයන්ගේ යාන වාහනද බලහත්කාරයෙන් අත්පත් කරගත් ජයග‍්‍රාහකයින් එම වාහනවලට ඉන්ධනහල්වලින් පුරවාගෙන මුදල් නොගෙවා බලහත්කාරයෙන්ම ලබාගෙන රථ වාහන පෙළපාලි ගියේ තම සිතුම් ඉටුකර ගැනීමේ ජයග‍්‍රාහී අභිලාසයෙනි. 


රථ පෙළපාලිවලින් ගමන් කළ ජයග‍්‍රාහකයින් තම පෞද්ගලික එදිරිවාදිකම්ද මෙනයින් ඉටුකර ගනිමින් ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනිබත් කළ අතර විරුද්ධ පාක්ෂිකයින්ගේ වටිනා බඩු බාහිරාදියද නොයෙකුත් භාණ්ඩද බලහත්කාරයෙන්ම අත්පත් කරගත්තේ ජයග‍්‍රාහී විලාසයෙනි. මේ නිසා කිසිවක් කර කියාගත නොහැකිවූ පරාජිතයෝ නිසොල්මන්ව මේ සියල්ල විඳ දරා ගනිමින් සිටියහ. 


මේ අතර මෙම ප‍්‍රදේශයේ සුළු ව්‍යාපාරයක් කරගෙන ගිය ව්‍යාපාරිකයෙක් මෙම ජයග‍්‍රහණයෙන් උදම්ව තම පුතුන් තිදෙනා සමග මහමග ගමන් කරන යාන වාහන බලහත්කාරයෙන් නවතා අත්පත් කරගත් අතර එම ව්‍යාපාරිකයාගේ උපදෙස් හා අනුග‍්‍රහය යටතේ තම පුතුන් තිදෙනා යොදවා ප‍්‍රදේශයේ විරුද්ධ පාක්ෂිකයින්ට මහත්සේ හිරිහැර කළ අතර නිවෙස් ගිනිබත් කිරීම්ද යහමින්ම සිදුවිය. බලහත්කාරයෙන්ම නවතා ගන්නා රථ වාහනවලට නැගගන්නා ඔවුහු ජයග‍්‍රාහී විලසින් තම සිතැඟි ඉටුකරගන්නේ කිසිදු සැකයකින් හෝ බියකින් තොරවය. මේ අතර විරුද්ධ පාක්ෂිකයින් ඔවුන්ගේ නිවෙස්වලින් බලහත්කාරයෙන් පළවා හරිමින් එම නිවෙස් ගිනිබත් කළ මෙම ජයග‍්‍රාහකයින් ප‍්‍රදේශයේ තම අණසක පැතිර වූයේ ආණ්ඩු පෙරළියක් ඉදිරියට ඇතිවේයැයි නොසිතමිනි, 


පසුකාලීනව මෙම ද‌ාමරික ක‍්‍රියාවලට මූලිකවූ සුළු ව්‍යාපාරිකයා ඉන් ටික කලකට පසු හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මිය පරලොව ගිය අතර ඔහුගේ උපදෙස් මත මෙම ද‌ාමරික ක‍්‍රියාවලට සම්බන්ධ පුතුන් තිදෙනාගෙන් බාලපුතු ඉන් ටික දිනකට පසු අකාලයේ දුම්රියකට හසුව මිය පරලොව ගිය අතර වැඩි මහල් පුතු හදිසියේ මිය ගියේ අංශභාග රෝගී තත්ත්වයක් හේතුකොට ගෙනය. මද්දුම පුතු යන එන මං නොමැතිව සිහිවිකල්ව මහමග සිඟමන් යදිමින් සිටියදී මහමගම ඇදවැටී මිය පරලොව ගියේ ඔවුනොවුන් අසල්වාසීන්ට කළ මෙම සියලු විපත් සියල්ලන්ටම පඩිසන් දෙමිනි.  

 


අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය. 


මවගෙ ඇසක් අහිමි කළ පුතු මැරුණෙත් අන්ධ වෙලා 


මව මැරීම, පියා මැරීම හා බුදුන්ගේ ඇ​ෙඟ් ලේ සෙලවීමද ආනන්තරීය පාප කර්මයක් බව බුදු දහමේ දැක්වේ. කායිකව මරණයට පත් කිරීම අානන්තරීය පාප කර්මයක් වුවත් මානසිකව වධ බන්ධනවලට ලක්කිරීමද බලවත් පාපයකි. මව හා පියා මානසිකව නොමරා මරණ පුතුන්ට කවද‌ා හෝ එහි විපාක විඳීමට සිදුවනු ඇත. ගෙදර බුදුන් ලෙස දැක්වෙන මවගේ ඇ​ෙඟ් ලේ සෙලවීමද බලවත් පාප කර්මයකි. මවගේ ලෙයින් හැදී වැඩී උස් මහත් වී පසුව මවගේ ලේ සෙලවීමද ආනන්තරීය පාප කර්මයකට ආසන්න පාප කර්මයක් විය යුතුය. මව මානසිකව නොමරා මරා ඇයගේ ඇ​ෙඟ් ලේ සෙලවූ පව්කාර පුතෙකුට මෙලොවදීම එම පව් පලදුන් හැටි දැක්වෙන කතාවකි මේ. 


කාලය පනහ දශකයේ මැද භාගයයි. සිදුවූයේ රජරට මහා පුදබිමට ආසන්න රන්මැලි මහ සෑ රදුන්ගේ කොත් කැරැල්ල උදේ හවා දිස්වෙන පූජනීය නගරයට ආසන්න ගමකයි. මව ‘සොපී’ යනුවෙන්ද පුතා ‘සිරිල්’ වශයෙන්ද හඳුන්වමු. 


සිරිල් පාසලේ තුන්වැනි පන්තිය දක්වා පමණක් ඉගෙනගෙන ඉබාගාතේ යන්නට පුරුදු වී කිසිදු වැඩක් පළක් නොකර මව්පියන්ගෙන් යැපුණ තරුණයෙකි. මව්පියන් කළේ එදිනෙදා හමුවන කුමක් හෝ කුලී වැඩකි. සිරිල්ට වයස දහයේදී පමණ පියා මියගොස් ඇත. ඉන් පසුව ඔහු යැපුණේ මවගේ පිහිටෙනි. 


සිරිල් කෙසේ හෝ මවගෙන් ඉල්ලා ගන්නා මුදලින් සූදුවට ඇබ්බැහි විය. ඒ සමගම සුරාවටද නුරාවටද හුරු විය. සූදුවෙන් ජය ලැබුණ දිනයන් හි ඔහු නුරා සුව විඳිමින් ඒ සඳහා ඇති තැනෙක ලැගුම් ගනී. එදාට ඔහුට මව අමතකය. මුදල් අවසන් වූ පසුව නැවතත් මව සොයා පැමිණ ඇගේ බත් පතේ රස බලයි. 


වැවක් පිළිසකර කිරීම කොන්ත‍්‍රාත්කරුවෙකු විසින් ලබාගෙන තිබුණි. එහි වැඩට ගත් පිරිමියෙකුට දිනකට රුපියල් තුනක්ද ගැහැනියකට රුපියල් දෙකක්ද බැගින් සතියකට වරක් මුදල් ගෙවීමේ පදනම මත වැඩ කෙරුණි. සොපීද මෙහි වැඩට සම්බන්ධ වූවාය. හැඩිදැඩි තරුණයකු වූ සිරිල් ගෙදරට වී මව ගෙනෙන දෙයින් කාබී කල් ගත කළා පමණක් නොව මවට ලැබෙන මුදලින් කොටසක් සූදුව සඳහාද යෙදවිය. මුදල් ඉල්ලා නුදුන් විට ඇයට පහරදී කෙසේ හෝ මුදල් ලබාගැනීමට සිරිල් පුරුදු විය. 


දිනක් සතියේ මුදල් ලබාගෙන පැමිණි සිරිල් ඉන් රුපියල් 10.00 ක් ඉල්ලමින් මවට පහර දෙන්නට විය. අන්තිමේදී ඔහුගේ ඉනේ බැඳි පටියෙන් මවට පහර දෙද්දී ඇසකට වැදී ලේ ගලන්නට විය. ඇගේ මරහඬට අසල්වාසීන් දුව එද්දී සිරිල් පලා ගියේය. අසල්වාසීන් විසින් ඇය රෝහලට රැගෙන යද්දී ඇය ඔවුන්ට කීවේ පුතා පහරදුන් බවත් රෝහලට හෝ පොලිසියට නොකියන ලෙසයි. 


ඒ මවගේ ආදරයේ මහිමයයි. රෝහල් ගතවූ පසු ඇය වෛද්‍යවරුන්ට පවසා සිටියේ දර කැපීමේදී එකට පැටලී තිබූ දර අත්තක් වේගයෙන් පැමිණ ඇසට වැදුන බවයි. කොතෙක් හදිසි ප‍්‍රතිකාර කළද ඇස රැකගැනීමට නොහැකි විය. ඇස ඉවත් කිරීමට අකමැත්තෙන් වුවද වෛද්‍යවරු තීරණය කළහ. සොපී රෝහ​ල් ගතව සිටියදී ඇය බැලීමට එක් දිනක් හෝ පුතා පැමිණ නැත. අසල්වාසීන් පැමිණ ඇයට අඩුපාඩු සම්පූර්ණ කළහ. දකුණු ඇස අහිමි වූ සොපී නැවතත් කුලී වැඩට ගියේ වෛද්‍ය උපදෙස් පවා නොතකාය. 


මව නිවසට පැමිණ මසක් පමණ ගතවූ කල දිනක් සිරිල් යහළුවෙකු සමග දඩයමේ ගියේය. වෙනදා දඩයම් සරු වුවද එදා සිරිල්ට සිදුවූයේ වලසෙකුගේ ප‍්‍රහාරයකට ලක්වීමටය. වලසා සිරිල්ට දරුණු ලෙස තුවාල සිදු කර පලා ගිය පසු මිතුරා විසින් ඔහු කරතබාගෙන පැමිණ ගම්වැසියන්ගේ ආධාරයෙන් රෝහල් ගත කළේය. මව දිනයක් හැර දිනයක් සිරිල් බැලීමට රෝහලට ආවේ කුමක් හෝ කෑම බීමක්ද රැගෙනය. වලසා විසින් දරුණු ලෙස තුවාල කර තිබූ සිරිල්ගේ දකුණු ඇස ඉවත් කිරීමට සිදුවූ අතර වම් ඇසේ පෙනීමද නැතිවිය. 


හැරමිටියකද ආධාරයෙන් මවගේ කරේ එල්ලී රෝහලෙන් පිටවූ සිරිල් ඉන් පසුව හිඟා කමින් ජීවත්වූයේය. මවද වයස් ගතව මියගිය පසු සිරිල් ඉබාගාතේ තැන්තැන්වල ඇවිද දුක්ඛිත ජීවිතයක් ගත කළේය. මවට දුන් ශරීරික හා මානසික වධ වේදනාවලට වසර ගණනාවක් දෛවයෙන් දඬුවම් ලද සිරිල් අවසානයේ වාහන අනතුරකින් මිය ගියේය. එම ගමේ පමණක් නොව අසල ගම්වල අයද තම දරුවන්ට සිරිල් පිළිබඳ කතාව කියා දුන්නේ එය කදිම පාඩමක් නිසාය. 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න. 

 

 

සකස් කළේ 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්