බල්ලන් ගිනි තැබූ පාපතරයා ගින්නෙන් දැවෙයි


කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ සුවිනි ඉන්දිවරි හෙට්ටිආරච්චි ලියා එවු කතාවකි. 


ගව සොරකමේ ආ තරුණයන් දෙදෙනාට අත්වූ ඉරණම  

කළ කළ දේ පල පල දේ, අනුන්ට කළ දේ තමන්ට පල දේ. මෙම වැකි අප සමාජයේ නිරතුරු අසන්නට ලැබෙන වැකිය. අප කෙනෙකුගේ සතුට, දුක වෙනුවෙන් යමක් සිදු කරයිද එය ආපසු අප වෙත ප්‍රතිවිපාකයක් ලෙස ලැබෙනු ඇත. අප කරන කියන දැහි පල විපාක මේ භවය තුළම අත් විඳින්නට සිදුවීම බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ දිට්ට ධම්මවේදනීය කර්මය ලෙසයි. එවැනි ප්‍රතිවිපාක ලැබීම (යහපත් අයුරින් මෙන්ම අයහපත් අයුරින්) නිරතුරුව අසන්නට දකින්නට ලැබෙන අවස්ථා බහුලය. විශේෂයෙන් කෙනෙකුට වේදනාවක් පීඩාවක් සිදු කරයිද එම තැනැත්තා අත්විඳිනු ලබන වේදනාව, පීඩාව එලෙසම යළි අත්විඳින්නට සිදු වනු ඇත.  
බුදු දහම තුළ රැකිය යුතු පන්සිල්වලින් පළමු සිල් පදය ‘පර පණ නැසීමෙන් වළකිමි’ යන්නයි. නමුත් අනෙකාගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගන්නෝ සමාජය තුළ බහුල වෙති. ඔවුන් ප්‍රාණඝාතය සිදු කරන තෙක් ඉතා සතුටින් යහපත් දිවියකට උරැමකම් කිව්වද කෙදිනක හෝ එම අකුසල කර්මයන්හි ප්‍රතිඵල අත්විඳිනු ඇත. ජීවත් වීමේ අයිතිය නිදහස මනුෂ්‍යයාට පමණක් නොව සියලු සත්ත්ව ප්‍රජාවට උරුම වූවකි.  


මෙම කතාවද එලෙසම සත්ව ඝාතනය කිරීම හේතුවෙන් තම දිවිය අහිමි වූ තරුණයන් දෙදෙනෙකු පිළිබඳ වූවකි. මෙම සිදුවීම වන්නේ දකුණු පළාතේ ගම් ප්‍රදේශයකය. එය ඉතා සුන්දර ගම්මානයකි. මෙම ගම්මානයේ විවිධ වෘත්තීන්වල නියැලෙන වෘත්තිකයන් සිටින අතර වී ගොවිතැනට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. කොළ පැහැයෙන් දිදුලන කෙත් යායවල් ගොයම් පැසීමෙන් පසු කහ පාටින් වී කරලින් බරව ගොවි මහතුන්ගේ මුවගට සතුටක් ගෙනෙන්නේය. අස්වැන්න නෙළීමෙන් පසු යළි කුඹුරු අස්වැද්දන කාලය පැමිණෙන තෙක් කුඹුරු ගවයින්ගේ දිවා කල රැඳවුම් මධ්‍යස්ථානය බවට පත්වන්නේය.  


මෙම ගම්මානයේ එළකිරි ලබාගැනීම සඳහා එළ ගවයන් ඇති කරන කිරි ගොවියෝ කිහිප දෙනෙක් වෙති. ගමේ අයට පමණක් ​නොව අවට ගම්මානවලටද අමු එළකිරි හා මුදවන ලද එළකිරි සපයන්නේ මොහුය. ගම්මානයේ ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර් භාගයක් පමණ ඇතුළට යන විට හමුවන විශාල වෙල් යායකි. එ්ත් කිරි ගොවි මහතෙකු තම එළදෙනුන් දෙදෙනකු හා වසු පැටවකුද ගොන් නාම්බෙකුද බැඳ තැබුවේ ඇති තරම් ආහාර ඔවුනට ලබා දීමටය. නමුත් දිනෙක සවස් යාමයේ ඔහුට තම ගවයන් සතර දෙනා යළි නිවෙසට ගෙන ඒම අතපසු විය.  


පසුවද‌ා යන්තම් නැගෙනහිරින් හිරු මෝදු වන විටම ඔහු කුඹුරට යන්නේ හරකුන් යළි එම කුඹුරේම වෙනත් ස්ථානයක ගැට ගැසීමේ අරමුණිනි. නමුත් කුඹුරට යන ඔහුට දැක ගත හැකිවන්නේ සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. එනම් ඔහු කුඹුරට යන විට ඈතින් ගවයන් සතර දෙනා යහපත් ලෙස සිටිනු දුටුවද කුඹුර අසල දකින්නට වූයේ මළ සිරුරු දෙකකි. ප්‍රධාන පාර අසල නවතන ලද ලොරි රථයක්ද විය. ඇස් අදහාගත නොහැකි වූ ඔහු අවට නිවෙස්වල සිටි කිහිපදෙනෙකුට කතා කර ඔවුනටද මෙම මළ සිරුරු පෙන්වා ඇත. එතැනට පැමිණි අයකු දුටුවේ විදුලි කම්බියකි. එය දුටු පසු සියල්ලන්ටම කරුණු අවබෝධ විය. නමුදු මෙම මියගොස් සිටි තරුණයන් දෙදෙනා කවුරුන්දැයි කිසිවකු හඳුනා ගන්තේ නැත. මෙම ගම්මානයේ අය නොවන බව පමණක් ඔවුහු දැන සිටියහ. ඊට මඳ වේලාවකට පසු තවත් තරුණයන් පිරිසක් එතනට පැමිණියේ මිය ගොස් සිටි තරුණයන් දෙදෙනා සොයා ගෙනය. ඔවුන් හා කතා කිරීමේදී හඳුනා ගෙන ඇත්තේ ගම අසල නගරයේ ජීවත් වන මුස්ලිම් ජාතික තරුණයන් බවය. ඉන්පසු ඔවුන්ගේ මව්පියන්, ඥාතීන් පැමිණ හඬා වැලපෙන්නට විය. කොතරම් හඬා වැලපුණද යළි නොඑන ගමනක් ඔවුහු දෙදෙනා ගොස් සිටියහ.  


රාත්‍රියේ කුඹුරේ සිටි ගවයන් මස් පිණිස ගෙන යාමට පැමිණි ඔවුන්ගේ දිවිය එතැනදීම අවසන් විය. කුඹුරට විදුලි කම්බියක් දැමුවේ කව්ද යන්නත් කිසිවෙකු දැන නොසිටියහ නමුදු ඌරෙන් මැරීම සඳහා එම ක්‍රියාව සිදු කළ තැනැත්තාද එම පාප කර්මයම සිදු කර ගැනීමට උත්සාහ කළ අයෙකි. ඔහුටද දිනක එහි විපාක විඳින්නට සිදුවන බව සියල්ලන්ගේම සිත්වලටද දැනුණි. පර පණ නැසීමේ පාප කර්මයට විපාක දෙන්නට පාප කර්මය සිදුකරන්නා කුමන ජාතියක, කුමන ආගමක් අදහන පුද්ගලයකු දැයි අදාළ නොවේ. පව නම් පවමය. මෙය ඊට හොඳම උද‌ාහරණයකි. මෙම තරුණයන් මීට පෙරද මේ ආකාරයට ගවයන් සොරකම් කර මස් පිණිස මරා දමන්නට ඇති. නැතිනම් මෙය පළමු අවස්ථාව විය හැකිය. කෙසේ නමුදු ගව ඝාතනයේ පල විපාක එම අවස්ථාවේදීම පල දීම දිට්ට ධම්මවේදනීය කර්මයට කදිම නිදසුනකි.  

 



බිංගිරිය, කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවු  කතාවක් මෙසේය.  


බල්ලන් ගිනි තැබූ පාපතරයා ගින්නෙන් දැවී මියයයි  

එක්තරා ගමක විසූ ඔහු අපි ‘ස්ටීවන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. අන්‍ය ආගම් භක්තිකයකු වූ ඔහු රැකියාව වශයෙන් කළේ ඉහළ පැළැන්තියේ බලු පැටවුන් බෝ කරවා අධික මිල ගණන්වලට විකිණීමය. ඔහු මේ සඳහා ජර්මන් ෂෙපර්ඩ්, ගෝල්ඩන් රිට් රිවර්, ඇමරිකන් බූලි, ඇල්ෂේෂන්, ඩොබර්මන්, පාවෝ, බුල් මස්ටිෆ්, රොට් වයලර් වැනි ඉහළ පැළැන්තියේ සුනඛයන් ඇති දැඩි කළේය. ඔවුන්ගෙන් ලැබෙන බලු පැටවුන්ගෙන් පුෂ්ටිමත් නිරෝගී සතුන් වෙන්කර ඔවුන් ඇති දැඩි කර අධික මිල ගණන්වලට අලෙවි කරන ඔහුගේ ආද‌ායම් තත්ත්වයද දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.  


මෙලෙස බැල්ලියකට පැටවුන් හත් අට දෙනෙක් ලැබුණු පසු ඉන් නිරෝගිමත් හා පුෂ්ටිමත් බලු පැටවුන් වෙන්කරන අතර අංග විකල කෙසඟ විරූපී බලු පැටවුන් එක් ගොඩකට වෙන් කරයි. මෙලෙස බලු පැටවුන් දහ පහළොස් දෙනෙක් එක් ගොඩකට දමන ඔහු ඒ සියල්ලන්ටම පෙට්‍රල් වත්කර පණපිටින් කෑමොර දෙද්දී ගිනි තබන්නේ සිත් පිත් නැති අයෙකු වීමෙනි.  


මෙලෙස වසර ගණනක් මෙම පාපතර ක්‍රියාවලියෙහි යෙදුණු ඔහු ඉහළ පැලැන්තියේ බලු පැටවුන් විකිණීම පිළිබඳව ප්‍රදේශයේ නම් දරා සිටියේය. බොහෝ අය මොහුගේ මෙම පාපතර ක්‍රියාව පිළිබඳව ඔහු කෙරෙහි දැක්වූයේ අසීමිත පිළිකුලකි. මෙම පාපතර ක්‍රියාවෙක් මුදල් හදල් යහමින් හරි හම්බ කර ගත් ස්ටීවන් තදබල ලෙස බීමට ඇබ්බැහි විය. මේ අතර දිනක් ස්ටීවන් තදබල ලෙස බීමත්ව තම යතුරු පැදියට නැඟ තම අවශ්‍යතාවක් සඳහා පිටත්ව ගියේ ඔහු​ෙග් මිතුරෙකු හමුවීම සඳහාය.  


අධික ලෙස බීමත්ව අධික වේගයකින් තම යතුරු පැදිය පදවාගෙන ගිය ස්ටීවන්ට යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ තිබූ බෝක්කු බැම්මක යතුරු පැදිය හැපී ගොස් පෙරළුණේ අනපේක්ෂිත අයුරිනි. මෙම අනතුරින් යතුරු පැදියේ තෙල් ටැංකිය පුපුරා ගිය අතර ඇති වූ ගින්නෙන් යතුරු පැදියත් සමග ඇද වැටුණු ‘ස්ටීවන්’ එකම ගිනි ජාලාවක් මැද යතුරු පැදියත් සමගම ගිනිබත් වූයේ බලු පැටවුන් ගිනිබත් කළ ආකාරයටම ඇස් පනාපිටම පටිසන් දෙමිනි. මෙය ‘‘මේ ජීවිතයේදීම කළ කම් පලදෙන හැටි’’ කියා පෑමකි.  

 



අනුරාධපුර පත්මා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.  


ගිනි දුන්නේ පොඩි සිතකට පල දුන්නේ මුළු පවුලට  

සතෙකු හෝ පුද්ගලයකු හෝ මැරීම ප්‍රාණ ඝාතයක් බව බොහෝ දෙනා දනිති. එහෙත් ප්‍රාණියෙකු ‘නොමරා මැරීම’ හෙවත් අධික වධ බන්ධනවලට හෝ කායික මානසික වේදනාවලට පත් කිරීමත් ප්‍රාණ ඝාතය හා සමාන පාප කර්මයක් බව බුදු දහමේ දැක්වේ. කෙනෙකු විශේෂයෙන් මනුෂ්‍යයකු සිතන්නට දන්නා හෙයින් කායික වධ බන්ධනයන් කායිකවද අධික චිත්තවේදීයවද බලපාන වේදනා මේ මෙවැනි පාප කර්මයන් කරනු ලබන පුද්ගලයාට එම පව පලදෙන්නේද කායිකව හෝ මානසිකව එ​ෙස් නැතහොත් ඒ දෙයාකාරයෙන්මය.  


දුප්පත් අසරණ දැරියක් මෙහෙකාරකමට තබාගෙන අධික ලෙස වධ දුන් කාන්තාවකට එම පාප කර්මය පල දුන් අයුරු දැක්වෙන කතාවකි මේ. රජරට පළාතේ ප්‍රධාන නගරයකට තදාසන්න පෙදෙසක හැත්තෑව දශකයේ පමණ සිදුවූ සත්‍ය සිද්ධියක් ඇසුරෙනි කතාව ගලායන්නේ.  


විමලා නමින් හඳුන්වා දෙන මෙහි කතානායිකාව අලුත විවාහපත් අවුරුදු විසිපහක පමණ තැනැත්තියකි. ඇය විවාහ වී සිටියේ ආරක්ෂක හමුදාවක සේවය කළ අයෙකු සමඟයි. හැත්තෑව දශකයේ මුල් භාගය මෙරටෙහි සාමාන්‍ය ජනතාවට කන්නට බොන්නට දෙයක් හරිහැටි නොමැතිව අධික දුක් වින්ද කාලයකි. ගොවිතැන් බත් කළ පිටිසරබද ජනතාවට පවා අධික ආහාර අහේනියකට මුහුණපාන්නට සිදුවිය. පන්සල්වල හාමුදුරුවන්ට පවා ඇතැම් විට නිරාහාරව සිටීමට සිදුවිය. පිටිසර ගමක දුප්පත් පවුලක වයස අවුරුදු 13ක පමණ දැරියක් තැරැව්කරුවකු මගින් විමලාගේ සැමියා විසින් සොයා ගැනුණේ අලුත විවාහපත් තම බිරියගේ සුව පහසුව තකාය. දැරිය ‘‘මාලා’’ නමින් හඳුන්වමි. මාලා විසින් මෙම නිවෙසට පැමිණි දා සිටම ඇයට නිවෙසේ කුදු මහත් මෙහෙවර පවරනු ලැබීය. ඉවුම් පිහුම්, පිඟන් කෝප්ප, හැළි වළං සේදීම ගේ හා මිදුල ඇමදීමද ඇයට පැවරුණි. ඇය යම්තම් හෝ විවේකයක් ගන්නා බව විමලා දැන ගත්තොත් ඇයට වත්තේ වැඩක් පැවරේ. මල් පැළවලට එළවළු පැළවලට පමණක් නොව ඇතැම් විට පොල් පැළ හා කෙසෙල් පඳුරු වලටද වතුර දැමීමට ඇයට සිදුවිය. වතුර ගෙනෙන්නට සිදුවූයේද නිවෙසේ සිට මීටර් දෙසියක පමණ දුරින් වූ නළ ළිඳකිනි. මේ ඇයට දවසේ දහවල් කාලයේ නම් කිසිදු විවේකයක් නොවීය. රෑ දහයට පමණ නින්දට යන ඇයට උදේ හතරට පමණ පිබිද දවසේ වැඩ ඇරඹීමට සිදුවිය. විමලා ‘‘නෝනා මහත්තයා’’ නිවසේ කිසිදු වැඩක් නොකළාය. අය කළේ මුළු දවසම ගුවන් විදුලි යන්ත්‍රයට සවන් දෙමින් කාලය ගත කිරීමයි. ඒ කාලයේ අද මෙන් රූපවාහිනී හෝ ජංගම දුරකථන නොවූ නිසා වැඩි දෙනෙකු කාලය ගත කළේ ගුවන් විදුලිය සමගය.  


මාලාට හරිහැටි අහරක් පවා නොලැබුණි. අඳින්නට තිබුණේද තැනින් තැන ඉරුණු පරණ ගවුම් දෙකකි. ඇයට ගමේ කිසිවකු සමග කතා කිරීමද තහනම් විය නිකමට හෝ කවුරුන් සමග වචනයක් හෝ කතාකොට විමලාට අසු වුවහොත් ඇයට වේවැල් කසාය නොඅඩුව ලැබුණි.  


මාලා දවසින් දවස මෙසේ දුක් විඳිද්දී විමලා ගැබිනියක වූවාය. විමලාගේ කුස වැඩෙත් වැඩෙත්ම මාලාගේ වැඩ පලද වැඩිවිය. ඇයට නෑමට උණුවතුර පවා සපයා දීමට මාලාට සිදුවිය. කෙළිලොල් වියේ පසුවූ මාලා කාලය ගත කළේ හැඩූ කඳුළිනි. ආපසූ නිවසට යාමටද ඇයට නොහැකි වූයේ නිවසේ තිබූ අධික දිළිඳු බව නිසාය. 


විමලාට කුළුඳුලේ ලැබුණේ ගැහැනු දරුවෙකි. මවගේ පව බිලිඳියට ගෙවන්නට සිදු වූ නිසාදෝ බිලිදිය උපන්ගෙයි ගොළු හා බිහිරි දැරියක් විය. මේ දැරිය නිසා විමලා නොවිඳි චිත්ත වේද‌ානාවක් නැත. ඇයට ලැබුණු දෙවෙනි දියණියද මන්දමානසික දැරියක් වූවාය. හැත්තෑව දශකයේ අග භාගය අධික ලෙස දරු උපත් පාලනයට ජනතාව පෙළඹවූ කාලයක් නිසා විමලාට දරුවන් දෙදෙනෙකුගෙන් සෑහීමට පත්වීමට සිදුවිය.  


විමලාගේ දැරියන් දෙදෙනා දකින ගම්මුන් කතා වුණේ විමලා කළ පවට වන්දි ගෙවීමට සිදුවූයේ දරුවන්ට කියාය. එහෙත් එම දැරියන් දෙදෙනා නිසා විමලා වින්ද මානසික වේදනාව දැන සිටින්නට ඇත්තේ දෙයියන් පමණි. පවක් කළ අයෙකුට මෙලොවදී හෝ පරලොවකදී එය පලදෙන බව කියන්නේ එහෙයිනි.  


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්